October 22, 2018

මෛත්‍රී - මහින්ද අතර රහස් හමුවක්: ශ්‍රීලනිපයේ පිල් තුනක්

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගිය සතියේදී පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙක් වන ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මෙම හමුව සංවිධානය කර ඇතැයි වාර්තා වෙයි.

නායකයන් දෙපළ අතර විශ්වාසය ඇති කිරීමේ අපේක්ෂාවෙන් මෙම හමුව සංවිධානය කර තිබේ.

ශ්‍රීලනිපය තුනට බෙදෙයි

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම් තුනකට බෙදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව පිරිසක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එක්විය යුතු බවට තීරණය කර ඇති අතර තවත් පිරිසක් ජාතික ආණ්ඩුවේ සිටිය යුතු බවට තීරණය කර තිබේ.

මේ අතර මන්ත්‍රීවරු 7ක් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර තිබේ.

ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇති පිරිස තම ස්ථාවරය මේ වන විටත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දන්වා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ශ්‍රීලනිපයේ අනුරාධපුරයේ ප්‍රබල ඇමැතිවරයෙකු, කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරයෙකු, මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමැතිවරයෙකු, කෑගල්ල නියෝජනය කරන ඇමැතිවරයෙකු, එජාපයේ සිට ශ්‍රීලනිපයට පැමිණි ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන නියෝජ්‍ය ඇමැතිවරයෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබල ඇමැතිවරයෙකු මෙලෙස එජාපයට එක්වීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

අගමැතිවරයාට එරෙහිව ගෙනෙන විශ්වාසභංගයේදී එම ඇමැති පිරිස පෞද්ගලික වාසි තකා ශ්‍රීලනිපයට එරෙහිව එම තීරණය ගැනීමට සූදානම් බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ජාතික ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධුර, රාජ්‍ය අමාත්‍යධුර හා නියෝජ්‍ය අමාත්‍යධූර හොබවන නිදහස් පක්ෂ මන්ත්‍රීන් සංඛ්‍යාව 43කි.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 06 March 2018 10:16