December 12, 2018

කරළියෙන් එහා: මෛත්‍රී රනිල්ගේ තටු කපයි - විශ්වාසභංගය දේශපාලන ගේම් එකක්

රටේ දේශපාලන තත්ත්වය දිනෙන් දින දැඩි අර්බුදයකට ලක් වෙද්දී අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාභංග යෝජනාව විවාදයට ගන්නා දිනය ළංවෙත්ම එහි උණුසුමද ඉහළ යමින් තිබියදී ආණ්‌ඩුවේ බොහෝ පාර්ශව දැඩි කලබලයට පත්ව සිටිති. එක්සත් ජාතික පක්‍ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් උපරිම උත්සාහයක නිරතව සිටින්නේ තම තමන්ගේ කරුණු කාරණා ජයග්‍රහණය කරවීමටය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් ඒකාබද්ධ විපක්‍ෂයේ අරමුණ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීමටය.

විශ්වාසභංගය පහසුවෙන් පරාජය කළ හැකි බවට මුලදී සිතා සිටි එක්‌සත් ජාතික පක්‌ෂයේ ඇතැමුන් මේ වන විට කලබලයට පත්ව විදේශගතව සිටින එජාප මන්ත්‍රීවරුන් වහාම මෙරටට කැඳවමින් මෙරට සිටින මන්ත්‍රීවරුන්ටද විදේශ ගතවීම තහනම් කර තිබේ. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය අප්‍රේල් මස 04 වැනිදා පෙරවරු 09.00 සිට පස්‌වරු 09.30 දක්‌වා විවාදයට ගෙන ඉන් පසු ඡන්ද විමසීමකට ලක්‌ කිරීමට නියමිතය.

එහෙත් එජාපය සඳහන් කරනුයේ අගමැතිවරයා පිළිබඳව තිබෙන විශ්වාසය එම යෝජනාව පරාජය වීමත් සමඟ තව තවත් තහවුරු වන බවය. දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද අගමැතිවරයා පිළිබඳවත් ආණ්ඩුව පිළිබඳවත් මෙමගින් විශ්වාසයක් ගොඩනැගෙනු ඇතැයිද එක්සත් ජාතික පක්ෂයේ අදහසය. කෙසේ වෙතත් මේ කඳවුරු දෙකම රහසිගතවත් ප්‍රසිද්ධියේත් සිය බලය තහවුරු කර ගැනීමේ උපරිම උත්සාහයක නිරතව සිටින බවද වාර්තා වේ. එක්සත් ජාතික පක්‍ෂය මුලදී කටයුතු කළේ විශ්වාසභංග යෝජනාවට පහසුවෙන් මුහුණ දිය හැකි බවක් සිතාගෙනය. එහෙත් රාජ්‍ය ඇමැති පාලිත රංගෙ බණ්ඩාරගේ දැඩි ප්‍රකාශයක් සමඟම එජාපය තරමක් අසීරුතාවයකට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබේ. පාලිත රංගෙ බණ්ඩාර සමඟ එජාප මැති ඇමැතිවරුන් දහයකට වැඩි පිරිසක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහොත් හෝ දෙමළ ජාතික සන්ධානය ඡන්දය දීමෙන් වැළකී සිටියහොත් අගමැතිවරයාට අපහසුතාවකට පත්වීමට සිදුවනු ඇතැයිද එක් මතයක් පළ වී තිබේ. කෙසේ වෙතත් තවත් ආරංචි මාර්ගයක් සඳහන් කළේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රීලනිප හා එක්සත් ජාතික පෙරමුණට අයත් ඇමැතිවරුන් කිහිප දෙනෙකු හෝ එජාපයට සහාය දෙමින් ඡන්දය ප්‍රකාශ කරනු ඇති බවය.

මේ අතර ආණ්‌ඩුවේ පාර්ශවකරුවන් වන සුළු පක්‌ෂ විවිධ ඉල්ලීම් කරමින් විශ්වාසභංගයේදී ලබා දෙන ඡන්දය වෙන්දේසියේ දමා තිබේ. ඇතැම් සුළු පක්‌ෂ මෙන්ම එක්‌සත් ජාතික පක්‌ෂයේම ඇතැම් මන්ත්‍රීවරු පවා මේ තත්ත්වය හමුවේ බොරදියේ මාළු බාන තත්ත්වයකට පත්ව සිටිති. ඒකාබද්ධ විපක්‌ෂය විශ්වාසභංගය ජයගත හැකි බවට දැඩි විශ්වාසයක පසුවෙයි. රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත් කරන්නට එජාපයේ සැලකිය යුතු පිරිසක්‌ උත්සාහයක නිරත වන නිසා මේ අවස්‌ථාවේ ඊට හොඳම ක්‍රමවේදය මේ විශ්වාසභංග යෝජනාව බවට ඒකාබද්ධය විශ්වාස කරයි. ආණ්‌ඩුවේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ඇමතිවරුන්ද මේ වන විට විශ්වාසභංග යෝජනාවට ප්‍රසිද්ධියේම සහය පළකරන්නට පටන්ගෙන තිබේ. බැඳුම්කර වංචාව පදනම් කරගෙන මූලික වශයෙන් විශ්වාසභංග යෝජනාව සකස්‌කර ඇති නිසා ඊට ප්‍රතිපත්තිමය වශයෙන් විරෝධය පෑම ඔවුන්ට කළ නොහැකි වී තිබේ. රනිල්ට පක්‌ෂව ඡන්දය ලබාදී මේ ඇමතිවරුන්ට ගමට යා නොහැක. ශ්‍රීලනිපය හරහා ඉදිරි දේශපාලනය ගැන සිතන්නේ නම් ඒ කිසිවකුත් මේ අවස්‌ථාවේ රනිල් වික්‍රමසිංහ දේශපාලනිකව බේරා ගැනීමට ඉදිරිපත් නොවනු ඇත.

කෙසේ වෙතත් දේශපාලන කරලිය දිනෙන් දින වෙනස් වන හෙයින් අවසන් මොහොතේ කුමකින් කුමක් සිදුවනු ඇත්දැයි කීමට නොහැකිය. ඒ තරමටම දේශපාලන තීන්දු තීරණ මොහොතින් මොහොත ඒ මේ අත දෝලනය වෙමින් තිබෙන බැවිනි.

වරද නිවැරදි කරමින් මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට

යහපාලන ආණ්ඩුවට තිබූ එක් චෝදනාවක් වූයේ විද්‍යාත්මක නොවන ආකාරයෙන් අමාත්‍යාංශවල විෂයන් බෙදා තිබෙන බවටය. විශේෂයෙන් අග්‍රාමාත්‍යවරයා හා ඔහුට හිතවත් කැබිනට් අමාත්‍යවරුන්ට යම් යම් විෂයන් බෙදා දී තිබෙන බවටද විපක්ෂයෙන් හා විවිධ පාර්ශ්ව වෙතින් චෝදනා පිට චෝදනා එල්ල වන්නට විය. උසස් අධ්‍යාපනය මහා මාර්ග අමාත්‍යංශයකට නොගැළපෙන බවත් මහ බැංකුව හා රාජ්‍ය බැංකු මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමත් පිළිබඳව විශේෂයෙන් ආණ්ඩුවට චෝදනා එල්ලවන්නට විය. ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර කීවේ “විද්‍යාත්මක ක්‍රමයකට විෂයන් බෙදන්න ඕනේ. ඒ පිළිබඳව ජනාධිපතිවරයාත් උනන්දුවක් දක්වනවා. මෙවර කැබිනට් සංශෝධනයෙන් පස්සේ විෂයන් ගැසට් කරනකොට වරද නිවැරැදි වේවි” යැයි යනුවෙනි. ඒ අනුව ජනාධිපතිවරයාගේ බලවත් මැදිහත්වීම මත ශ්‍රී ලංකා මහ බැංකුව නැවත මුදල් අමාත්‍යාංශය යටතට පැවරීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කැමති වී තිබිණි.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සතියක පමණ කාලයක සිට එම විෂයන් වෙනස් කිරීම පිළිබඳව මහන්සි වූයේය. ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය බදාදා නිවේදනය නිකුත් කෙරුණේ ඒ අනුවය. වරද නිවැරදි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවත් විනිමය සුරැකුම්පත් කොමිසන් සභාවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පැවරිණ.

විශ්වාසභංග යෝජනාවට මුහුණ දීම සම්බන්ධයෙන් තවත් විකල්ප ක්‍රමවේදයක් අනුගමනය කිරීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් වෙමින් සිටින බවටද ඉඟි පළ වී තිබේ. අගමැතිවරයාට හිතවත් ඇමැතිවරයකු වන වජිර අබේවර්ධන සඳහන් කරනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව කිසිසේත් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝනාවක් ඉදිරිපත් කිරීමට නොහැකි බවය.

විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් කළ යුත්තේ ආණ්ඩුවටම බව යැයිද වජිර අබේවර්ධන කියයි. ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂයේ පිරිසක් සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ඒ තත්ත්වය ලබන හතරවැනිදා පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට දැනුම් දෙන බවය. ඒ අනුව කතානායකවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථකතනය කර ගැනීමට සිදුවනු ඇති බවද ඔහුගේ අදහස වී තිබේ. ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ ඝෝෂා හා තර්ක විතර්ක මත සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවා අගවිනිසුරුවරයා හෝ නීතිපතිවරයා පාර්ලිමේන්තුවට කැඳවීමට එහිදී කතානායකවරයාට සිදුවනු ඇත. පක්‍ෂනායක රැස්වීමක් කැඳවා කරුණු කාරණා සාකච්ඡා කිරීමෙන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ කථනය කර ගැනීමෙන් ද පසුව නිශ්චිත තීන්දුවක් ගැනීමට කතානායකවරයාට සිදුවනු ඇත. එක්සත් ජාතික පක්‍ෂය යම් ආකාරයකින් දේශපාලන තුරුම්පුවක් යොදා විශ්වාසභංගයෙන් පළායාමට ප්‍රයන්තයක් දරනු ඇතැයිද දේශපාලන විචාරකයෝ පිරිසක් මත පළකරති.

මෛත්‍රීගෙන් රනිල්ට දොස්

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටුව කැබිනට්‌ මණ්‌ඩලය විසින් පසුගියදා අහෝසි කරනු ලැබීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති මෙවර කැබිනට්‌ රැස්‌වීමේදී ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිsරීමේ යෝජනාවට කැබිනට්‌ අනුමැතිය ලැබී ඇත. මෙහිදී මේ ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට කැබිනට්‌ පත්‍රිකාවක්‌ තමා විසින් ඉදිරිපත් කර තිබියදී එය නොසලකා කමිටුව ඉන් පසුවත් රැස්‌කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්‌සත් ජාතික පක්‌ෂයේ ඇතැම් අමාත්‍යවරුන්ට දොස්‌ පවරා තිබේ. ආර්ථික කළමනාකරණ කමිටුව පසුගිය කාලයේ රටට ඵලදායි කිසිවක්‌ නොවූ බවත් රටේ ආර්ථිකය බරපතල ප්‍රශ්නවලට ලක්‌ව ඇති බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.

ආර්ථික කළමනාකරණ කමිටුව පවත්වා ගෙන යාම අවශ්‍ය බවට ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා සිය නිරීක්‌ෂණ ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත. එහෙත් එය තවදුරටත් ඇද ඇද සිටීමේ තේරුමක්‌ නැති බවත්, ආර්ථිකය සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ කැබිනට්‌ රැස්‌වීමේදී සාකච්ඡා කර ගත හැකි බවත් ජනාධිපතිවරයා පවසා ඇත. ආර්ථිකය මෙහෙයවීම කළ යුත්තේ කැබිනට්‌ මණ්‌ඩලය බවත් පළාත් පාලන මැතිවරණයේදී ජනතාව රජයට පණිවුඩයක්‌ ලබා දුන් බවත් ඒ පණිවුඩය තේරුම් ගෙන රජය වෙනස්‌ විය යුතු බවත් ඒ වෙනස දැන් සිදුකරන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කොට තිබේ.

“ආර්ථික කමිටුව දැන් අහෝසියි. ඉදිරියේදී රේඛීය අමාත්‍යාංශවලින් එන කැබිනට්‌ පත්‍රිකා ජාතික ආර්ථික සභාවට ආවට පස්‌සේ දීර්ඝ කතා කරන්න අවශ්‍ය කැබිනට්‌ පත්‍රිකා තිබෙනවා නම් අගමැතිවරයාගෙන් යුත් අනු කමිටුවකට දාලා නැවත ආර්ථික සභාවට එවන්න ඕනෑ.“ යෑයිද ජනාධිපතිවරයා පවසා ඇත. එහිදී අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ ජාතික ආර්ථික සභාවේ සංයුතිය පිළිබඳ තවදුරටත් සාකච්ඡා කළ යුතු බවයි. එම සංයුතියේ කිසිදු ගැටලුවක්‌ නොමැති බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා ජාතික ආර්ථික සභාවට ඕනෑම ඇමැතිවරයකුට එක්‌වී කටයුතු කළ හැකි බවත් ප්‍රකාශ කොට තිබේ. ආර්ථික කළමනාකරණ කමිටුවේ ක්‍රියාවලියත්, ඇතැම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිදුවන වැඩසටහන් පිළිබඳවත් දැඩි විවේචනයට ලක්‌ කළ ජනාධිපතිවරයා “රටේ ආර්ථිකය ඉවරයි, රටේ ආර්ථිකය හසුරුවන්න මට දෙන්න කියලා කිව්වා. නමුත් ඒක පිළිගන්නේ නැහැ. මේ වැරැදි ආර්ථික ගමන එක්‌ක රට මේ විදියට ගෙනියන්න බැහැ. මට කරුණු 100ක්‌ වුණත් පෙන්වන්න පුළුවන්. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කරන්න ජපානයේ සමාගමකට පවරලා තිබුණේ. ඒ සමාගම ගැන හරියට හොයලා බලන්නෙවත් නැතිවයි. මං ජපානයේ සංචාරය කරද්දී දැන ගත්තේ ඒ සමාගමේ අය මේ වෙද්දී ඉන්නේ සිරගත වෙලා කියලා. මට ගැටලුව තියෙන්නේ පෞද්ගලික කාරණයක්‌ හෝ පුද්ගලයකු සම්බන්ධයෙන් නෙවෙයි. ප්‍රතිපත්තිමය කරුණු නිසා“ යෑයිද දැඩිව ප්‍රකාශ කර තිබේ.

“රට වැනසු අගමැති යන්න“ මෛත්‍රීගෙන් කොළඹට පා ගමනක්

පසුගිය සතිය පුරාම එක්සත් ජාතික නිදහස් පෙරමුණෙන් පත් වූ පළාත් පාලන මන්ත්‍රී වරුන්ට සහ එහි නායකයින්ට කාර්යබහුල සතියක් විය. එක්සත් ජාතික නිදහස් පෙරමුණේ පත් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට කෑගල්ල, අරණායක දී විශේෂ දෙදින පුහුණු වැඩමුළුවක් පවත්වා ඇති අතර මෙහිදී පළාත් පාලන නීතිරීති පිළිබඳවත්, පළාත් පාලන මන්ත්‍රී වරුන්ගේ වගකීම් පිළිබඳවත්, මහජන නියෝජිතයන් හා මාධ්‍ය අතර තිබිය යුතු සම්බන්ධතාවය පිළිබඳවත් ඊට සම්පත් දායකයන් ලෙස සහභාගී වූ විද්වතුන් විසින් ඔවුන්ගේ දේශන වලදී අදාළ මන්ත්‍රීවරුන්ට විෂයානුබද්ධව ඊට අදාළ දැනුම අවබෝධය ලබා දෙන ලදී.

මීට අමතරව පළාත් පාලන ආයතන 9ක පමණ තීරක බලය එක්සත් ජාතික නිදහස් පෙරමුණට හිමිව තිබිණි. ගාල්ල මහ නගර සභාව, මිගමුව මහ නගර සභාව, මස්කෙළිය මැදවච්චිය ඇතුළු තවත් ප්‍රාදේශීය සභා 6ක පමණ මෙකී තීරක බලය එක්සත් ජාතික නිදහස් පෙරමුණට හිමිව තිබුණි.

එහිදී ගාල්ල මහ නගර සභාවේ සහය එක්සත් ජාතික පක්ෂයටත්, මීගමුව මහ නගර සභාවේ සහය පොදු ජන පෙරමුණටත්, කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සහය මුස්ලිම් කොංග්‍රසයටත් ලබා දීමට තීරණය කර තිබිණි. මිට අමතරව අගමැතිවරයාට එරෙහිව අගමැතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙස සිටි සුදත් චන්ද්‍රසේකර මහතා විසින් දේශපාලනය උණුසුම් කරමින් කරුණු හෙලිකල ලිපිය සම්බන්ධයෙන්ද එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යමකාරක සභාවේ දැඩි අවධානයට ලක් වීය.

විශේෂයෙන්ම මිට වසර 5කට පෙර දෙවුන්දර සිට කොළඹ දක්වා ගමන් ගනිමින් තිබූ සාමකාමී පා ගමනට සැලසුම් සහගතව පහරදුන් බවට හා ඒ මගින් එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කර ගත් බවට සුගත් චන්ද්‍රසේකර මහතා කර තිබූ අනාවරණය එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභාව තුල දැඩි කතා බහට ලක් වීය.

ඒ සමගම එම පහරදීමට සහභාගීව සිට අද වන විට අධිකරණය ඉදිරියේ චෝදනාව ලබා ඇති පිරිස පත්ව ඇති අසරණභාවය හා ඔවුන් කෙරෙහි වර්තමාන අගමැතිවරයා දක්වන කුඩම්මාගේ සැලකිල්ල එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතාගේ දැඩි අවධානයට ලක් වූ අතර තමන්ට සිදු වූ පාඩුව සහ තම මතවාදය සමග එක් වූ හා ආධාර කරුවන්ට සිදු වූ හානිය මොහොතකට අමතක කරමින් අදාල අධිකරණ කටයුත්ත සමතයකට පත්කර ගැනීමට තමාගේ අකමැත්තක් නොමැති බව මෙහිදී මෛත්‍රී ගුණරත්න මහතා සුගත් චන්ද්‍රසේකර මහතාට දුරකතනයෙන් දැනුම්දී තිබේ. මේ සදහා සුදත් චන්ද්‍රසේකර මහතාගෙන්ද සුභවාදී සංඥාවක් නිකුත්බ වී ඇතැයි වාර්තා වේ. මේක මීට කලින් සමථ කරගැනීමට තිබු බවත් ඒ සදහා එජාපයේ පාර්ශවයෙන් පිළිගත හැකි අන්දමින් කිසිවකු ඉදිරිපත් නොවු බවත් ගුණරත්න මහතා වැඩිදුරටත් පවසා ඇත.

මේ සියල්ල අතරේ ලාංකීය දේශපාලනය උණුසුම් කරමින් මහබැංකු චෝදනාව ඇතුළු චෝදනා රැසක් එල්ල කරමින් අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරන මෙන් බලකරමින් නුවර සිට කොළඹට “ඒකාධිපති ගජමිතුරු වියරුව පරදවන දේශය අවධිකරණ ජනබල අරගලය“ නමින් “රට වැනසු අගමැති යන්න“ නමින් යෝධ පාගමනක් සංවිධානය කිරීමට එජානිපෙ මධ්‍යම කාරක තීරණය කල අතර එජානිපෙ මුලිකත්වයෙන් සෑම දේශපාලන පක්ෂයකටම, බහුජන හා සිවිල් සංවිධාන සියල්ලකටම මෛත්‍රී ගුණරත්න මහතාගේ අත්සනින් ඇරයුම් කිරීමට කටයුතු කෙරිනි. මාර්තු 31 මහනුවරින් ගමන් ආරම්භ කර අප්‍රේල් 04 පාර්ලිමේන්තුවේ කතානායක වෙත අත්සන් දස ලක්ෂයක පෙත්සමක් භාරදීමට එජානිපෙ ඇතුළු ජන බල අරගල ව්‍යාපාරය සැලසුම් කර ඇත.
බදාදා සවස් වනවිට ජනසෙත පෙරමුණ, නව සිහල උරුමය, ලිබරල් පක්ෂය, අරුණව ජනතා පෙරමුණ. සබරගමු පෙරමුණ යන දේශපාලන පක්ෂද, එජාපය සුරැකීමේ සංවිධානය, සමස්ථ ලංකා විදුලි පාරිභෝගික එකමුතුව, හැට දෙලක්ෂයේ කොටස්කරුවෝ සංවිධානය ඇතුළු සංවිධාන රැසක්ද මෙම පාගමනට සහාය දැක්වීමට එකගතාවය පලකලහ.

එජාපයේ ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායමේ මන්ත්‍රීවරු රාශියක්මත්, පළාත් පාලන ආයතන මට්ටමේ මන්ත්‍රීවරු රාශියක් මේ සදහා සුභ පැතු අතර , එජාපයේ හිටපු ප්‍රධාන නිලයන් දැරූ පුද්ගලයන් රැසක්ද ඒ අතර විය.

පාකිස්තාන සංචාරයට පවුලේ අය නැතැයි මෛත්‍රී දුකින්

පාකිස්තානයේ ජනරජ දින සැමරුම සඳහා සහභාගි වන ලෙස එරට ජනාධිපති මන්සූර් හුසේන් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ආරාධනා කර තිබිණ. පාකිස්තානයේ පැවති එවැනි සැමරුමකට ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයකුට විශේෂ අමුත්තා ලෙස සහභාගී වන ලෙස ඇරයුම් කෙරුණු ප්‍රථම අවස්ථාව එය වීමද විශේෂත්වයකි.

ඉස්ලාමාබාද් නුවරට විශේෂ ආරක්‍ෂාවක් යොදවා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් පාකිස්තානය විශේෂ උනන්දුවක් දක්වා තිබිණ. ඒ අනුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ඉහළ පිළිගැනීමක් පැවැති අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ශ්‍රී ලාංකික දූත පිරිසට ඉස්ලාමාබාද් නුවර පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක නවාතැන් සැපයීමටද පාකිස්තානය පියවර ගෙන තිබිණ. පාකිස්තාන ජනරජ දිනය යෙදී තිබුණේ මාර්තු 23 වැනිදාය. එය ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත් විණ. විශේෂ ගුවන් සංදර්ශන ද ඊට ඇතුළත්ව තිබිණ. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පාකිස්තාන ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් විශේෂ යමක් කීවේය. “ඉතාම අලංකාර ලෙස ගුවන් සංදර්ශනය තිබුණා.

“මට දරුවන් හා මුණුබුරන් සමඟ ඇවිත් නරඹන්න තිබුණා නම් ඉතා අගෙයි” යැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පාකිස්තාන ජනාධිපතිවරයාට කීවේය. “ඇත්තටම ඔබතුමාට ඒ අයත් එක්කගෙන එන්න තිබුණා” යැයි පාකිස්තාන ජනාධිපතිවරයා පිළිතුරු බැන්දේය. ජනාධිපතිවරයාත් ඔහු සමඟ ගිය පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් මෙන්ම මාධ්‍යවේදීන් කණ්ඩායම ද එකම හෝටලයේ නවාතැන් ගැනීම විශේෂත්වයක් වූ අතර එහිදී ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ චමුදිත සමරවික්‍රම ජනමාධ්‍යවේදීන්ට ඉස්ලාමාබාද් නුවර හෝටලයේදී කෙටි සාකච්ඡාවක් පැවැත් වීමටත් අවස්ථාවක් සලසා දී තිබිණ.

ජනාධිපතිවරයා නැවත කොළඹ බලා පිටත් වන දිනයේ ජනමාධ්‍යවේදීන් සමඟ දිවා භෝජනයකට එක් වූවේය. ඉස්ලාමාබාද් නුවර සෙරීනා හෝටලයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක්ම ජනාධිපතිවරයා සමග සෙල්ෆි ඡායාරූප වලටද පෙනී සිටියහ.

විශ්වාසභංගය දේශපාලන ගේම් එකක්

අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම විශේෂ සාකච්ඡාවක් පසුගිය සතියේදී පැවැත්වීය. ජවිපෙ නායක සහ ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේද නායකයා වන අනුර දිසානායක මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

”දැන් රටේ වෙන කිසි දෙයක් ගැන නෙවෙයි කතා වෙන්නේ විශ්වාසභංගය ගැන. හැමදෙනාගෙම අවධානය මේකට හැරිලා. නමුත් ඒකෙන් ජනතාවට වෙන සෙතක් නම් නැහැ. මේක මහින්දලා මෛත‍්‍රීලා එකතු වෙලා ගහපු ගේම් එකක් විදියට තමයි පේන්න තියෙන්නේ” විජිත හේරත් කීවේය. ”ඒකාබද්ධ විපක්ෂයෙන් මේක ගේනවා කිවුවට ඇත්තටම වුවමනාව තිබුණේ වෙන කණ්ඩායමකටයි. මේ අත්සන් ඇතුලේ පේන්න නොතිබුණාට මෛත‍්‍රීපාල ජනාධිපතිගෙත් අත්සන තියෙනවා. මැතිවරණය කාලෙත් ජනාධිපතිතුමා එජාපයට ගැහුව්වා. රාජපක්ෂ කණ්ඩායම එක්ක ආණ්ඩුවක් හදන්න වුවමනාව දිගටම තිබුණේ එතුමට. ඒකයි පහුගිය කාලේ හොරු ආරක්ෂා කළේ.” බිමල් රත්නායක කීවේය. ”ඒ කොහොම වුනත් අපේ තීරණය ගැන තමයි ගොඩක් අය අවධානෙන් ඉන්නේ. මේකට අපි සහය දෙන්න ඕනෑ. මේකේ කරුණු 14ක් වුණාට ඇත්තටම තියෙන්නේ කරුණු දෙකයි. බැදුම්කර ගනුදෙනුවයි මහනුර දිගන ජාතිවාදී ප‍්‍රශ්නයයි. නමුත් මේකට ඇතුල් වෙන්න ඕනෑ කරුණු ගණනාවක් තියෙනවා. මේ රටේ ආර්ථිකය තිබුණ තැනින් තවත් කඩා වැට්ටුවා. සම්පූර්ණයෙන් අලූත් හොරු පරණ හොරු දෙගොල්ලම ආරක්ෂා කළා. රටේ ආර්ථික සම්පත් විකුණලා දානවා. මේවත් ඇතුල් වෙන්න ඕනෑ. පාර්ලිමේන්තුවේ විවාදය දවසේ මේ දේවල් ජනතාවට දැනගන්න අපි කියන්න ඕනෑ” අනුර දිසානායක කීවේය.

”මහින්ද රාජපක්ෂ විශ්වාසභංගයට අත්සන් කළේ නැහැ. හැමදාමත් රනිල් ආරක්ෂා කරන ස්ථාවරයක තමයි මහින්ද ඉන්නේ. අයවැයට විරුද්ධව ඡුන්දෙ දෙන්නේ නැහැ. රනිල් ගෙදර යවන්න ඇත්ත වුවමනාවක් මහින්දට නැහැ. විශ්වාසභංගය අත්සන් කරලා බාරදුන්නට විවාදයට ගන්න ඒකාබද්ධෙ කණ්ඩායමට ඇත්ත වුවමනාවක් තිබුණෙත් නැහැ. අවුරුද්දෙන් පස්සට ගන්න පුළුවන් වෙයි කියලා තමයි දිනේෂ්ලා හිතුවේ. කොහොම වුණත් අපිට මේ කණ්ඩායම් දෙකේම පැටිකිරිය රටට කියන්න හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා.” බිමල් රත්නායක කීවේය.

”මහ බැංකුව මුදල් අමාත්‍යංශයට පවරන්න හදනවා. මේකත් මේ දේශපාලන ගේම් එකේම කොටසක්. මහ බංකුව මුදල් අමාත්‍යංශයෙන් ගලවලා රනිල්ට භාරදුන්නෙත් ජනාධිපතිවරයයි. බැඳුම්කර ගනුදෙනුව සිදු වුණාට පස්සෙ කඩිනමින් කරන්න තිබුණේ මහ බැංකුව රනිල්ගෙන් ඉවත් කරන එක. නමුත් ඒක කළේ නැහැ. අවුරුදු 03ක් යනකල්. දැන් මේ විශ්වාශභංගය නිසා ඒක පවරගන්නවා. මේවා තමයි දේශපාලන විහිළු” විජිත හේරත් කීවේය.

20 කෙටුම්පත ගැන සංවාදයක්

ජනතා විමුක්ති පෙරමුණ විසින් පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට සූදානම් වන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20වැනි සංශෝධනය මේ වනවිට කෙටුම්පත් කරමින් තිබේ. ජවිපෙ නායකයින්ගේ මැදිහත්වීමෙන් නීතිඥ කණ්ඩායමක් වෙත මෙම කෙටුම්පත සකස් කිරීමට භාරදී තිබේ. මේ සම්බන්ධයෙන් මේ දිනවල විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥයින් ඇතුළු විද්වතුන් සමඟ පුළුල් සංවාදයක් ආරම්භ කොට ඇත. ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට, කොමිසන් සභාවලට පැවරීම සම්බන්ධයෙන් පළාත් සභාවල ආණ්ඩුකාරවරයාගේ බලතල සම්බන්ධයෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් අනතුරුව ඇතිවන අන්තර් කාලය සම්බන්ධයෙන් ආදී විවිධ කරුණු පිළිබඳව සංවාදයක් සිදුවෙමින් තිබේ. කෙටුම්පත සකස් කිරීමෙන් අනතුරුව, ආගමික නායකයින්, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හමුවී සාකච්ඡා කිරීමට ජවිපෙ සූදානමින් සිටියි.

සභාපතිවරු, නගරාධිපතිවරු පත්කරගන්න සහය ඉල්ලා ජවිපෙට ඇමතුම්

මේ දිනවල රට පුරා ප‍්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභාවල බලය පිහිටුවීමේ තරගයක් ඇතිවී තිබේ. මෙහිදී පත්වී සිටින මන්ත‍්‍රීවරුන්ගෙන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් ඉතාම තීරණාත්මක සාධකයක් වී ඇත. මේ හේතුවෙන් පොදුජන පෙරමුණේ, ශ‍්‍රීලනිපයේ සහ එක්සත් ජාතික පක්ෂයේ විවිධ මට්ටම්වල නායකයින් ජවිපෙ නායකයින්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් සභවල ප‍්‍රධානියා පත්කර ගැනීමට සහය ඉල්ලමින් තිබේ. ඇතැම් ආයතනවල ගුටිකෙළිද, ඇතැම් ආයතන තුළ අල්ලස්දීම්ද තවත් ආයතන තුළ දේශපාලන ඞීල්ද සිදුවෙමින් තිබේ. ”ඔබතුමාලාගේ උඩ නායකයෝ විශ්වාසභංග ගෙනත් අගමැතිකම් වෙනස් කරගන්න හදනවා. නමුත් සභාවල ඞීල්ගහලා එකතුවෙලා සභාපතිකම් ගන්නවා. අපි තීරණයක් අරගෙන තියෙන්නේ මේ දේශපාලන ඞීල්වලට අපේ සහය දෙන්නේ නැහැ කියලා. අපේ මන්ත‍්‍රීවරු විපක්ෂයේ ඉඳගෙන ජනතාවට විය යුතු වගකීම් ඉෂ්ඨ කරනවා. මොන සභාපතිවරයා පත්වුණත් අපිට වැඩක් නැහැ.” සහය ඉල්ලා ලැබුණු දුරකතන ඇමතුමකට පිළිතුරු දෙමින් සුනිල් හඳුන්නෙත්ති කීවේය. ”ජනතාවටත් වෙන්නේ මොකක්ද කියලා දැන් හොඳට තේරෙනවා ඇති. බෙදිලා ඡන්දේ ඉල්ලූවාට. දැන් සභාවල ඉන්නේ එකට. තමන්ගේ පුටුව බේරගන්න සල්ලි වියදම් කරනවා. මේ එන්නේ ජනතාවට සේවය කරන්න නෙවෙයිනේ. ඒ නිසා අපි අලූත් හොරුන්ටවත් පරණ හොරුන්ටවත් සහය දෙන්නේ නැහැ.” මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් පිළිතුරු දෙමින් කීවේය.

ජවිපෙ අපේක්ෂකයින් සහ නායකයින් ගමේ වැඩ ගැන සාකච්ඡාවක

ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන අපේක්ෂකයින් සහභාගි වූ විශේෂ රැස්වීම් මාලාවක් දිස්ත‍්‍රික් මට්ටමින් පසුගිය 24වෙනිදා සහ 25වෙනිදා පක්ෂයේ නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. එහිදී පක්ෂ නායකයෝ වර්තමාන දේශපාලන තත්වය සහ පක්ෂයේ ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමක් කළහ. අනතුරුව කොට්ඨාස මට්ටමින් පළාත් පාලන ආයතන මට්ටමින් ගමට සේවය කළ හැකි ආකාරයත් පක්ෂයේ සංවිධාන කටයුතු ඉදිරියට ගැනීම පිළිබඳවත් යෝජනා අදහස් සාකච්ඡුා කරන ලදී. පක්ෂයට ලැබී තිබෙන පළාත් පාලන ආයතන මන්ත‍්‍රී ධුරවලින් ගමට උපරිම ආකාරයෙන් ප‍්‍රතිලාභ ලැබෙන ආකාරයෙන් සේවය සැලසීම පිළිබඳවත් අනෙකුත් අපේක්ෂකයින් මන්ත‍්‍රීවරුන් සමඟ සම්බන්ධීකරණයෙන් ප‍්‍රදේශයේ පවතින ගැටලූ පළාත් පාලන ආයතනයේ අවධානයට යොමු කිරීම සහ ගමේ විවිධ සංවිධාන මගින් ගමට ලැබිය යුතු සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව සොයා බැලීම පිළිබඳවත් කොන්ත‍්‍රාත් ලබාදීමේදී එම මුදල් නිසි පරිදි සංවර්ධන කටයුතුවල යෙදවෙනවාද යන්න පිළිබඳවත් සොයා බැලීමට කටයුතු කළ යුතු බව මෙම සාකච්ඡාවලදී යෝජනා අදහස් ඉදිරිපත් විය.

Rate this item
(0 votes)
Last modified on Friday, 30 March 2018 16:42