October 17, 2018

කරළියෙන් එහා: මෛත්‍රීගේ සන්ධානය පසුදාම හබක්! පොහොට්ටුවේ නායකයෙකුගේ නිවසක විශේෂ හමුවක්

මේ සතියේ දේශපාලන කරළිය උණුසුම් වූයේ පළාත් පාලන මැතිවරණ වේදිකාවේ එකිනෙකාට මඩ ගසා ගැනීම් සහ ආණ්ඩු වෙනසක් ගැන ජනාධිපතිවරයාගේ කතාවත් සමගය. මේ අතර මේ දිනවල බැඳුම්කර වංචාව ගැනද මැතිවරණ වේදිකාවේ විවිධ කතා අසන්නට තිබේ. ඒකාබද්ධ විපක්ෂය මෙම බැඳුම්කරය යොදාගනුයේ රජයට චෝදනා නැගීම සඳහා වන ප‍්‍රධාන අවියක් ලෙසිනි. කෙසේ වෙතත් රජයද මේ වනවිට, 2008 වසරේ සිටම සිදු වූ බැඳුම්කර ගනුදෙනු මුල් කරගනිමින් පසුගිය මහින්ද රාජපක්‍ෂ රජයට චෝදනා නැගීමට පටන්ගෙන ඇත. මේ කරුණු කාරණා හේතුවෙන් ලබන 06 දින, බැඳුම්කර කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත, පාර්ලිමේන්තු විවාදය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව කාගේත් විශ්වාසයයි. මෙම විවාදය ලබන 06 දින පැවැත්වීමට තීරණය වුයේ, පසුගියදා පැවැති පක්‍ෂ නායක රැස්වීමකින් අනතුරුවය. කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම පැවැත්වූයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.

බැඳුම්කර විවාදය ලබන 08 දින පවත්වන ලෙසට මීට පෙර කථානායකවරයාගෙන් ඉල්ලා තිබිණ, ඒ අනුව පුංචි ජන්දයට පෙර එලෙස මෙම බැඳුම්කර පාර්ලිමේන්තු විවාදය පැවැත්විය හැකිද යන්න සොයා බැලීම, සාකච්ජා කිරීම හා ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම මෙම පක්ෂ නායක රැස්වීමේ අරමුණු අතර විය. මෙම රැස්වීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාද සහභාගිවීම විශේෂත්වයක් විය. පෙබරවාරි 07 දින මධ්‍යම රාත‍්‍රියෙන් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අවසන් වන බැවින් මෙම විවාදය 08 දින පැවැත්වීම මැතිවරණ නීතිවලට පටහැනි බව මෙහිදී මැතිවරණ කොමිසම් සභාපතිවරයා පැවැසීය.

”මේ විවාදය මාධ්‍ය හරහා ප‍්‍රචාරණය කිරීම ගැටලූවක් වෙනවා. පාර්ලිමේන්තුවේ නැති පක්ෂවලට මෙහිදී අසාධාරණයක්ද වෙනවා”‍ දේශප‍්‍රිය මහතා පැවැසීය. ”‍මේ නිසා මේ විවාදය ලබන 5 හා 6 යන දිනවල පැවැත්වීම යෝග්‍ය”‍ යැයිද මහින්ද දේශප‍්‍රිය මහතා මෙහිදී පැවැසීය. එම යෝජනාවට මහින්ද සමරසිංහ, දිනේෂ් ගුණවර්ධන, විජිත හේරත් හා එම් සුමන්දිරන් යන පක්‍ෂ නියෝජිතයන් එකඟ වුවද, එජාපය නියෝජනය කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊට විරුද්ධ විය.
”‍ලබන සතිය මුලදී, මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවලට මැති ඇමැතිවරු ඔක්කොම ගිහිල්ල ඉන්නේ. ඒ නිසා විවාදය පවත්වන එක ප‍්‍රායෝගික නැහැ.”‍ කිරිඇල්ල මහතා පැවැසීය. ”‍08 වෙනිදා විවාදය තියෙනවනම් මැතිවරණය කල් දාන්න වෙනවා”‍ මහින්ද දේශප‍්‍රිය මහතා පැවසීය.

”ජන්දය කල් දමන්න බැහැ. අපි 08 වෙනිදට කලින් විවාදය තියමු.”‍ විජිත හේරත් මහතා මෙහිදී තරමක දැඩි ස්වරයෙන් පැවැසීය. ”ඔව්, 08 කලින් විවාදය තියමු. අඩුම ගානේ දින දෙකක් මේ විවාදයට අවශ්‍ය වෙනවා”‍ දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. ”‍10 වෙනිදාට පෙර ඕනෑම දිනක විවාදයට අපි එකඟයි, විවාදයට සුදුසු දිනයක් යෝජනා කරන්න”‍ මහින්ද සමරසිංහ මහතා මෙහිදී කථානායකවරයාට පැවැසීය.

කෙසේ වෙතත් 08 වෙනිදාට පෙර දිනක මෙම විවාදය පැවැත්වීම පිළිබඳව, කිරිඇල්ල මහතා දිගින් දිගටම විරෝධය පළකරන්නට විය. ඒ අනුව කථානායකවරයා අවසානයේ පක්ෂ නායකවරුන් අමතා මෙසේ පැවැසීය. ”මේ විදියට මෙතන මේ ගැන එකඟත්වයකට එන්න බැහැනේ, ඒ නිසා මම අගමැතිතුමාත් එක්ක කතාකරලා අවසන් තීරණයකට එන්නම්” ඒ අනුව කථානායකවරයා හා අගමැතිවරයා අතර පැවැති සාකච්ජාවකින් අනතුරුව විවාදය ලබන 06 දින පෙරවරු 10ට පැවැත්වීමට තීරණය විය. කෙසේ වෙතත් මේවන විට එම විවාදයට දෙමළ ජාතික සන්ධානය හා දෙමළ ප්‍රගතශීලී සන්ධානය ද සහභාගී නොවන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත දැනුම් දී ඇත.

රවී දොට්ට දාන්න එජාපය ඇතුලේ සැලසුමක්

මේ අතර මේ දිනවල බැඳුම්කර ගනුදෙනුව හා එම කොමිසම් වාර්තාව මුල් කරගනිමින් හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතාට තම පක්‍ෂයෙන්ම පහර එල්ලවෙමින් ඇත. අල්ලස් කොමිසමේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිමය ක‍්‍රියාමාර්ග අවසන් වනතුරු හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ උපනායක ලෙස රාජකාරී කටයුතුවලින් ඉවත්විය යුතු බව එම පක්ෂය විසින් පත් කළ තිලක් මාරපන කමිටුව නිර්දේශ කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා පසුගියදා මාධ්‍ය හරහා ප‍්‍රකාශ කළේය. මේ අතර පාර්ලිමේන්තු මන්ත‍‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ බැඳුම්කර සිදුවීමට අදාළව එජාප පාර්ලිමේන්තු මන්ත‍‍්‍රි රවි කරුණානායක මහතා ස්ව කැමැත්තෙන් අත්අඩංගුවට ගෙන මැතිවරණය අවසන් වූ පසු නිදහස් කිරීමේ සූදානමක් ඇති බවයි. ඒ අනුව ඉදිරි දින කිහිපයේදී රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්‍ෂ උප නායක ධුරයෙන් ඉවත් කර අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට සූදානම් වී සිටින බවද ඔහු පැවැසීය. බැඳුම්කර කොමිසමේ වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන මෙම 06 වැනි දිනට පෙර රවි කරුණානායක මහතා අත්අඩංගුවට ගැනෙණු ඇති බවත් මැතිවරණයට පසු දින 11 වැනිදාම ඔහු නැවත නිදහස් කරනු ඇති බවත් බන්දුල ගුණවර්ධන මහත මෙහිදී පැවැසීය.

කෙසේ වෙතත් මේ සියලූ‍ ප‍්‍රකාශ පිළිබදව රවි කරුණානායක මහතා පිළිතුරු වශයෙන් කියා සිටින්නේ, ජනාධිපති හෝ අගමැති වුවද මැතිවරණ කාලයේ කියනා දේවල් එතරම් ගණන් ගත යුතු නැති බවය, මැතිවරණය අවසන් වූ පසු සිදුවන දේ දෙස බලා සිටිනා ලෙසද ඔහු පසුගියදා මාධ්‍යවේදීන් පිරිසක් හමු වූ අවස්ථාවක සඳහන් කළේය.

පක්ෂයේ උපනායක රවී කරුණානායක මහතා එම ධූරයෙන් ඉවත් කරන ලෙස තිලක් මාරපන කමිටුව නිර්දේශ කර ඇති බවත් මේ පිළිබදව අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා රැලියකදී ප්‍රකාශ කළේය.

“එක්සත් ජාතික පක්ෂය වැරදි කළ පුද්ගලයින්ටත් දඩුවම් ලබා දෙනවා. පක්ෂයේ උපනායක රවී කරුණානායක මහතා එම ධූරයෙන් ඉවත් කරන ලෙස තිලක් මාරපන කමිටුව නිර්දේශ කර තිබෙනවා. මේ පිළිබදව අග්‍රාමාත්‍යවරයා අපි සමග සාකච්ඡාවකුත් පැවැත්වූවා. එයයි අපේ පක්ෂයේ වෙනස. කඩිනමින් තීන්දු තීරණ ගන්නවා. රජය පිහිටුවීමට දායක වූ පමණින් සියලු දෙනාම ශුද්ධවන්තයින් වෙන්නේ නැහැ. මීට පෙර එස්.ඩබි.ආර්.ඩී බණ්ඩාරනායක මහතා තල්ගොඩපිටිය කමිටුව මගින් අමාත්‍යවරු 04 දෙනෙකුගේ අමාත්‍යධූර ඉවත් කළා. හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ අඩුම තරමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුවත් ඉවත් කළේ නැහැ.” යනුවෙන් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

පොහොට්ටුවේ විශේෂ සාකච්ඡාවක් ප‍්‍රසන්නගේ නිවසේ

ගම්පහ දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් ප‍්‍රගති සමා‍ලෝචන රැස්වීමක් පසුගියදා පැවැත්වුණේ ගම්පහ දිස්ත‍්‍රික් නායක ප‍්‍රසන්න රණතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙනි. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ගම්පහ දිස්ත‍්‍රික් මන්තී‍්‍රවරුන් වන සිසිර ජයකොඩි, ඩුලිප් විජේසේකර, ප‍්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, නිමල් ලන්සා මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. ගම්පහ දිස්ත‍්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි. ”මේ පාර ඡන්දේදී ගම්පහ දිස්ත‍්‍රික්කය වශයෙන් අපිට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා. මොන දිස්ත‍්‍රික්කයකටත් වඩා ගම්පහ ජයග‍්‍රහණය අපට වැදගත්. ඒ හින්දා කොහොම හරි අපි ගම්පහ උඩින් දිනන්න කටයුතු කරන්න ඕනේ”‍ ප‍්‍රසන්න පෙන්වා දුන්නේය. ”අනිවාර්යෙන්ම මීගමුව දිනන්න අපිට පුළුවන්. දැනටමත් මිනිස්සුන්ගෙන් ලොකු ප‍්‍රතිචාරයක් තියෙනවා. මීගමුව දිනුව හැම අවස්ථාවකම අපි ගම්පහ දිස්ත‍්‍රික්කය දිනුවා. ඒ හින්දා මේ වතාවෙත් අපිට කිසිම සැකයක් නැහැ. අපි රැයක් දවාලක් නැතුව මහන්සි වෙන්නේ ඒ ජයග‍්‍රහණය තවත් තහවුරු කරගන්නයි”‍ ලන්සා පැවැසීය.

”මහින්ද මහත්තයට එදා ඉඳලම තියෙන ඡන්ද වගේම ආණ්ඩුව ගැන කලකිරීමෙන් කැඩිලා එන ඡන්දත් එකතු වුණාම අපිට බහුතර පළාත් පාලන ආයතනවල ජයග‍්‍රහණය හිමිකරගන්න පුළුවන්. මේක නිකම්ම නිකම් පළාත් පාලන මැතිවරණයකටත් වඩා ආණ්ඩුවේ ගමන ගැන තියෙන ජනමත විචාරණයක්”‍ ප‍්‍රසන්න කීවේය.

විනාඩි 12න් ඉදිවූ එරාවුර් වේදිකාව

පසුගිය සතියේ ජවිපෙ නායකයා මැතිවරණය වෙනුවෙන් රැස්වීම් ගණනාවකට සහභාගි වූයේ උතුරු මැද, උතුර සහ නැගෙනහිර පළාත්වලය. මොණරාගල, මඩකලපුව, ත‍්‍රිකුණාමලය, යාපනය සහ අනුරාපුර යන දිස්ත‍්‍රික්කවල එක දිගට ජන රැලි, ජනහමු සහ අපේක්ෂකයින්ගේ සුහද හමු සඳහා ජවිපෙ නායකයා සහභාගි විය. මෙම ගමනේදී මඩකලපුව විශේෂත්වයක් ගත්තේය. මෙවර ජනතා විමුක්ති පෙරමුණ මඩකලපුව දිස්ත‍්‍රික්කයේ ඇතැම් පළාත් පාලන ආයතනවලට තරඟ කරන්නේ ඉතිහාසයේ පළමු වතාවටය. එම දිස්ත‍්‍රික්කයේ ජවිපෙ අපේක්ෂකයින්ට සහය පලකරමින් වාලච්චේන, එරාවුර්, කාත්තන්කුඩි යන ප‍්‍රදේශවලදී පළමු වතාවට ජවිපෙ නායකයෙකුගේ සහභාගිත්වයෙන් මැතිවරණ රැස්වීම් 03ක්ද පැවැත්විණි. මෙහිදී ජවිපෙ සංවිධායකයින් මැතිවරණ වේදිකාව කඩිනමින් ඉදිකර ගත හැකි පරිදි සකස් කොට රැස්වීම් සඳහා යොදා ගත්හ. එරාවුර් ජනහමුව සංවිධානය කළ වෙලාව ආසන්න වන විට ප‍්‍රදේශයේ ජනතාව විශාල ප‍්‍රමාණයක් රැස්විය. නමුත් වේදිකාව තිබුණේ නැත. ජවිපෙ සාමාජිකයෝ විනාඩි 12ක් පමණ කාලයක් තුළදී වේදිකාව සකස් කොට ජවිපෙ නායකයාට රැස්වීම ආමන්ත‍්‍රණය කිරීමට අවස්ථාව සලසා දුන්හ. මෙම අත්දැකීම මීට පෙරදී අත්විඳ නොසිටි එරාවුර් ජනතාව කියා සිටියේ, ”මේ තරම් සැලසුමක් තියෙන ජවිපෙට අපේ සභාව භාරදුන්නොත් කොහොම හදයිද?” කියාය.

“උඩ ලොක්කෝ එකට ඉන්නවා, ඇයි අපි බෙදිලා“

එරාවුර් ජනහමුවට ප‍්‍රදේශයේ ජනතාව දෙදහසකට අධික පිරිසක් පැමිණ සිටියහ. රැස්වීම සංවිධානය කිරීමට ගිය ජවිපෙ සාමාජිකයින්ට විවිධ බාධාවන්ට මුහුණ දීමට සිදුවිය. ජවිපෙ රැස්වීම පැවැත්වීමට නියමිතය තිබූ භූමිය ආසන්නයේම ඇමති හිස්බුල්ලාගේ රැස්වීමක් සංවිධානය කර ශබ්ද විකාශන යන්ත‍්‍ර යොදා තිබුණේ ජවිපෙ රැස්වීමට බාධාවන ආකාරයෙනි. කෙසේ වෙතත් රැස්වීම් දෙකම එක වෙලාවන්වලදී පැවැති අතර හිස්බුල්ලා විසින් කියන ලද ප‍්‍රකාශවල ජවිපෙ එරාවුර් කණ්ඩායම් නායකයා උත්තර දීමට පටන් ගැනීමත් සමඟ ජනතාව ජවිපෙ රැස්වීමට ඇදී එන්නට විය.

මෙහිදී ජවිපෙ නායක අනුර දිසානායක පැය එකහමාරකට ආසන්න කාලයක් රැස්වීම ආමන්ත‍්‍රණය කළේය. ඇතැම් පුද්ගලයින් ජවිපෙ නායකයාගේ සජීවී රැස්වීමක් දැක තිබුණේ එදිනය. රටේ දේශපාලන තත්වය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළ ජවිපෙ නායකයා ජාතිවාදය පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය. ”දේශපාලන පක්ෂවල නායකයින් තමන්ට බලය ලබාගැනීම වෙනුවෙන් ජනතාව බෙදුවා. ජාතිවාදය ඇවිළුවා. සිංහල, දෙමළ, මුස්ලිම් විදියට ජනතාව බෙදලා, දේශපාලන පක්ෂ හදලා ඡුන්ද ටික අරගෙන උඩින් ආණ්ඩුව හදලා දෙගොල්ල ජනතාවගේ මුදල් කොල්ල කෑවා. ඒ අය උඩින් එකට ඉන්නවා. පහළින් අපේ ජනතාව බෙදිලා. ඒ නිසා අපි පහළින් එකතු වෙන්න ඕනෑ. අපි එකතු වුණොත් තමයි ජාතික සමගිය ඇතිවෙන්නේ. පාලකයින්ට පාඩමක් ඉගැන්විය හැක්කේ.” ජවිපෙ නායකයා කියා සිටියේය.

විජිතගෙ කතාවෙන් කාට කාටත් රිදිලා

ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් පසුගියදා මාධ්‍ය හමුවක පැවසූ කතාවක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් මෙන්ම ආණ්ඩුවේ පිරිස්ද හිත් වේදනාවට පත්ව තිබේ. ”බැඳුම්කර වාර්තාව මෙන්ම මහා පරිමාණ මූල්‍ය අපරාධ ජනාධිපති විමර්ශන වාර්තාන පිළිබඳව විවාදයක් මෙන්ම නීතිමය පියවර ඕනෑ. මුලින් කියපු විදියට හොරුන්ට මංකොල්ලකාරයින්ට මඩු වලිගෙන් තැලූවෙත් නැහැ. අද කඩුවෙන් කොටන්නෙත් නැහැ. එක පැත්තකින් මේ තියන ආණ්ඩුවත් දුවන්නේ හොරුන් එක්ක. අලූතින් හදන ආණ්ඩුව දුවන්න වෙන්නෙත් හොරු ටික එකතු කරගෙන.” විජිත හේරත් කීවේය. මෙම කතාවත් සමඟ විජිත හේරත් වාර්තා දෙක අතැතිව සිටින ඡුායාරූපයක් සමාජ මාධ්‍ය තුළ ප‍්‍රචාරය වූයේ මැතිවරණයේදී තෝරන්නේ දෙපැත්තේ හොරුද? ජවිපෙද? යන්නයි. ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම්ද මැතිවරණ වේදිකාවේ මෙම ප‍්‍රකාශය විවේචනය කළේය. ”මන්ත‍්‍රීතුමා ඔබතුමාගේ කතාවට මහින්දගෙ කට්ටියට හොඳටම තරහ ගිහින්. ඔබතුමාලා එක්ක එකතු වුණු සුනිල් පෙරේරාටත් ගහනවා.” විශ්විවිද්‍යාල ආචාර්යවරයෙක් විජිතගෙන් විමසා සිටියේ දුරකතන ඇමතුමක් ලබාගත් අවස්ථාවකදීය. ”ඔව්, ඔව්, මමත් දැක්කා. මහින්දගේ වලව්වේ වැඩ කරගෙන හිටපු අයට තමයි හොඳටම අමාරු. ජවිපෙ ඉන්නකොට ලෙනින්ගෙ පොත් කියවලා තියෙන කතාවකුත් කියලා තිබුණා. මහින්ද රාජපක්ෂගේ වලව්වේ වාල්වැඩ කරන්න ලෙනින්ගේ පොත් කියවන්න ඕන නැහැ. මේ මැතිවරණයේදී ඇත්තටම ජනතාවගේ පැත්තෙන් හිතලා කලාකරුවෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරු, නීතිඥයෝ සහ වෙනත් වෘත්තිකයෝ විශාල ප‍්‍රමාණයක් අපිට සහය පළකරලා තියෙනවා. ඒ ජවිපෙ දිනවන්න නෙවෙයි ජනතාව දිනවන්න. ඡුන්දේ දුන්නොත් දිනන්නේ අපි නෙවෙයි ජනතාව. හදන්නේ ජනතාවගේ සභාව. ජවිපෙට තියෙන සහය නිසාම මහින්දගෙ කණ්ඩායම කලබල වෙලා.” විජිත හේරත් පිළිතුරු දුන්නේය.

06වැනිදා වාර්තා දෙකම විවාදයට

බැදුම්කර සහ මහා පරිමාණ මූල්‍ය වංචා පිළිබඳ ජනාධිපති කොමිසන් වාර්තා දෙක පිළිබඳව මහත් ආන්දෝලනයක් රට තුළ මතුව තිබේ. එක්සත් ජාතික පක්ෂය මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසන් වාර්තාව ගැන විවේචනය කරද්දී ශ‍්‍රීලනිපය හා මහින්ද පාර්ශවය බැඳුම්කර වාර්තාව ගැන වේදිකාවේ විවේචනය කරමින් සිටියි. ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම පෙනී සිටින්නේ, මෙම වාර්තා දෙකෙන්ම හෙළිදරව් කර ඇති හොරුන්ට නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවය. කෙසේ වෙතත් පාර්ලිමේන්තු විවාදය 10ට පෙර දිනයක් ලබාදෙන ලෙස පක්ෂ නායක රැස්වීම්වල පෙනී සිටියේ ජවිපෙය. එසේ තිබියදී ලක්ෂ්මන් කිරිඇල්ල ආණ්ඩුව නියෝජනය කරමින් එම විවාදය පෙබ. 20 හා 21 දෙදිනට යොදා ගත්තේ ශ‍්‍රීලනිප නියෝජිතයින්ද පක්ෂ නායක රැස්වීමේ සිටියදීය. නමුත් මේ පිළිබඳව ආ දැඩි විවේචනයත් සමඟ ආණ්ඩුව විවාදය 7 සහ 8 දිනයන්වලදී යොදා ගැනීමට උත්සහ කළේය. එයටද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විරෝධය පළකිරීම නිසා ආණ්ඩුවට එම විවාදය 06වෙනිදාට යොදා ගැනීමට සිදුවිය. ”මන්ත‍්‍රීතුමා ආණ්ඩුවට විවාදය දෙන්නම වුණා නේද?” පාර්ලිමේන්තු වාර්තාකරුවෙකු සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාගෙන් විමසා සිටියේ මේ පිළිබඳව අදහස් විමසීමට දුරකතන ඇමතුමක් ලබාදුන් අවස්ථාවකදීය. ”මේ දෙපැත්තෙම කට්ටිය කරන්නේ බොරුවක් බව පැහැදිලියි. ඡන්දෙ ඉවර වෙනකල් මොකක් හරි වේදිකාවේ කියන්නත් එපැයි. කිරිඇල්ල කිව්වා ඡන්දෙදි මොකක් කිව්වත් ඡන්දෙන් පස්සේ ජනාධිපතියි අගමැතියි පෙම් යුවලක් වගේ ආදරෙන් ඉඳියි කියලා. රවී කිව්වා, ඡන්දේ දවස්වල ජනාධිපතියි අගමැතියි කියන දේවල් වැඩිය ගණන් ගන්න එපා කියලා. ජනතාවට ඇත්තටම ඕන වුණත් හොරුන්ට දඩුවම් කරන්න මේ පාලකයින්ට ඒකට වුවමනාවක් නැහැ.” හඳුන්නෙත්ති කියා සිටියේය.

මෛත්‍රී සන්ධානගත වූ සැණින් ඉවත්වෙයි

පළාත් පාලන මැතිවරණයට අදාළව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක මෛත්‍රී ගුණරත්න මහතාට හා එහි ක්‍රියාකාරීන්ට පසුගිය සතිය ඉතා තීරණාත්මක එකක් විය. ඒ අතර ප්‍රධාන තැනක් ගනු ලැබුවේ එක්සත් ජාතික නිදහස් පෙරමුණ හා ජාතික ජනතා පක්ෂය අතර අත්සන් තැබුණු ගිවිසුමයි. කොළඹ නගර සභාවට ජාතික ජනතා පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබු නාමෙයෝජනා පත්‍රය මැතිවරණ කාර්යාලය විසින් ප්‍රතික්ෂේප වීමත් සමග එම පක්ෂයේ අපේක්ෂකයන්ට කොළඹ නගර සභාවට තරග කිරීමේ අවස්තාව ගිලිහී ගිය අතර, එහි නායක හා මහ ලේකම් ශ්‍රීනාත් පෙරේරා මහතා හා එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් මෛත්‍රී ගුණරත්න අතර, පසුගියදා කොළඹ මහ නගර සභාවට තරග වැදීම සදහා පොදු එකගතා ගිවිසුමක් අත්සන් තබන ලදි. ගිවිසුම අත්සන් කරන ලද දින රාත්‍රියේ එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය වු ගිවිසුමට අදාල ප්‍රවෘත්තියක් සමග ගැටළුවක් පැන නැගීම හේතුවෙන් ශ්‍රීනාත් පෙරේරා මහතාගේ ජාතික ජනතා පක්ෂය ගිවිසුමෙන් ඒක පාර්ශවිකව ඉවත්වීමට තීරණය කරන ලද්දේ පක්ෂ දෙක අතර කිසිදු සාකච්ඡාවකින් තොරව වීම විශේෂත්වයක්. පසුව දෙපාර්ශවයටම දැනගැනීමට ලැබුනේ එම ප්‍රවෘත්තිය වැරදි අවබෝධයක් නිසා විකාශය වු එකක් බවයි. කෙසේ නමුත් ජාතික ජනතා පක්ෂයේ නායක හා එහි මහ ලේකම් ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා ඊට පසු දිනම ගිවිසුමෙන් ඉවත්වන බව මාධ්‍යට පවසා තිබුණි.

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පසුගිය සතිය පුරාම ගතකරේ නුවරඑළිය ප්‍රදේශයේ වතු කම්කරු ජනතාව සමග වීම විශේෂත්වයක්. ද්‍රවිඩ භාෂාව ඉතා චතුර ලෙස හැසිරවිය හැකි ගුණරත්න මහතා වතුකම්කරුවන්ගේ ගැටළු සොයා බලා ඉදිරියේදී ඔවුන්ගේ ප්‍රශ්න විසදා ගැනීමට තමා තීරණාත්මක ලෙස මැදිහත්වන බව ඔවුන්ට පැවසු අතර, සිංහල දේශපාලන පක්ෂ නායකයෙක් තමන්ගේ භාෂාවෙන් කතා කොට තමන් පිළිබදව සොයා බැලීමට ඉදිරිපත්වීම ගැන වතුකර ජනතාව ගුණරත්න මහතා වෙත මෙහිදී ස්තුතිය පිරිනැමුනේය. මේ ගමනට කදුකරයේ ද්‍රවිඩ දේශපාලන නායකයෙකු වන විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් රාජසුන්දරම් මහතාද එක් වී සිටි අතර, අළුත් දේශපාලන ගමනක් යාමට එක්සත් ජාතික නිදහස් පෙරමුණ සමග එකතු වන්නැයි ඔහු වතුකර ජනතාවට ආරාධනාවක්ද එහිදී කළේය.

සටහන - ප්‍රභාත් මාතරගේ

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 April 2018 17:14