February 25, 2018

අගමැති රනිල් ඉවත් කර නව ආණ්ඩුවක් - ඒකාබද්ධගෙන් ජනපතිට රතු එළියක්

මැතිවරණ ප‍්‍රතිඵලයත් සමග ජනමතයේ වෙනසක් ඇතිවී තිබෙන නිසා කළ යුත්තේ කුමක්දැයි ජනාධිපතිවරයා කල්පනා කළ යුතු බවත් අගමැතිවරයා ඉවත් කර ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

“එහෙම නැත්නම් අපි ආරම්භ කළ සටන ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කර මහින්ද මහත්තයා අගමැති කර රටේ නායකත්වයට ගෙනෙන සටනට පෙල ගැහිලා අවශ්‍ය කටයුතු ඉදිරි කාලයේදී කරනවා.“ යැයි ඒ මහතා සඳහන් කරයි.

මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් කෙරෙන පත්තලගෙදර විද්‍යා පීඨයේදී අද (11) මාධ්‍ය අමතමිනි.

එහිදී ඒ මහතා මෙසේද කීය.

“පසුගිය ක‍්‍රමයට මේ මැතිවරණය තිබුනානම් තුනෙන් දෙකේ ජයග‍්‍රහණයක් වෙනවා. දැන් ආණ්ඩුවට මේ පිලිබදව කල්පනා කරන්න වෙනවා. ජනාධිපති කෙනකුට මම කියන්න හොද නැහැනේ. එතුමා තේරුම් අරගෙන කළ යුතුයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු ඉන්නේ මහින්ද මහත්තයාත් එක්ක නම් තමන් මොන තනතුරක හිටියත් කළ යුත්තේ පක්ෂයේ සභාපතිකම මහින්ද මහත්තයාට දෙන එකයි. මමනම් කරන්නේ එහෙමයි. මේ ආණ්ඩුව පටන් ගත් දා ඉදන්ම විකෘති ආණ්ඩුවක්. බලහත්කාරයෙන් ගැට ගහපු එකක්.“ යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 13 February 2018 13:19