May 22, 2018

රනිල්ට එරෙහි විශ්වාසභංගය පිටුපස එජාපයේ ප්‍රබලයින් රැසක්! රනිල් බේරාගන්න වජිරගෙන් මෙහෙයුමක්

එක්සත් ජාතික පක්‍ෂ අභ්‍යන්තරයේ උද්ගතවී තිබෙන අර්බුදකාරී තත්ත්වය සමථයකට පත්කර සියලු පාර්ශ්වයන් එකට ඒකරාශී කර ගැනීමේ විශේෂ රහස් මෙහෙයුමක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් මේ වනවිට ආරම්භ කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා ලෙස තවදුරටත් ආරක්‍ෂා කර ගනිමින් අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තබාගෙනම යහපාලන රජය ඉදිරි වසර 02ක කාලයද ඉදිරියට පවත්වාගෙන යාම අමාත්‍යවරයාගේ අරමුණ වී තිබේ.

සියලුදෙනාට සාධාරණය ඉටු කරමින් තෙමසක් ඇතුළතදී එක්සත් ජාතික පක්‍ෂය යළි නඟාසිටුවා 2020 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරවීම සඳහා වූ විශේෂ ක්‍රියාකාරී සැලැස්මක්ද වජිර අබේවර්ධන මහතා සකස් කර ඇතැයි වාර්තා වේ.

දේශපාලනය ගැන සහ රටේ උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අවබෝධයක් ඇති කිසිවකු මේ මොහොතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන භූමිකාව ගැන ප්‍රශ්න නොකරන බවත් ඔහු පලවා හැරීමට උත්සාහ නොකරන බවත් වජිර අබේවර්ධන මහතා පෙන්වා දෙයි.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන ලබන විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ නොහිතන ප්‍රබල චරිත රැසක් සහයෝගය දක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (01) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

දැනටමත් විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්යේ ප්‍රබලයින් අත්සන් තබමින් සිටින බවත් ඒකාබද්ධ විපක්ෂය අනිවාර්යයෙන්ම එවැනි විශ්වාසභංග යෝජනාවකට සහය දක්වන බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

කෙසේ වෙතත් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් එජාපයේ ඉදිරි ගමන උදෙසා විශ්වාස භංගයක් ගෙන ඒමට මන්ත්‍රීන් කණ්ඩායමක් සූදානමින් සිටින බව රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

එම විශ්වාස භංගය ගෙන එන්නේ රටේ විශ්වාසය නැති පුද්ගලයා එරෙහිව බව ද ඇමැතිවරයා කීවේය.

‘‘අත්දෙක බැඳලා පිහිනුම් තටාකයට දැම්මා වගේ වැඩක් මට කරලා තියනවා. රාජ්‍ය ඇමැති කියලා බෝර්ඩ් එකක් ගහලා මාව දාලා තියෙනවා. කිසිදු බලයක් නැහැ. කිසිදු දෙයක් කරන්න පුලුවන් කමක් නෑ. කිසිදු කෙනකුට රැකියාවක් දෙන්නවත් බැහැ. මම එක්සත් ජාතික පක්ෂයේ මේ නායකත්වය මේ පැත්ත බලන්නේ නැති නිසා ඉවත් වෙනවා කිව්වේ ඒකයි. අවාසනාවකට තවම අස්වීමේ ලිපිය බාරගෙන නෑ. මෙවැනි තත්ත්වයක් තුළ එජාපයට ඉදිරි ගමනක් නෑ. ඉදිරියට යනවා නම් එජාපයේ පූර්ණ වෙනසක් සිදු කළ යුතු වෙනවා. පළමුවෙන්ම නායකත්වයේ. කැබිනට් සංශෝධන කළත්, වෙන කුමන පරපුරවල් හැදුවත් මේ පක්ෂය ඉදිරියට ගෙන යන්න පුළුවන් කමක් නෑ.”

“මේ පක්ෂයේ ජනතාවගේ හඬට ඇහුම්කන් දෙන්න. සමස්ත රටේම හඬ මේකයි. පාර්ලිමේන්තුවේ ඉන්න මැතිඇමැතිවරුන්ට කියන්නේ ඔබ ගැන පමණක් හිතලා වැඩ කරන්න එපා. කරුණාකරලා මේ පක්ෂය ගැන හිතන්න. පක්ෂය දියකරන්න ඉඩ දෙන්න එපා. මේ ක්‍රියාදාමය තුලින්වත් වැඩක් වෙන්නේ නැතිනම් අපිට සිද්ධ වෙනවා අනුකම්පා විරහිතව විශ්වාසභංගයක් ගේන්න. ඒ විශ්වාසභංගය රටේ විශ්වාසය නැති පුද්ගලයා සම්බන්ධයෙන් තමයි අපි ක්‍රියා කරන්න යන්නේ. ඒ විශ්වාසභංගයට නායකත්වය ගන්න අපේ මන්ත්‍රීවරුන් ගණනාවක් සූදානමින් ඉන්නවා.” යැයිද අමාත්‍යවරයා අවධාරණය කළේය.

රනිල්ට එරෙහි විශ්වාසභංගයට ජවිපෙ සහය කොන්දේසි මත

මේ අතර ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ වංචා හා වංචනිකයන් රැකීම ඇතුළු ප්‍රබල චෝදනා සහිත විශ්වාසභංග යෝජනාවක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන්නේ නම් නිසැකවම ඊට තම පක්‍ෂයේ සහාය දෙන බවයි.

එසේ නොමැතිව යම් දේශපාලන බලපොරයේ න්‍යාය පත්‍රයක් දියත් කිරීමේ අරමුණින් විශ්වාසභංග යෝජනා ගෙන එන්නේ නම් ඒ පිළිබඳව තීරණයක් ගැනීමට සූදානම් බවද ඔහු පෙන්වා දෙයි.

යම් විශ්වාසභංග යෝජනාවකට නිර්දේශ වන කරුණු මත පදනම්ව ඊට සහාය ලබාදිය යුතු බවත් විශේෂයෙන්ම මහ බැංකු බැඳුම්කර වංචාවට අනුබල දීම මෙන්ම සිරිලිය ගිණුම් ගනුදෙනු සහිත රාජපක්‍ෂ පවුලේ ගනුදෙනු, ගුවන් බලපත්‍ර සිද්ධිය ඇතුළු වංචා, දූෂණ රැකීම සහ අගමැති භූමිකාව නිවැරැදිව ඉටු නොකිරීමට යන චෝදනා එකී යෝජනාවට ඇතුළත් වන්නේද, නිසැකවම ඊට සහාය දෙන බවත් දිසානායක මහතා වැඩිදුරටත් පැවැසී ය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 04 March 2018 12:39