October 19, 2018

එජාපයෙන් තනි ආණ්ඩුවක් - ඇමැති තනතුරු භාර නොගෙන දෙමළ සන්ධානයත් එක්‌වෙයි

වත්මන් ආණ්‌ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරු වන එක්‌සත් ජාතික පක්ෂය තනි ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට මේවන විට තීරණය කර ඇත.

එජාපයේ ඇමැතිවරුන් වන අකිල විරාජ්, මලික් සමරවික්‍රම සහ එජාප පසුපෙල මන්ත්‍රීවරු 16 දෙනෙකු අද පෙරවරු 10.00ට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

එම සාකච්ඡාව මීට සුළු මොහොතකට පෙර අවසන් වූ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එජාප පසුපෙල මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ තනි එජාප ආණ්ඩුවක් පිහිටුවන බවයි.

ශ්‍රීලනිපයේ මැති ඇමතිවරුන්ට කැමැතිනම් එජාප ආණ්ඩුවට එක් විය හැකි බවත් ජාතික ආණ්ඩු කෙහෙල්මල නිසා මෙලෙස තීන්දුවක් ජනතාව ලබා දී ඇති බවත් එම මන්ත්‍රීවරු පැවසූහ.

හවුල් ආණ්ඩුව නිසා රටට වැදගත් තීණ්දු ගැනීමට නොහැකි වූ බවත් ශ්‍රීලනිපයට එජාපයේ තීණ්දු තීරණ ගැනීමට බැරි බවත් එම මන්ත්‍රීවරු සඳහන් කළහ.

මේ අතර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින් පැවසූවේ ආණ්ඩුවට ජනතාව විසින් කනේ පාරක් එල්ල කර ඇති බවත් පක්ෂය තුළ වෙනසක් සිදු කිරීමට තීරණය කළ බවත් පක්ෂයේ නායකත්වය ගැන තීන්දු තීරණ ගත් බවත්ය.

එජාප තනි ආණ්ඩුවක පිහිටුවීමට යෝජනා කළ බවත් නමුත් මෙම පළාත් පාලන මැතිවරණය අගමැති ධූරයේ වෙනස් සිදු කරන මැතිවරණයක් නොවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් එජාප පසු පෙල මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමේදී අගමැතිවරයා එම අදහස් සාවදානව අසා සිටි බව වාර්තා වේ.

මේ අතර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ එජාප තනි ආණ්ඩුවක් අවශ්‍ය බවත් මීට පෙර යහපාලන ආණ්ඩුවේදී එජාප නායකත්වයට තීන්දු තීරණ ගැනීමට නොහැකි වූ බවත්ය.

රනිල්ගෙන් තනි ආණ්‌ඩුවක්‌

මේ අතර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර කොළඹ පිහිටි ජනපති නිල නිවසේදී පෙරේදා (11) සවස පැවති සාකච්ඡාවකින් අනතුරුව එක්‌සත් ජාතික පෙරමුණ තනි ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට ඊයේ (12) තීරණය කර ඇත.

මෙම විශේෂ සාකච්ඡාවට කථානායක කරු ජයසූරිය මහතා ද එක්‌ වී තිබිණි.

මෙසේ තනි ආණ්‌ඩුවක්‌ පිහිටුවීම සම්බන්ධයෙන් අගමැතිවරයා එක්‌සත් ජාතික පෙරමුණේ නායකයන් සමඟ ද සාකච්ඡා කොට ඇති අතර ඒ සඳහා ඔවුන්ගේ අනුමැතිය ද ලැබී තිබේ.

නව ආණ්‌ඩුවක්‌ පිහිටුවීම සඳහා එක්‌සත් ජාතික පෙරමුණට මේ වන විටත් හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා නොමැතිව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නව මන්ත්‍රීවරයා ද සමඟින් ආසන 107 ක බහුතරයක්‌ පවතී.

ඊට අමතරව දෙමළ ජාතික සන්ධානය ද නව රජය පිහිටුවීමට මේ වනවිට එකඟතාව පළ කර ඇති අතර කිසිදු ඇමැති ධුරයක්‌ භාර නොගන්නා බවද ඔවුන් සඳහන් කර තිබේ. මේ වනවිට දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු 16 ක්‌ පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

මේ අතර තවදුරටත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ රැඳී සිටින මැති ඇමැතිවරුන් ඒ පිළිබඳව තමන්ට වහා දන්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔවුන්ට දැනුම් දී ඇත.

එලෙස රැඳී සිටීමට අකමැති අයට හිටපු ජනාධිපතිවරයා සමඟ හෝ නව එක්‌සත් ජාතික පෙරමුණු ආණ්‌ඩුවට එක්‌වීමට හැකි බවද එහිදී ජනපතිවරයා විසින් ප්‍රකාශ කර තිබේ.

අලුත්ම තත්ත්වය යටතේ ලබන 15 වනදා වන විට නව ආණ්‌ඩුවට අදාළ බහුතර මන්ත්‍රී සංඛ්‍යාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට හැකි වනු ඇතැයි එජාප ආරංචි මාර්ග පවසයි.

නව රජයට එක්‌වන ඇමැතිවරුන් දැනට දරන විෂය පථයන් බොහෝ දුරට වෙනස්‌ නොවන අතර විදේශ කටයුතු අමාත්‍යාංශය විෂයයේ යම් වෙනසක්‌ සිදු කිරීමට එකඟතාව පළවී ඇතැයි එම ජ්‍යෙෂ්ඨයා වැඩිදුරටත් පැවසීය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 43 (3) පරිච්ඡේදය අනුව වත්මන් පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇති නායකයකු ජනාධිපතිවරයා විසින් අගමැති ධුරයට පත් කළ යුතු වෙයි.

Rate this item
(3 votes)
Last modified on Wednesday, 14 February 2018 09:47