October 19, 2018

මෛත්‍රීගේ ආණ්ඩු වෙනස ලප් තැනම ලොප්! පුංචි ඡන්දෙන් පසුත් යහපාලන ආණ්ඩුව දිගටම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවීමට ගත් උත්සාහය මේවන විට ව්‍යර්ථ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 96 දෙනා තමා සමග සිටීනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හෙට වුවද පිහිටුවීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශයත් සමග දේශපාලනයේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඊට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය පිරිනමන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීමට සූදානම් බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් ඉවත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට භාරකාර අමාත්‍ය ධුර ලබාදෙන භාරකාර ආණ්ඩුවකට සහයෝගය පළ කරන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දී තිබිණි.

කෙසේ වෙතත් ශ්‍රීලනිපයේ අනුශාසක, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමේදී මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය ලබා දීමත්, දූෂණ චෝදනා ඇති මන්ත්‍රීවරුන් එක් කර ආණ්ඩුවක් පිහිටුවීමටත් කියන යෝජනාවන්ට දැඩි විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජන රැලියකදී සඳහන් කළේ “මේ එකෙක්වත් කාලකන්ණි ආණ්ඩුවෙන් අස් වෙන්නේ නැහැනේ ඒකනෙ වැඩේ. දැන් අපි කියලා තියෙන්නේ එන්න කියලා මේ පැත්තට වහාම. දැන් මේ ප්‍රතිඵලත් එක්කලා එයාලට එන්න වෙයි කියන එක තමයි මගේ විශ්වාසය. ”යනුවෙනි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාද සිටින්නේ ජනාධිපතිවරයාගේ ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට ප්‍රතික්ෂේප කරමිනි.

මහින්ද අගමැති කරන්න කැමැතියි

ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමේ යථාර්තය පැහැදිලි කරමින් ඇමති දයාසිරි ජයසේකර මහතා පවසන්නේ “අපි කැමතියි මහින්ද මහත්තයව අගමැති කරන්න. හැබැයි අපට ඉන්නේ 95යි. තව අපි 17 දෙනෙක් මන්ත්‍රීවරු හොයා ගන්න ඕනේ. දෙමල සන්ධානයේ 16 මහින්ද මහත්තයව අගමැති කරන්න එයිද? ජනතා විමුක්ති පෙරමුණේ 06 දෙනෙක් ඉන්නවා ඇවිල්ලා සුදානම්ද මහින්ද මහත්තයව අගමැති කරන්න. යූ.එන්.පි එකෙන් 26න් 17ක් ඇවිල්ල මහින්ද මහත්තයව අගමැති කරන්න එයිද? මේක යථාර්තයක් නෙවෙයි. තේරුම් ගන්න මේක.“

මේ අතර මැතිවරණයෙන් පසුවද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එකට වැඩකිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් තීරණය කළ බව අනුරාධපුරයේ ඊයේ (29) පැවැති ජනහමුවකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“එක්සත් ජාතික පක්ෂ පෙරමුණේ නායකයන් මුණගැහුණා. අපි තමයි පාර්ලිමේන්තුවේ තිබෙන විශාලම පක්ෂය. අපිට වඩා කාටවත් නෑ. අපි බහුතරයක් හොයා ගන්නවා. අපි 2020 වෙනකම් ආණ්ඩු බලය තියාගන්නවා කියලා අපි තීරණය කළා. අපේ බහුතරය ආරක්ෂා කරන ගමන් අපේ ආණ්ඩුව ඇතුළේ තිබෙන සමගියත් ආරක්ෂා කරනවා කියලා අපි තීරණය කළා.“

“මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමා සමග එකට වැඩ කරනවා කියලා අපි තීරණය කළා. ඡන්දෙන් පස්සේ අපි ආරම්භ කරපු වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනවා. කිසිම සැකයක් කරගන්න එපා අපේ ආණ්ඩුව ගැන. බලයේ ඉන්නවා. ගමේ ආණ්ඩුවත් එකසත් ජාතික පක්ෂ පෙරමුණට දෙන්න.“ යැයි අගමැතිවරයා පැවසීය.

පුංචි ඡන්දෙන් පසු ශ්‍රීලනිපයේ තීරණය එළියට

කෙසේ වෙතත් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනයන්නේද නැද්ද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තීන්දුව ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසු ගන්නා බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක, විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
මැතිවරණ කාලසීමාවක් තුළ එවන් තීන්දු ගත නොහැකි බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා එබැවින් එය මැතිවරණය අවසන් වන තුරු ප‍්‍රමාද කිරීමට පක්‍ෂය තීරණය කර ඇතැයි සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ලියවිල්ලක් අත්සන් කර ඇති නමුත් එය ලියාපදිංචි ගිවිසුමක් නොවන බව කී අමාත්‍යවරයා එබැවින් එහි නීත්‍යානුකූල පදනමක් නොමැති බව ද කියා සිටියේය.

එම ගිවිසුමේ ද කාලසීමාව මේ වන විට අවසන්ව ඇති බවත් ඒ පිළිබඳ පසුවිපරමක් කර එයින් බලාපොරොත්තු වූ ඉලක්ක ඉටුවී තිබේද නැතිනම් ඉදිරියේදී එම ඉලක්කයන් ළඟා කර ගත හැකිවේද යන්න ගැන පසුවිපරමක් කළ යුතු බව ද ඇමැතිවරයා කියා සිටියේය.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 01 February 2018 11:21