හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එළියට පැමිණ රට වටා ගොස් ජනතා ප්‍රශ්න විසඳීමට සුදානම් වන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට අද (29) දැනුම් දී ඇතැයි වාර්තා වේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම දැනුම්දීම කළේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩලය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී රැස්වු අවස්ථාවේදීය.
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු අප්‍රේල්05 වැනිදායින් පසු එළඹෙන අලුත් අවුරුද්දට පෙර සිදු කිරීමටද මෙහිදී තීරණය වී තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව තීරණය කර ඇත.
මෙහිදී පක්ෂ ප්රතිසංවිධාන වාර්තාවද කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.
එජාප ප්‍රතිසංවිධානය මාස 2ක් තුළ
එම රැස්වීමෙන් අනතුරුව අමාත්‍ය නවීන් දිසානායක මහතා ද මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර එහිදී ඔහු කියා සිටියේ පක්ෂ ප්රතිසංවිධාන කටයුතු මාස 02ක් ඇතුලත සිදු කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බවයි.
මේ අතර විශ්වාසභංගය යෝජනාව පිළිබඳව එක්සත් ජාතික පෙරමුණෙන් සියලුම පක්ෂ නායකයන්ගේ නිල මතය අගමැතිවරයා වෙත අද (29) දැනුම්දෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
විශ්වාසභංග යෝජනාව පිළිබඳව එක්සත් ජාතික පෙරමුණේ නායකයන් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැති බවත් එහිදී ගත් තීන්දු තීරණ අගමැතිවරයා, සමග අද (29) සාකච්ඡා කරන බවත් රාජිත සේනාරත්න මහතා පැවැසීය.
අද පස්වරුවේදී අරලියගහ මන්දිරයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.
චම්පිකගෙන් රනිල්ට බලපෑම්
එම සාකච්ඡාවේදී විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදය පැවැත්වෙන අප්‍රේල් 4 වැනිදාට පෙර අගමැති ධුරයෙන් ඉවත් වී එජාපයේ වෙනත් කෙනකුට එම ධුරය භාර දෙන්නැයි එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කොට තිබේ.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් පැවැති මේ සාකච්ඡාවට චම්පික රණවක, අර්ජුන රණතුංග, මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, පලනි දිගම්බරම් යන ඇමැතිවරුන්ද නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන, චතුර සේනාරත්න, ෂෙයිඩ් අලි සහීර් මවුලානා සහ අතුරලියේ රතන හිමියන් සහභාගි වී තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාව විවාදය ගන්නා අප්‍රේල් 4 වැනිදාට පෙර අගමැති ධුරයෙන් ඉවත් වී එය එජාපයේ වෙනත් කෙනකුට භාරදිය යුතු බවට මේ සාකච්ඡාවේදී දැඩි ලෙස ප්‍රකාශ කළේ ඇමැති චම්පික රණවක බව දේශපාලන ආරංචි මාර්ග පැවසී ය.
මේ අවස්ථාවේ විශ්වාසභංගය සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාගැනීම උචිත නොවනු ඇති බව මෙහිදී ප්‍රකාශ වී තිබේ.