October 17, 2018

මලික් - කබීර් අතර සීතල යුද්ධයක්: එජාප මහ ලේකම් ධූරය තලතාට?

එජාපයේ ප්‍රබල ඇමැතිවරයෙකු වූ මලික් සමරවික්‍රම මහතා සහ එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා අතර මේ වන විට සීතල යුද්ධයක් හටගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව එජාප මහ ලේකම්ධූරයෙන් කබීර් හෂීම් මහතා ඉවත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තාවේ.

එජාප නව මහ ලේකම්වරයා ලෙස අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පත් කිරීමේ සූදානමක් පවතින බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගියදා පැවැති කැබිනට් සංශෝධනයේදී තලතා අතුකෝරළ අමාත්‍යවරියගෙන් විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය ඉවත් කළ අතර ඇයට හිමිවූයේ අධිකරණ අමාත්‍ය ධූරය පමණි.

ඒ හේතුවෙන් තලතා අතුකෝරළ අමාත්‍යවරිය දැඩි කණස්සල්ලෙන් පසුවූ බවද එම කළකිරීම මඟහරවා මේ වන විට එජාපයේ පවතින තත්ත්වය තරමක් දුරට හෝ මැඩපැවැත්වීමට අගමැතිවරයා තීරණය කර ඇත්තේ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය එජාප මහ ලේකම්ධූරයට පත් කිරීමට තීන්දු කිරීමෙන් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගියදා පැවැති උත්සවයකදී අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ අවශ්‍යතාවක් මතුවුවහොත් අධිකරණ හා විදේශ රැකියා යන අමාත්‍යාංශ දෙකෙන්ම තමන් ඉවත්වීමට සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තමා දැනුම් දුන් බවයි.

“මම මගේ හැකියාව මේ අමාත්‍යාංශය තුළ පමණක් නෙවෙයි මාස 6ක් ඇතුළත අධිකරණ අමාත්‍යාංශය තුළත් පෙන්වා තියෙනවා. මම අගමැතිවරයාට දැනුම්දී තියෙනවා අවශ්‍ය නම් මේ අමාත්‍යාංශ දෙකෙන්ම ඉවත් වෙන්නත් ලබා දෙන ඕනෑම දෙයක් භාරගන්නත් සූදානම් කියලා. මම ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.“ යැයිද අමාත්‍යවරිය වැඩිදුරටත් පවසා සිටියාය.

Rate this item
(0 votes)