August 15, 2018

රනිල්ට එරෙහි විශ්වාසභංගය නතර කිරීමට රනිල්ගේ ලේකම්වරයෙකු පෙරමුණට

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය ගෙන ඒමේ ක්‍රියාවලිය නවතා දැමීමට අගමැතිවරයාගේ පුද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර මහතා මේ දිනවල කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂ අභ්‍යන්තරයේ උද්ගතවී තිබෙන අර්බුදකාරී තත්ත්වය සමථයකට පත්කර සියලු පාර්ශ්වයන් එකට ඒකරාශී කර ගැනීමේ විශේෂ රහස් මෙහෙයුමක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් මේ වනවිට ආරම්භ කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා ලෙස තවදුරටත් ආරක්‍ෂා කර ගනිමින් අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තබාගෙනම යහපාලන රජය ඉදිරි වසර 02ක කාලයද ඉදිරියට පවත්වාගෙන යාම අමාත්‍යවරයාගේ අරමුණ වී තිබේ.

සියලුදෙනාට සාධාරණය ඉටු කරමින් තෙමසක් ඇතුළතදී එක්සත් ජාතික පක්‍ෂය යළි නඟාසිටුවා 2020 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරවීම සඳහා වූ විශේෂ ක්‍රියාකාරී සැලැස්මක්ද වජිර අබේවර්ධන මහතා සකස් කර ඇතැයි වාර්තා වේ.

දේශපාලනය ගැන සහ රටේ උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අවබෝධයක් ඇති කිසිවකු මේ මොහොතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන භූමිකාව ගැන ප්‍රශ්න නොකරන බවත් ඔහු පලවා හැරීමට උත්සාහ නොකරන බවත් වජිර අබේවර්ධන මහතා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)