December 15, 2017

ශ්‍රීලනිපය සමග සාකච්ඡා බිඳවැටීම පිටුපස ඒකාබද්ධය - එජාපය අතර රහස් ගිවිසුමක්?

ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර පැවති සාකච්ඡා අසාර්ථක වුයේ ප්‍රතිවාදීන් සමග පැවති රහස් ගිවිසුමක් නිසාද යන්න සැකයක් පවතින බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය වෙනම තරග කිරීමේ තීරණයට මේවන විට එළැඹ ඇත.

එම දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන්වීම හේතුවෙන් එක්ව තරග කිරීමේ අදහස අත්හැරදැමිය යුතුයැයි දෙපාර්ශ්වයේම අදහස වී ඇතැයි වාර්තා වේ.

ශ්‍රීලනිප ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවටත්, අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ යුතු බවටත් ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කළ කොන්දේසිවලට ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වයෙන් එකඟතාවක් නොලැබීම මෙම සාකච්ඡා බිඳවැටීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව සිටින දේශපාලන පක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය වශයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමටත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සමග සිටින දේශපාලන පක්ෂ ඒකාබද්ධ පොදුජන පෙරමුණ වශයෙන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීමටත් තීන්දු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආරම්භ කළ අවස්ථාවේ සිට මැතිවරණවලට ඉදිරිපත් කළ බුලත්කොළය ලකුණ ජනතාවගේ ආකර්ෂණයක් ලබා ඇති බැවින් මෙවර මැතිවරණයටද “බුලත්කොළය“ ලකුණ යටතේ මෙහෙයවිය යුතුයැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් පක්ෂ නායකත්වයට පෙන්වා දී ඇතැයිද වාර්තා වෙයි.

ශ්‍රීලනිපයට එජාපයෙන් ආරාධනයක්

කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව සම්මුතිවාදී ආණ්ඩුවට එක්වූයේ ශ්‍රීලනිප පාක්ෂිකයින් ආරක්ෂා කිරීමට බවත් ශ්‍රීලනිපය එජාපය සමග මැතිවරණ ගිවිසුම් අත්සන් කර නොමැති බවත් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසී ය.

එජාපයට එරෙහිව ශ්‍රීලනිපය තරඟ කරන බවත් ඉතා සාධාරණ කොන්දේසි පිට ඒකාබද්ධ විපක්ෂයට සාකච්ඡා සඳහා ආරාධනා කළ බවත් පෙන්වා දුන් නිමල් සිරිපාලද සිල්වා මහතා ඒකාබද්ධයේ පිරිස් එම අවස්ථාවටද පයින් ගසා කොන්දේසි ඉදිරිපත් කරමින් එක්වීමට තිබූ අවස්ථාව කඩා බිඳ දැමීම ශ්‍රීලනිපයේ ප්‍රතිවාදීන් සමග ඇති කර ගත් රහස් ගිවිසුමක් අනුවද යන්න ප්‍රශ්නයක් බවත් කියා සිටියේය.

මේ අතර කුරුණෑගල පැවති උත්සවයක් අමතමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ පිරිසිදු ගමනට එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරන බවයි.

ඒකාබද්ධය පොහොට්ටුවෙන් මැතිවරණයට

නෙළුම් පොහොට්ටුව ලකුණ මැතිවරණ ව්‍යාපාරයට යොදා ගැනීමට එහි ජ්‍යෙෂ්ඨයන් තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ අතරේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළදී උත්සවයක් පවත්වන බවත් දේශපාලන පක්ෂ විස්සකට වැඩි ගණනක් අතරේ පැවැත්වූ සාකච්ඡා අවසන් කර තිබෙන බවත්ය.

ඒකාබද්ධ පොදුජන පෙරමුණ වශයෙන් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ මෙම උත්සවය ලබන බ්‍රහස්පතින්දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යයන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී බොහෝ දුරට පැවැත්වෙනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ මේ වනවිට බස්නාහිර,දකුණ, මධ්‍යම යන පළාත්වල මැතිවරණය පැවැත්වෙන පළාත් පලාන ආයතන සඳහාත්, පුත්තලම, අනුරාධපුර සහ මොනරාගල යන දිස්ත්‍රික්කයන්හි පළාත් පලාන ආයතන සඳහාත්, උතුරු පළාතේ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති එකම පළාත් පාලන ආයතනය වන චාවකච්චේරි නගර සභාව සඳහාත්තම පක්ෂය ඇපමුදල් තැන්පත් කිරීම අවසන් කර ඇති බවයි.

ඉතිරි දිස්ත්‍රික්ක සඳහා අද (05) හා හෙට (06) යන දෙදින තුළ ඇප තැන්පත් කිරීම අවසන් කිරීමට සැලසුම් කර ඇතැයිද එම පක්ෂය පවසයි.

Rate this item
(3 votes)
Last modified on Friday, 08 December 2017 10:41