August 15, 2018

ඒකාබද්ධය - ශ්‍රීලනිපය - එජාප කණ්ඩායම් 3ක් අගමැති වට කරන මෙහෙයුමක්: විශ්වාසභංගය ලබන සතියේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි තීරණාත්මක විශ්වාසභංගය ලබන සතියේදී අනිවාර්යයෙන්ම කතානායකවරයාට බාර දෙන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සඳහා මේ වන විට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ට අමතරව එජාප මන්ත්‍රිවරුන්ගේද අස්සන් ලබාගනිමින් පවතින බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය මේ වන විටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සකස් කර ඇති බවත් ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් තිහකට ආසන්න පිරිසකගේ අස්සන් මේ වන විට ලබාගෙන ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පැවසී ය.

එජාප, ශ්‍රී ලනිප සමඟ ඒකාබද්ධව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් ලබන අඟහරුවාදා ඇරැඹෙන පාර්ලිමේන්තු සතියේදී ඒකාබද්ධ විපක්ෂයේ යෝජනාව කතානායකවරයාට භාරදීමට අදහස් කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ද විශ්වාසභංගය ගැන සාකච්ඡා කරන බවද මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසී ය.

ඊට අස්සන් කරන එජාප මන්ත්‍රිවරුන් වෙනම කණ්ඩායමක් වශයෙන් ඒ සඳහා සහාය ලබා දෙන බවද ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රි කණ්ඩායමද විශ්වාසභංගයට සහායදීම සඳහා අවසන් තීරණයක් ගන්නා තැනට මේ වන විට පැමිණ ඇතැයිද වාර්තාවේ.

ඒ අනුව මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය සඳහා පෙරමුණු තුනකින් සහාය පළවෙමින් පවතින බවත් මෙම විශ්වාසභංගයේ රහස්‍ය භාවය ආරක්‍ෂා කර ගැනීම උදෙසා ඒකාබද්ධ විපක්‍ෂය, එජාපය හා ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වය වෙන වෙනම පත්‍රිකා තුනක සිය අස්සන් යොදමින් පවතින බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම පක්‍ෂ තුන මඟින් නම් කළ විශේෂ නියෝජිතයන් තිදෙනකු එම අස්සන් ගැනීමේ කාර්යයෙහි නිරත වන බවද වාර්තාවේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 05 March 2018 10:36