December 18, 2018

ආණ්ඩුවේ දෙදරයි: ශ්‍රීලනිප ඇමැති පිරිසක් විපක්ෂයට! රහස් සාකච්ඡාවකින් පසු තීන්දුවක් ගනී

දැනට රටේ සිදුවෙමින් පවතින තත්ත්වය හමුවේ තවදුරටත් ආණ්ඩුවේ රැදී සිටීමට නොහැකි බව දන්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමට සූදානමක් පවතින බව ශ්‍රීලනිප ආරංචි මාර්ග පවසයි.

ඒකාබද්ධ විපක්ෂය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් ස්ථිර වශයෙන් එම යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

එම ඇමැතිවරයාගේ මූලිකත්වයෙන් පසුගිය දිනවල පැවැති සාකච්ඡා වට කීපයකින් පසුව මේ තීරණය ගෙන ඇති බව එම ආරංචි මාර්ග පැවසී ය.

ශ්‍රී ලනිප ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ බහුතරය පාර්ලිමේන්තුවේදී පෙන්වන්නේ නම් ශ්‍රීලනිපයේ අයකු අගමැති ධුරයට පත් කළ යුතු බවද මේ සාකච්ඡාවලදී ගත් තීන්දුවද ජනාධිපති වෙත දැනුම් දුන් බව වාර්තා වේ.

දැනට සිදුවෙමින් පවතින බොහෝ දේශපාලන ක්‍රියාකාරකම් හමුවේ තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටීමට පුළුවන්කමක් නැති බවත් ශ්‍රීලනිපයේ ඇමැතිවරුන් කීපදෙනකු සමඟ පිරිසක් ශ්‍රීලනිපය නියෝජනය කරමින් විපක්ෂයේ අසුන් ගන්නා බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රීලනිප නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශීර්වාදය ඇතිව විපක්ෂයේ සිටිමින් ශ්‍රීලනිපය ශක්තිමත් කිරීමට දේශපාලන වශයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවද විපක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින ශ්‍රීලනිප ඇමැතිවරයෙකු සඳහන් කළේය.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 14 March 2018 10:30