August 15, 2018

කරළියෙන් එහා: මහනුවර සිද්ධියෙන් ආණ්ඩුව තවත් අවුලට- මුස්ලිම් මැති ඇමැතිවරු නුවර පල්ලිවල සාකච්ඡා

මේ සතියේ රටපුරාත් දේශපාලනයේත් දැඩි උණුසුම්කාරී වූයේ මහනුවර ගැටුමත් සමඟය. පුංචි ඡන්දයෙන් පසුව ආණ්ඩුවේ උද්ගත වූ අර්බුදය ඉදිරියට ගමන් කරමින් තිබුණද ඒ සියල්ල යටපත් වූයේ මහනුවර ගැටුම්කාරී තත්ත්වය හේතුවෙනි. අගමැති වෙනස් කිරීම, කැබිනට් සංශෝධනය වැනි පැළැස්තර යෝජනා වුවද ඉන් තවමත් ප්‍රතිඵලයක් ලැබි නැත්තේය. මේ අතර අගමැතිට එරෙහිව ගෙන ඒමට සූදානම් වූ විශ්වාසභංග යෝජනාවද ඒකාබද්ධ විපක්ෂය හකුලා ගෙන තිබේ. දැන් මුළු රටේම සහ ජාත්‍යන්තරයේත් කතාබහට ලක්ව ඇත්තේ මහනුවර ගැටුම්වලටය.

මහනුවර ප්‍රදේශයේ ගැටුම්වලට නායකත්වය දුන් බව කියන විදානපතිරණගේ අමිත් ජීවන් වීරසිංහ නමැත්තා ඇතුළු සැකකරුවන් දස දෙනකු ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය මගින් ඊයේ (08) අලුයම අත්අඩංගුවට ගත්තේය. ප්‍රධාන සැකකරු මහසෝන් බළකාය නැමැති වෙබ් අඩවිය මෙහෙයවූ තැනැත්තා බවද හෙළිවී තිබේ. මෙම පිරිස දිගන ප්‍රදේශයේ ස්‌ථාන කීපයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි. මහනුවර ප්‍රදේශයේ ජාතිවාදී අරගලයක්‌ ඇතිකර රටේ විවිධ ප්‍රදේශවලින් තරුණයන් කැඳවා නිවාස, වෙළෙඳ සල් හා ආගමික ස්‌ථාන ඇතුළු දේපළ විනාශ කිරීමට ඔවුන් පෙළඹවූ බවට මෙම සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු සෙසු සැකකරුවන් කොළඹ ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය වෙත රැගෙන ගොස්‌ වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කටයුතු යොදා තිබේ.
ඒ අනුව මහනුවර දිගන ප්‍රදේශයේ දෙපිරිසක් අතර හටගත් ගැටුම්කාරි තත්ත්වය මේ වනවිට සාමාන්‍ය අතට පත් වෙමින් තිබේ. ඉතා සුළු ගැටුමක් මහා විශාල ප්‍රශ්නයක් වන තරමට දුරදිග යන තෙක් ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග නොගත් බවට ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පිරිසක් චෝදනා කරති. එහෙත් ආණ්ඩුව වක්‍රව චෝදනා කළේ ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනඥයන් මෙම ගැටුම පිටපස සිටින බවය. ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙක්ම ඒ බවට ඒකාබද්ධ විපක්‍ෂයට චෝදනා කළහ. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය සියලු චෝදනා ප්‍රතික්ෂේප කළේය.

“මේ ආණ්ඩුවේ ජයග්‍රහණයට සුළු ජන කොටස්වල විශාල දායකත්වයක් හිමිවුණා. ප්‍රශ්න ඇති කරලා මේ පිරිස ආණ්ඩුව කෙරෙහි කලකිරවන්න තමයි මේ වැඩ කරන්නේ” යැයි ආණ්ඩුව කරන චෝදනාවය. එහෙත් විපක්‍ෂයේ පිළිතුර වෙනස්ය.“අපි එකාබද්ධ විපක්‍ෂය මේ වනවිට බහුතර සිංහල ජනතාවගේ ඡන්දය දිනාගෙන ඉවරයි. අපට අවශ්‍ය සුළුජන කොටස් දිනා ගැනීමයි. ඒ නිසා අපට සුළු ජනකොටස් තරහ කරගන්න අවශ්‍යද? ඒවගේ මෝඩකමක්අපි කරනවාද?” යැයි ඒකාබද්ධ විපක්‍ෂය පැහැදිලි කරන්නේය. මේ අතර කුලියාපිටියේ සිද්ධියක් ගැනද ඒකාබද්ධ මන්ත්‍රීහු කියන්නට වූහ. එයින් ඇඟිල්ල දික්කෙරුණේ එජාප දේශපාලනඥයකුට එරෙහිවය. මේ දේශපාලකයා මුස්ලිම් ජාතික වෙළෙඳසලකට හානි පමුණවීමට සම්බන්ධවූ බව කැමරාවලින්ද කියැවෙන බව ප්‍රකාශිතය. මේ අතරම පොහොට්ටු පක්‍ෂයට ද චෝදනා එල්ල වී තිබේ. වෙළෙඳසැල්වලට හානි කරද්දි පොහොට්ටු ලාංඡනය තිබූ වෙළෙඳ සලක් මඟහරවා විනාශය කළ බවට ප්‍රකාශිතය.

මුස්ලිම් මැති ඇමැතිවරුන් පිරිසක් නුවර ප්‍රධාන පල්ලිවල සාකච්ඡා

එම පිරිසට පැවිදි පක්‍ෂය ද සහභාගි වූ බව කියැවේ. තත්ත්වය මෙසේ තිබියදී ආණ්ඩුවට චෝදනා නැගෙන්නේ තත්ත්වය පාලනය කරන්නට කටයුතු නොකළ බවටය. එසේත් නැතිනම් ආණ්ඩුව ප්‍රමාද වූ බවටය. මහනුවර සිද්ධිය වාර්තාවූ දින පාර්ලිමේන්තුව රැස්වූයේය. අග්‍රාමාතවරයාගෙන් උපදෙස් මත ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙළිකොප්ටරයක් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට යවා තිබිණ. ඒ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන මුස්ලිම් මැති ඇමැතිවරුන් පිරිසක් මහනුවරට රැගෙන යාමටය. මුස්ලිම් ජාතික මැති ඇමැතිවරුන් මහනුවර ප්‍රධාන පල්ලිවලට ගොස් පූජකවරු සමඟත් ජනතාවත් සමඟත් සාකච්ඡා කළහ.

තත්ත්වය පාලනය කරන්නට පියවර ගත්තේය. එහෙත් යම් යම් හේතූන් මත ඇතැම් සිදුවීම් පාලනය වී නොතිබිණ. මේ අතර ඉකුත් අඟහරුවාදා සුපුරුදු පරිදි කැබිනට් රැස්වීමට සහභාගී වීම සඳහා ඇමතිවරු කොළඹ ජනාධිපති කාර්යාලයට පැමිණියහ. එහෙත් කැබිනට් මණ්ඩලය රැස්වීම නොපැවැත්විණි. ජනාධිපතිවරයා කැබිනට් ඇමතිවරුන් ජනාධිපති කාර්යාලයේ උඩු මහලට කැඳවීය. රටේ පවතින තත්ත්වය පිළිබඳව එහිදී දිගින් දිගටම සාකච්ඡා කළේය. ඇමතිවරුත් විවිධ කරුණු කියමින් හා යෝජනා ඉදිරිපත් කරමින් අදහස් දැක්වූහ. අවසානයේ දී රටපුරා හදිසි නීතිය ප්‍රකාශයට පත් කෙරිණ. එතැනින් නොනැවතුණ ආණ්ඩුව සමාජ ජලා මාධ්‍යයට ද තහනමක් පැනවීය.

ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ මුහුණු පොත හරහා ඇතැම් පිරිස් ගිනි අවුලුවා තිබෙන බවය. ඇතැම් පූජකවරුන් පවා මුහුණු පොත හරහා වෛරී ප්‍රකාශක පතුරුවා ඇති බවට මේ වනවිට ආරක්‍ෂක අංශ කරුණු අනාවරණය කරගෙන ඇත. මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඔහුගේ මුහුණු පොත ඔස්සේ යම් යම් ප්‍රකාශ සටහන් කර ඇති බවත් ඒ අනුව මහනුවර නොසන්සුන්වීමට ඉන් අවකාශ සැලසී ඇති බවටත් චෝදනා එල්ලවී තිබේ. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ආරක්‍ෂක අමාත්‍යාංශය මැදිහත්වී සිදු කෙරෙන සොයාබැලීම්වල දී යම් යම් කරුණු තහවුරු වී තිබෙන බවද ආණ්ඩුවේ ඇමතිවරු සඳහන් කරති.

සමාජ මාධ්‍ය ජාලා තහනමට ජනපතිට පොටක් පෑදෙයි

කෙසේ වෙතත් අවසානයේ දී සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව තහනම් කිරීමට ආණ්ඩුව තීන්දුවක් ගත්තේය. දේශපාලන විචාරකයන්ගේ අදහසට අනුව සමාජ මාධ්‍ය ජාලා සහ ආණ්ඩුව අතර ඇත්තේ ඉතා දැඩි සබඳතාවයකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය වෙනුවෙන් සමාජ මාධ්‍යජාලා ඔස්සේ තරුණ ප්‍රජාව විශාල ප්‍රචාරණයක් ගෙන ගියේය. රැල්ලක් ලෙස පැතිර ගිය එම ප්‍රචාරණය නිසාම ජනාධිපතිවරණයෙදී මෛත්‍රීපාල සිරිසේනට සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් හිමිවී තිබිණ. එහෙත් බලයට පැමිණ වසරක් යෑමට පෙර සමාජ මාධ්‍ය ජනාධිපතිවරයාගේ ඇතැම් ප්‍රකාශවලටත් ආණ්ඩුවේ කටයුතුවලටත් විවේචන එල්ල කරන්නටත් පහර දෙන්නටත් පටන් ගත්තේය. වැඩිපුරම කලබලයට පත්වූයේ ජනාධිපතිවරයාය. සමාජ ජාලා මාධ්‍යයට හා ඒවා මෙහෙයවන පුද්ගලයන් පිළිබඳව ජනාධිපතිවරයා විවේචන ඉදිරිපත් කළේය. මුලසිටම සමාජ ජාලා මාධ්‍ය කෙරෙහි සැලකිල්ලෙන් පසුවූ ජනාධිපතිවරයා අවශ්‍ය හොඳම අවස්ථාවේ දී ඒවා තහනම් කිරීමට පියවර ගත්තේය.ආණ්ඩුව ප්‍රකාශ කළේ තාවකාලික පියවරක් ලෙස එවැන්නක් කරන බවය.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති මෙරටට කැඳවයි

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා ලෙස කටයුතු කළේ වෛද්‍ය සමන් වීරසිංහය. ඔහුගේ වසර දෙකක සේවා කාලය නිම වී තිබෙන අතර ඔහු මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටී. ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්තියට අනුව දේශපාලනික පත්වීම් ලබාදෙන තානාපතිවරයකුගේ නිල කාලය වසර දෙකකට සීමාවේ. එම කාලය දීර්ඝ කෙරෙන්නේ නම් ඒ සුවිශේෂි හේතූන් මතම පමණි. කෙසේ වෙතත් විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේ විදේශ සේවයේ නිලධාරියකු රුසියාවේ නව තානාපතිවරයා ලෙස ඉදිරියේ දී රාජකාරි ආරම්භ කරනු ඇති බවය. රුසියාව හා ශ්‍රී ලංකාව අතර ඉකුත් කාලයේ පැවැති ආර්ථික හා දේශපාලනික කටයුතුවල දී වෛද්‍ය සමන් වීරසිංහ විශාල සේවාවක් කළේය. ශ්‍රී ලංකා තේ සම්බන්ධයෙන් හටගත් කුරුමිණි ගැටලුවේදි ද හෙතෙම විශාල මැදිහත්වීමක් කර තිබිණ. ඒ අනුව ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ තවදුරටත් වෛද්‍ය වීරසිංහගෙන් රටට ප්‍රයෝජනයක් ගැනීමටය.

ඒ අනුව ඔහු ඉදිරියේ දී රුසියාවේ ශ්‍රී ලංකා විශේෂ නියෝජිතයකු ලෙස පත්කරනු ඇතැයි ද පැවසේ. මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් එවැනි නිලධාරියකු වෙනත් රටකට පත් කර නැති අතර එවැනි පත්වීමක් කළහොත් එය ප්‍රථම අවස්ථාව වන ඇති බවද විදේශ සේවා ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ විශේෂ නියෝජිතයකු වූ විට එම නිලධාරියාට අදාළ රට සමඟ සෘජුව ගනුදෙනු කරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට වගකිව යුතු වන බවද පැවසේ.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයට නියෝජිතයන් පත්කිරීම වසර දෙකකට ආසන්න කාලයක් ඇදි ඇදී තිබිණ. කෙසේ හෝ යම් යම් හේතූන් මත ඊට නියෝජිතයන් පත් කැරුන ද ඇතැම් පුද්ගලයන් සම්බන්දයෙන් විපක්‍ෂයේ දේශපාලනඥයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වන්නට විය. එහෙත් ආණ්ඩුව ඊට ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. මේ අතර ඉකුත් බදාදා විශේෂ හමුවක් පැවැත්විණ. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ නියෝජිතයෝ එදින පාර්ලිමේන්තුවට ගොස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කතානායක කරු ජයසූරිය හමුවූහ. ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම එහි අරමුණ වී තිබිණ. එහිදී කතානායකවරයා සඳහන් කළේ අතුරුදන්වූ තම සමීපතමයන් පිළිබඳ චේදනා විඳිමින් තවදුරටත් අපේක්‍ෂාවෙන් සිටින පවුල් වෙනුවෙන් සත්‍ය සොයා දීම මෙම කාර්යාලයේ වගකීම බවය. ජාති ආගම් භේදවලින් තොරව ජාතික යුග මෙහෙවරක් කරන ලෙස ද කතානායකවරයා අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ නියෝජිතයන්ට උපදෙස් දුන්නේය. විපක්‍ෂනායක ආර්. සම්පන්දන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නියෝජිතයන් වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, ඒ.ටී. ආරියරත්න, සිබ්ලි අශීස්ද ඒ අවස්ථාවට එක්ව තිබිණ. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි හා පහසුකම් සලසා ගැනීම සඳහා පියවර ගන්නැයි ඒ අවස්ථාවේ කතානායකවරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට සහ මහා භාණ්ඩාගාරයට දැනුම් දීමක් ද කළේය.

මුස්ලිම්වරු ගැන ඇමැති කතා

මහනුවර ප්‍රදේශයේ ඇතිවූ ගැටුම් පිළිබඳව අදහස් දැක්වීමේදී ඇමතිවරු කිහිප දෙනෙක්ම අතීත කතා සිහිපත් කළහ. එස්.බී දිසානායක කීවේ “මේ වගේ සිද්ධියක් එදා 1965 දීත් වුණා. බර්ගර් මිනිස්සුන්ට ඔය වගේ තර්ජන ගර්ජන කීවා. අන්තිමට බර්ගර්වරුන් විශාල පිරිසක් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට ගියා. දැන් ඒ අය ඉතා හොඳට ජීවත් වෙනවා. ඒ නිසා ලංකාවට විශාල ජනකොටසක් අහිමි වුණා. යැයි එස්.බී. කීවේය. සරත් අමුණුගම කීවේ තවත් කතාවකි. “ එදා සිංහල රජකාලේ මුස්ලිම් පිරිමි විතරයි ලංකාවට ආවේ. ඒ අයට ලංකාවේ පදිංචි වෙන්න ඕන වුණා. රජතුමාට කිව්වා කාන්තාවන් ඕනේ කියලා. එතකොට රජ්ජුරුවො උපදෙස් දුන්නේ ඔය පෙරහරවල් බලන්න ගියාම සිංහල කාන්තාවන් හාද කරගන්නා ලෙසයි. එදා ඉදන් මුස්ලිම් මිනිස්සු සිංහල කාන්තාවන් විවාහ කරගෙන ජීවත් වුණා.“ යනුවෙනි.
“අපේ දෙපිරිස අතර ඉතා හොඳ සැබැඳියාවක් තිබෙනවා. කබීර් හෂිම් ද තවත් කතාවක් මතක් කර තිබිණි. “එදා සිංහල රජවරුන්ට ඉතා විශ්වාසවන්ත ලෙස කටයුතු කළේ මුස්ලිම් මිනිස්සු. ඒ අය පන්සල් හා පූජා භූමි අවට පදිංචි කරවන්න රජතුමා පියවර ගත්තා”යැයි කබීර් කීවේය.

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ ගැටලුවට ජනාධිපතිවරයා මැදිහත්වී අවසන් විසඳුමක් ලබාදුන් බවක් ප්‍රකාශ විය. එහෙත් එය තවත් ගැටලුකාරී තත්ත්වයක් ඇතිකර තිබෙන බවද දේශපාලන තුරුම්පුවක් ලෙස ව්‍යාජ අවසන් විසඳුමක් ප්‍රකාශයට පත්වූ බවටද ඇතැම් පිරිස් චෝදා කරති. සර්ජෝන් කොතලාවල ඔහුට අයත් දේපොල සිය අවසන් කැමැති පත්‍රයෙන් ලියාදී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක කටයුතු වෙනුවෙන් පමණක් භාවිත කිරීමට බවක් පැවසේ. සර් ජෝන් කොතලාවලගේ අවසන් කැමති පත්‍රයේ සඳහනට අනුව එම දෙපළ වෙනත් කටයුතු සඳහා යොදාගත නොහැකි බවද යම් හෙයකින් අධිකරණමය ක්‍රියාවලියකින් ඒ පිළිබඳව තීන්දුවක් ගතහැකි බවද සයිටම් සිසුන්ගේ මවුපියෝ පවසති. සයිටම් සිසුන් කොතලාවල ආරක්‍ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කළ පසුව අන්තවාදී අදහස් දරන පිරිසක් මැදිහත්වී එම සිසුන්ට එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු විය නොහැකි බවට වන අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත හැකි බවට ද එසේ වුවහොත් දෙවැනි වතාවටත් තම දරුවන් අසරණ බව ද සයිටම් දෙමවුපියෝ පවසති.

ඒ වනවිට යම් හෙයකින් සයිටම් වෛද්‍ය පීඨය වසා දමා තිබුණහොත් ප්‍රශ්නයට කිසියම් හෝ විසඳුමක් නොලැබෙනු ඇති බවටද මවුපියෝ බිය පළකරති. ඒ අනුව සයිටම් ගැටලුවට අවසන් විසඳුමක් ප්‍රකාශයට පත්වූ බවක් කියවුණා ද එය තව තවත් නූල්බෝලයක් මෙන් පටලැවෙනු ඇතැයි පැවසේ.

මහනුවර හා ඇතැම් තැන්වල ඇතිවන යම් යම් සිද්ධීන් නිසා මුස්ලිම් ප්‍රජාවට විශාල ගැටලුවක් මතුව ඇති බවත් ඔවුන් අසාධාරණයකට ලක්ව ඇති බවටත් දේශපාලන නායකයන් වෙත ලැබෙන චෝදනා යෝජනා හා පැමිණිලිවලින් ඉකුත් දිනවල කිසිදු අඩුවක් නොවීය. ඉකුත් බදාදා පස්වරුවේ මුස්ලිම් ජාතිකයන් පිරිසක් හිටපු ජනාධිපතිවරයා හමුවීමට කොළඹ විජේරාම නිවසට පැමිණියහ. එහිදී සිය දුක්ගැනවිල්ල ඔහු මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට ඉදිරිපත් කළහ. හිටපු ජනාධිපතිවරයා කීවේ අවශ්‍ය මැදිහත්වීම් සිදුකර ප්‍රශ්නයට කෙසේ හෝ විසඳුමක් සොයා දෙන බවටය. මේ අතර මුස්ලිම් මැති ඇමැතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් පෞද්ගලිකවම මුණගැසී අදහස් දක්වා තිබිණ.

යහපාලන ආණ්ඩුවේ සිව්වැනි පොලිස් ඇමැති රංජිත්

නීතිය හා සාමය පිළිබඳ ඇමැති ධූරයට කෙනකු පත්කිරීම සම්බන්ධයෙන් කඹ ඇදිලි-චෝදනා යෝජනා ගැන පසුගිය දින කීපය පුරාම සාකච්ඡාවලට බදුන් විය. එජාපය නොයෙක් වර ඊට ඇමැති සරත් ෆොන්සේකා පත්කළ යුතු යැයි යෝජනා කළේය.
ඒ අතර රංජිත් මද්දුම බණ්ඩාර ඇමැතිවරයාට ද සාමය හා නීතිය ඇමැති ධුරය බාරගන්නැයි එජාප ඉහළ තැන්වලින් ආරාධනා කෙරිණි. ඔහු ඒ අවස්ථාවල ඊට කැමැත්තක් දැක්වූයේ නැත. කෙසේ වුවද රංජිත් බණ්ඩාර මහතා ඊයේ උදෑසන එම දුරයේ දිවුරුම් දුන්නේය. එතෙනින් ප්‍රශ්නය නිමාවට පත්වීය. කෙසේ වෙතත් රංජිත් මද්දුමබණ්ඩාර යහපාලන ආණ්ඩුවේ හතරවැනි පොලිස් ඇමැතිවරයා වීමද විශේෂයකි.

පොහොර සහනාධාරය ආපස්සට හරවයි

ඉකුත් කාලයේ ඇතිවූ පොහොර හිඟය හේතුවෙන් ආණ්ඩුවට ගොවිජනතාවගේ ඡන්දය අහිමි වූ බවට දේශපාලන කතා බහවලින් කියැවිණි. පොහොර හිඟයනිසිලෙස කළමනාකරණය නොකළ බවට චෝදනා එල්ල වූයේ කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායකටය. බොහෝ දෙනා දුමින්ට ද ඇඟිලි දිගු කිරීම නිසා ඔහු ඉකුත් දිනවල විවෘත ප්‍රකාශයක් ද කළේය. ‘මම පක්ෂයේ මහ ලේකම්. ඒ නිසාම පරාජයේ වගකීම තනිව මට බාර ගන්න බැහැ. මැතිවරණ මෙහෙයුම් කමිටු තිබුණා. ඒවා බාරදීපු අය හිටියා. කවුරු හරි ප්‍රශ්න කරනවා නම් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී ඒ ගැන අපි විවෘතව කතා කරමු’ යැයි දුමින්ද කීවේ අතන මෙතන කතා වලින් පළක් නැති බවද කියමිනි.

කෙසේ වෙතත් පොහොර සහනාධාරයට මුදල් ලබාදීම අසාර්ථක බවටද ඇතැම් පාර්ශ්ව ආණ්ඩුවට කරුණු ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව දුමින්ද දිසානායක ඇමැතිවරයා කල්පනා කර තිබුණේ ඉකුත් කාලයේදී මෙන් පොහොර මිටි නැවත ගොවීන්ට ලබාදීමටය. ඒ සඳහා ඔහුට විශාල අරගලයක් කරන්නට සිදුවූයේය. මහාභාණ්ඩාගාරය කිසිසේත් ඊට එකඟ වූයේ නැත. දුමින්ද දිසානායක ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවේ ඇමති කාර්යාලයට නිලධාරීන් කැඳවීය.

ඇමැතිවරුන් වන සරත් අමුණුගම, ඉරාන් වික්‍රමරත්න සහ ගයන්ත කරුණාතිලක ද පැමිණ සිටියහ. ‘මේක කොහොම හරි කරන්න ඕනේ. අපි පොහොර දෙමු. ගොවීන්ට මුදල් දුන්නොත් තවදුරටත් වැඬේ අවුල් වෙනවා. මට තොරතුරු ඇවිත් තිබෙනවා ඇතැම් ගොවීන් මේ සල්ලි අරක්කු බොන්නත් ගන්නවා කියලා’ යැයි ආදි වශයෙන් ඇමැතිවරයා කරුණු පැහැදිලි කළේය. එහෙත් මහාභාණ්ඩාගාර නිලධාරීන් පැවසුවේ පොහොර නොදී ගොවීන්ට මුදල් දීමෙන් ආණ්ඩුවට රුපියල් මිලියන 12ක පමණ මුදලක් ඉතිරි වන බවය. ‘එහෙම කියන්න බැහැ. පොහොර දුන්නෙ නැත්නම් මේ කෘෂිකර්ම ඇමැතිකම මට වැඩක් නැහැ. මම ඉල්ලා අස්වෙනවා. ලාබ පාඩුවලින් මට වැඩක් නැහැ’ යැයි දුමින්ද කීවේය.

‘හොඳයි ඇමැතිතුමා කියනවා නම් අපි අද හවස මේ ගැන කැබිනට් මණ්ඩලයට කියමු. එතන දී තීන්දුවක් ගන්න පුළුවන්’ යැයි රාජ්‍ය ඇමැති එරාන් කීවේය. ඒ අනුව එදින රාත්‍රියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට පොහොර යෝජනාව ඉදිරිපත් කරමින් දුමින්ද කරුණු පැහැදිලි කළේය. තවත් කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනෙකුගෙන්ම දුමින්දට සහාය ලැබිණ. පොහොර මිටි යළිත් ගොවීන්ට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළේ ඉන් පසුවය.

ජාතික සමගිය වනසන ජාතිවාදය එපා!

මහනුවර, තෙල්දෙණිය සහ දිගන ප‍්‍රදේශයේ ඇතිවූ සිදුවීමත් සමඟ පසුගිය 05වෙනිදා පස්වරුවේ ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක විය. මේ සිදුවීමත් සමඟ රට පුරා සියලූ දෙනාගේ අවධානය මහනුවරට යොමු වෙමින් තිබිණි. මේ තත්වය හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ද හදිසි හමුවක් සූදානම් කර තිබිණි. ඇති වී තිබෙන තත්වය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ලෙස ඉදිරියේදී ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී අවධානය යොමු වී තිබිණි. ”නැවත වරක් ජාතිවාදී කොලාහලයක් ඇතිවෙන ප‍්‍රවණතාවයන් වර්ධනය වෙමින් තියෙනවා. මේ රට අවුරුදු 30ක යුද්ධයකින් බැට කාලත් ඒ අත්දැකීම ඇතැම් පිරිස් විසින් තේරුම් අරගෙන නැහැ. තමන්ගේ බලය වෙනුවෙන් ජාතිවාදය වපුරන එක කරන්නේ.” ටිල්වින් සිල්වා කියා සිටියේය. ”පහුගිය මැතිවරණය කාලෙ පුරාම පරාජිත කණ්ඩායම ජාතිවාදය වැපිරුවා. ව්‍යවස්ථාව පදනම් කරගෙන ජාතිවාදී මතයක් ගොඩ නැගුවා. ඒ විතරක් නෙවෙයි දියතලාවේ බෝම්බය පදනම් කරගෙන රාජපක්ෂ කණ්ඩායමේ පිරිස් කොටි නැගිටිනවා... කොටි නැගිටිනවා.. කියමින් නැවත ජාතිවාදී ප‍්‍රවණතාවයක් ඇතිකරන්න කටයුතු කළා. මොකද ඒ කණ්ඩායමට තියෙන එකම අවිය බවට පත්වෙලා තියෙන්නේ ජාතිවාදය. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනගනවා කියලාවත්, ආර්ථිකය හදනවා කියලාවත්, හොඳ විදේශ ප‍්‍රතිපත්තියක් හදනවා කියලා වත් ජනතාව එකතු කරගන්න ඒ කණ්ඩායමට බැහැ. මේක රටට මහ ව්‍යසනයක්. අපි මේ ජාතිවාදී ප‍්‍රවණතාවයට එරෙහිව ප‍්‍රබල ව්‍යාපාරයක් ගොඩනගන්න ඕනෑ.” අනුර දිසානායක කියා සිටියේය.

”මේ වගේ ජාතිවාදී ගැටුම් ඇතිවෙන එක ආණ්ඩුවටත් වාසියක්. දැන් හැමෝම කතා කරන්නේ අම්පාරේ වඳ පෙත්ත ගැන. තෙල්දෙණියේ සිදුවීම ගැන. රනිල්ගේ විශ්වාසභංගය, රටේ ආර්ථික කඩාවැටීම, ආණ්ඩුවේ බැරි බැරියාව මේ එකක්වත් අද පත්තරවල ප‍්‍රවෘත්ති නෙවෙයි. ඒ නිසාම ආණ්ඩුව මේ වගේ ගැටුම් මර්දනය කරන්න කඩිනම් පියවර ගන්නේ නැහැ. ඇල් මැරුණු ස්වභාවයක් තමයි ආණ්ඩුවෙන් පේන්නේ.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය. ආණ්ඩුව හරියට නීතිය ක‍්‍රියාත්මක කළානම් මේ ගැටුම් දුරදිග යන්නේ නැහැ. ඇත්තටම ආණ්ඩුවක් නැති එක තමයි ප‍්‍රශ්නේ. අම්පාරේ සිදුවීම ගැන තවමත් ආණ්ඩුව නිල ප‍්‍රකාශයක් කරලා නැහැ. ඒ නිසා මේ ගැටුම්වලට සෘජුවම ජනාධිපතිත්, අගමැතිත්, කැබිනට් එකත් වගකියන්න ඕනෑ. මේ ආණ්ඩුවට ජනතාවගේ ආරක්ෂාව ගැන හිතන්න වෙලාවක් නැහැ. ජනාධිපති, අගමැති, ඇමතිලා තම තමන්ගේ පුටු බේරගන්න කල්පනා කරනවා.” බිමල් රත්නායක කියා සිටියේය. ”මේ ජාතිවාදී භූතයා බෝතලෙන් එළියට ගන්නවා වගේ ලේසි නැහැ බෝතලය ඇතුලට දාන එක. ඒ නිසා මේ ගැටුම් ඇතිවෙන සැණින් නවත්වන්න ඕනෑ. අපි මේ ගැන කතා කරනකොට අපිට ගහන්න බලාගෙන ඉන්න කණ්ඩායම් ඉන්නවා. නමුත් අපිට කොතරම් අවාසි වුණත් මේ ජාතිවාදී ප‍්‍රවණතාවයට එරෙහිව ගත හැකි සියලූ ක‍්‍රියාමාර්ග ගන්න ඕනෑ. මේකෙදි අපිට විතරක් නෙවෙයි මාධ්‍ය ආයතනවලට අත්හරිය නොහැකි වගකීමක් තියෙනවා. සිවිල් සංවිධාන, ආගමික නායකයින් සම්බන්ධ කරගෙන වැඩපිළිවෙළක් දියත් කරන්න ඕනෑ.” අනුර දිසානායක කියා සිටියේය. මේ අනුව ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය හමුවක් පවත්වා ඇතිවී තිබෙන තත්වයේ අනතුර පිළිබඳව පැහැදිලි කිරීමටත් එමෙන්ම ‘ජාතික සමගිය වනසන ජාතිවාදී ගැටුම් එපා’ යනුවෙන් සහ ‘පාලකයිනි, ජාතිවාදී ගැටුම් වැළැක්වීමට නීතිය ක‍්‍රියාත්මක කරනු!’ යනුවෙන් පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කිරීමටත් පියවර ගත්තේය. ඊට අමතරව සිකුරාදා දිනයේදී කොළඹදී සත්‍යග‍්‍රහයක්ද සංවිධානය කිරීමටද තීරණය විය.

අනුර කුමාර මල්වතු නාහිමි හමුවෙයි

මහනුවර ප‍්‍රදේශයේ ඇතිවී තිබෙන තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට සහ එම ප‍්‍රදේශයේ ජනතාව හමුවීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පසුගිය හත්වෙනිදා එම ප‍්‍රදේශයට ගියේය. මුලින්ම මල්වතු නාහිමියන් හමුවී මේ පිළිබඳව සාකච්ඡුා කිරීමට ජවිපෙ නායකයා කටයුතු කර තිබුණි. පවතින තත්වය සම්බන්ධයෙන් ජවිපෙ නායකයා මල්වතු නාහිමියන් සමඟ සාකච්ඡුාවක නිතර විය. ”පහුගිය කාලේ යම් යම් අය විසින් ඇති කරපු නරක දේවල්වල ප‍්‍රතිඵල තමයි අද මේ විදියට අපිට දකින්න සිදුවෙලා තියෙන්නේ. ජනතාව මේ තත්වයෙන් ගලවා ගන්න ඕනෑ. රටේ පාලකයිනුත් මේ තත්වය තේරුම් අරගෙන නිසි ක‍්‍රියාමාර්ග නිසි කලට ගන්න ඕනෑ. අපිට ඔබතුමාලා ගැන විශ්වාශයක් තියෙනවා. ඔබතුමාලා මේ වගේ ගැටුම් ඇතිවීමට විරුද්ධව වැඩ කරනවා කියලා අපි තේරුම් අරගෙන තියෙනවා. ඔබතුමාලාගේ වගකීම තමයි ජනතාවට මේ ඇත්ත තත්වය පහදලා දීලා ජනතාව අතර සමගිය ගොඩනගන එක.” මල්වතු නාහිමියෝ කියා සිටියහ. මල්වතු හිමියන් සමග සාකච්ඡුාවෙන් අනතුරුව ජවිපෙ නායකයා මාධ්‍ය වෙතද අදහස් පළ කළේය. අනතුරුව ප‍්‍රදේශවාසීන් හමුවීමට යොදාගෙන තිබුණත් නැවත ඇදිරි නීතිය පනවා තිබීම නිසා ජවිපෙ නායකයා ජනතාව හමුවීම අවලංගු කළේය. කෙසේ නමුත් ජවිපෙ නායකයා පැමිණි බව දැනගත් පිරිසක් ඔහු හමුවීමට පැමිණ තිබිණි. ”ඔබතුමා ආපු එක ලොකු දෙයක් අපිට. ඔබතුමාගේ පාර්ලිමේන්තු කතාව අපි ඇහුව්වා. ඒ විදියට කතා කරන්න පුළුවන් ඔබතුමාලගේ පක්ෂයේ අයට පමණයි. ඔබතුමාලා කියන කතාව මේ මිනිස්සු පිළිගන්නවනම් මේ වගේ ගැටුම් ඇති වෙන්නේ නැහැ විතරක් නෙවෙයි හැමෝටම සමගියෙන් ජීවත් වෙන්න පුළුවන්” පැමිණි සිටි පිරිසගෙන් බොහෝ දෙනා තමන්ගේ හිත් වේදනාවන් කියන්නට විය.

මේ අතර ජවිපෙ නායකයින්ට විශාල ලෙස දුරකතන ඇමතුම් ගලා එන්නට වූයේ ඇති වී තිබෙන තත්වය සමනය කිරීමට මැදිහත්වෙන ලෙස ඉල්ලමිනි. විදේශගත වී සිටින ශ‍්‍රී ලාංකිකයින්ගෙන් පවා දුරකතන ඇමතුම් ලැබුණේ කඩිනමින් මේ පිළිබඳව කි‍්‍රයාත්මක වෙන ලෙස ඉල්ලමිනි. මේ අතර ජවිපෙ මහනුවර දිස්ත‍්‍රික් සංවිධායකවරයාටද නැවතත් පක්ෂ නායකයා මහනුරට ගෙන්වා දෙන ලෙස ප‍්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීම් ලැබෙමින් තිබේ. ජවිපෙ නායකයාගේ දුරකතනය මේ දිනවල කාර්යබහුලවී ඇත්තේ ජනතාවගේ ඉල්ලීම්වලිනි. එසේම මේ අතර ජවිපෙ නායක අනුර දිසානායකගේ පාර්ලිමේන්තු කතාව බෙදා හැරීම සඳහා සීඞී මගින් තමන්ට ලබා දෙන ලෙසටද ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයට ඉල්ලීම් ලැබෙමින් තිබේ.

මහින්දගෙන් ඒකාබද්ධ මන්ත්‍රීට විශේෂ සාදයක්

පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය සැමරීමට ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට විශේෂ සාදයක් පසුගිය සතියේදී පැවැත්වුණේ මහින්දගේ විජේරාම නිවසේදීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට පෙර වට දෙකකින් පළාත් පාලන නියෝජිතයන්ට හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබුණි.

ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනාම පැමිණ සිටි එම සාදය ආරම්භ වූයේ සවස හයයි තිහට පමණය. සාදයේදී මේසයෙන් මේසයට ගිය මහින්ද ඔවුන් සමග සුහදව කතා කිරීමට අමතක කළේ නැත.

“අපේ ජයග්‍රහණයට සෘජුවම සම්බන්ධ වුණ මන්ත්‍රීවරුන්ට වගේම ඔවුන්ගේ පවුල්වල අයටත් ස්තුති කරන්න ඕන. මොකද මන්ත්‍රීවරු ඡන්දෙ කරනකොට ඔයාල තමයි ගෙදර ඉඳගෙන ඒකට ශක්තියක් දුන්නේ. අපිට මේ මැතිවරණයේදී වගේම ඉදිරියේදී එන මැතිවරණවලදීත් ඔයාලගේ සහාය ඕන වෙනවා. එහෙම වුණොත් තමයි අපි ලොකු ජයග්‍රහණයකට යන්න පුළුවන් වෙන්නේ” මහින්ද කීවේය.

ආණ්ඩුවේ සිට ඒකාබද්ධ විපක්ෂයට එක්වූ නිමල් ලන්සා, අරුන්දික ප්‍රනාන්දු, පියංකර ජයරත්න, ඩුලිප් විජේසේකර වාඩිවී සිටියේ එකම මේසයකය.

“මොකද මේ අය එකට වාඩිවෙලා. කොහොම වුණත් ඔයාල හොඳ වෙලාවට තමයි ඡන්දයට කලින් ආවේ” මහින්ද ඔවුන් සිටි තැනට පැමිණියේ විහිළුවක්ද කරමිනි. “අපිත් කොහොම හරි ‍පොහොට්ටුවේ කොටස්කාරයෝ වුණානේ” ලන්සා කීවේය. “ඔයාලට නම් මොළේ පෑදුණා. ඒත් කවදද ආණ්ඩුවේ ඉන්න අනික් අයට මොළේ පෑදෙන්නේ”මහින්ද ඇසුවේය. “සමහරුන්ට නම් කවදාවත් මොළේ පෑදෙන එකක් නෑ සර්” පියංකර කීවේත් විහිළුවෙන්මය. “මිනිස්සු මේ පාර රතු එළියක් දැල්ලුවා. ඊළඟ මැතිවරණයේදී එයාලට ගෙදර යන්න ටිකට් එක ලැබේවි. ඊට පස්සේ ඉතිං මේ රටේ දේශපාලනය කරන්න ලැබෙන එකක් නෑ. කුඹුරක් කොටාගෙන ඉන්න තමයි වෙන්නේ” පවිත්‍රා කීවාය.

සාදය ආරම්භවී පැය තුනක් පමණ යන තෙක් මහින්ද මන්ත්‍රීවරු සමග ගත කළේය. රාත්‍රී නමයට පමණ වාදක මඩුල්ලක් විසින් සංගීත ප්‍රසංගයක් ද පැවැත්වුවේය. එහිදී මුලින්ම ගීත ගායනා කිරීමට පැමිණියේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාය. ගුණදාස කපුගේගේ දවසක් පැල නැති හේනේ ගීතයෙන් ආරම්භ කළ විමල් එක දිගට ගීත දහයක් පමණ ගැයුවේය. විමල් ගීත ගායනා කිරීම අවසන් කළේ ඔහුගේ දියණිය සමග දම්පාටින් ලා සඳ බැසයනවා ගීතය ගායනා කරමිනි.

මේ වන විට පියල් නිශාන්ත මන්ත්‍රීවරයාත් සංගීත කණ්ඩායම අසලට ගොස් සිටියේ ගීතයක් ගායනා කිරීමටය. එහෙත් විමල් මයික්‍ර‍පෝනය අතහරින පාටක් පෙනෙන්න තිබුණේ නැත. ගීත ගායනා කිරීමට ගිය පියල්ට සිදුවූයේ බොංගෝවක් වාදනය කරමින් විමල්ට සහාය දීමටය. විමල් මයික්‍ර‍පෝනය අතහැරීමෙන් පසුව පියල් සුපුරුදු පරිදි කුණ්ඩුමනී ගීතය ගැයුවේය. ඔහු කුණ්ඩුමනී ගීතය ගායනා කරන විට පවිත්‍රාත් කාංචනත් වේදිකාව අසලට වී නර්තනයක යෙදුනේය. එහෙත් සැමගේ සිත් ගත්තේ සාදය ආරම්භයේ සිට ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා නැටු නන්ස්ටොප් නැටුමය.

වෙනදාට මෙවැනි සාදවල ඉදිරියෙන්ම සිටින ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා සාදයට පැමිණ සිටියේ නැත. “මොකද ප්‍රසන්න ආවේ නැත්තේ” මහින්ද ප්‍රසන්නට දුරකථන ඇමතුමක් ගෙන ඇසුවේය. “නෑ සර් මට මේ දේශපාලන සංවාදයකට යන්න වෙලානේ” පෞද්ගලික රූපවාහිනි නාලිකාවක පැවැති සංවාදයකට යාමට සිදුවූ බව ප්‍රසන්න කීවේය. “‍පොඩි වෙලාවකට හරි මෙතැනට ඇවිත් ගියා නම් හරිනේ” මහින්ද කීවේය. “ඒක ඇත්ත සර්. ඒ වුණාට මේවාට නිකම්ම ගිහිල්ලත් බෑනේ” ප්‍රසන්න කීවේය.

මහින්ද තිරුපති පූජාවක

මහින්ද හදිසියේම පසුගිය සතියේදී තිරුපති බලා පිටත්ව ගියේය. ඒ ලොහාන් රත්වත්තේ ඇතුළු මහින්දගේ හිතවතුන් කණ්ඩායමක් සමගය. තිරුපති කෝවි‍ලේ පැවැත්වෙන විශේෂ පූජාවකට සහභාගීවීමට ඔහු මෙසේ තිරුපති බලා පිටත්ව ගියේය.

Rate this item
(0 votes)
Last modified on Friday, 09 March 2018 13:32