December 15, 2017

කරළියෙන් එහා: රවී, මහින්ද රහස් හමුවක - අනුර මෛත්‍රීගේ මූණටම දොස් කියද්දී මෛත්‍රී වෙනුවෙන් ඒකාබද්ධය එයි

පළාත් පාලන මැතිවරණය කල්යෑම, ශ්‍රීලනිප - ඒකාබද්ධ සාකච්ඡා සහ බැඳුම්කර සිද්ධියේ මන්ත්‍රීවරුන්ගේ දුරකතන සංවාද ගැන හෙළි වීමත් සමග මේ සතියේ දේශපාලන කරළිය උණුසුම් මුහුණුවරක් ගෙන තිබිණි. පුංචි ඡන්දය කල් දැමීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවය මත සිදුවන්නක් බවට විවිධ පාර්ශව චෝදනා එල්ල කළේය. පුංචි ඡන්දය කල් යෑම ගැන දැඩි ලෙස දෝෂාරෝපණය එල්ල කළේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාටය. මේවන විටත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර දී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් අමාත්‍යවරයාට එරෙහිව අද විශ්වාසභංග යෝජනාවක් බාර දුන්නේය. කතානායකවරයා වෙත මෙම යෝජනාව බාර දී ඇති අතර මෙම විශ්වාසභංග යෝජනාව සඳහා බිමල් රත්නායක මහතා හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ සියලුම මත්‍රීවරුන් අත්සන් තබා ඇත. බිමල් රත්නායක මන්ත්‍රීවරයා විදේශගත විම හේතුවෙන් මෙම යෝජනාවට අත්සන් තබා නැත. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් 5 දෙනෙකුගේ අත්සන සහිතව එහි නායක අනුර කුමාර දිසානායක මහතා විසින් මෙය කතානායකවරයාට බාර දී ඇත. මේ අතර මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ පුංචි ඡන්දය සඳහා අවශ්‍ය මූලික කටයුතු අඛණ්ඩවම ලහි ලහියේ සිදු කෙරෙමින් පවතින බවය. නීති ගැටලු විසඳුණු වහාම මැතිවරණය අප්‍රමාදව පැවැත්වීමට මැතිවරණ කොමිසම සුදානම් වී තිබේ.

පොල් මිල අහස උසට

පොල් මිල පාලනය කිරීම සඳහා විෂය භාර අමාත්‍යවරයා ලෙස තමා උපරිම උත්සාහයක් ගත්තද ඒ සඳහා වෙනත් බාධක මතුව තිබෙන අමාත්‍යවරයා පවසයි. දිගින් දිගටම පොල් මිල ඉහල යාම සම්බන්ධයෙන් ඇමැති නවීන් කනස්සල්ලට පත් සිටියි. “ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තිබ්බ කුරුණෑගල පොල් සමාගම සහ හලාවත පොල් සමාගම මගේ අමාත්‍යංශයෙන් ගැලෙව්වා. ඒ සමාගම් දෙකම තිබෙන්නේ කබීර් හෂීම් ඇමැතිතුමාට. සතොසට රුපියල් හැටපහට පොල් දෙන්න කිව්වට ඒ සමාගම් දෙන්න අකමැතියි. ඒ අය ලාභය ගැන බලනවා. ඒ පැත්තෙන් ඒක සාධාරණයි. මගේ අමාත්‍යාංශය යටතේ ඔය සමාගම් දෙක තිබුණානම් මට නියෝග දෙන්න තිබුණා. ඇමැතිවරයෙකුට යම්කිසි බලයක් තියෙන්න ඕන පාරිභෝගිකයා වෙනුවෙන් යම් තීරණයක් ගන්න ඒත් ඒ දේ කරන්න බැහැ“ නවීන් ඇමැතිවරයා සඳහන් කළේය.

මහින්දගේ කතාවෙන් මැතිසබේ රත්වෙයි

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් පසුගිය 22 වනදා ඉදිරිපත් කිරීමත් සමඟම පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. රීති ප්‍රශ්නයක් මතු කරමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පළාත් පාලන කොට්ඨාසවල සභික සංඛ්‍යාව ඇතුළත් ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම, දෙසැම්බර් මස 04 දක්වා අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බවයි. මෙම අධිකරණ නියෝගය පිළිබඳ මුලින්ම පාර්ලිමේන්තුව දැනුවත් කරන ලද්දේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් වීම විශේෂත්වයකි.

“මේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේ පවත්වන බව ප්‍රකාශ කළා. නමුත් මැතිවරණය කල් ගොස් තිබෙනවා කියලා දැන් අපිට ආරංචි වුණා. ඒ ගැන නඩු තීන්දුවක් ලැබිලා තියෙනවා. මේක පොඩි මැතිවරණයක්. ජනතාව බලාගෙන ඉන්න මැතිවරණයක්. ඒක නිසා වහාම මේ ඡන්දය පවත්වන්න ඕන" යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් බොහෝ දෙනා දැඩි විමසිල්ලකින් පසුවන නිසා මැතිසබයේ සිටි බොහෝ දෙනකුගේ අවධානය මේ දෙසට යොමු විය.
"අපි පළාත් පාලන මැතිවරණයට විරුද්ධ නැහැ. අපිට ඕනේ ඡන්දයයි. ඡන්දය වෙලාවට තියන්න ඕන" පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හිටපු ජනාධිපතිවරයාට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේය. "අවුරුදු දෙකහමාරක් ඡන්දෙ කල් දැම්මා. දැන් අවුරුදු 3කටත් කිට්ටු වෙලා. පුංචි ඡන්දය පැවැත්වීමේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට." යනුවෙන් යළිත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඊළඟට නැඟී සිටියේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාය. "ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරුන්, ගෝලයෝ තමයි ඡන්දෙ කල්දාන්න කියලා අධිකරණයට ගිහිල්ලා තියෙන්නෙ. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් දෙදෙනකු පත්කිරීමට නියමිතයි. දැනට එක් පුරප්පාඩුවක් පවතිනවා. ඒ සඳහා තෝරා පත් කරගැනීමේ තරගයකටයි නඩුව අහන්නේ" යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඊට ප්‍රතිචාර ලබාදීම සඳහා වහාම රීති ප්‍රශ්නයක් මතු කර සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාය. "2015 ජනවාරි 08 වැනිදා මේ යහපාලන ආණ්ඩුව බලයට ගේන්න කරගහපු හැමෝම මේ ඡන්දෙ කල්දැමීමට වගකිව යුතුයි. එම දේශපාලන පෙරළිය වෙනුවෙන් කඩේ ගිය හැමෝටම මේකෙන් බේරෙන්න ලැබෙන්නෙ නැහැ" විමල් වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය. "අපිට ඡන්ද කල් දාන්න ඕනෙ නැහැ. අපිටත් ඕන ඉක්මනට පළාත් පාලන ඡන්දය තියන්න" යනුවෙන් පැවැසුවේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාය.

මහින්ද ඒකාබද්ධය හදිසියේ රැස්කරයි

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පෙරවරු 11.00ට පමණ ගියේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ විශේෂ රැස්වීමක් සඳහාය. මෙය පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ බිම් මහලේ පිහිටි කමිටු ශාලා අංක 7හිදීය. ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එක්ව තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලිඛිතව ඉදිරිපත් කර තිබෙන යෝජනාව ගැන සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මෙම විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීම කැඳවා තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු වන සුසිල් ප්‍රේමජයන්ත, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහත්වරුන් කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසටම ගොස් මහින්ද රාජපක්ෂ මහතාට මෙම යෝජනාව භාර දී තිබිණි. පළාත් පාලන මැතිවරණයට තරග කිරීමේදී 50-50 වශයෙන් නාම යෝජනා බෙදා ගැනීම ඇතුළු කරුණු කිහිපයක්ම මෙම යෝජනාවලියට ඇතුළත් කර තිබිණි. ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී අගමැති ධුරය හෝ විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදෙනවා නම් පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා කිරීමට මෙහිදී ඒකමතිකව තීරණය කෙරිණි.

මෙම කොන්දේසි යටතේ පමණක් සාකච්ඡා කිරීම සඳහා කමිටුවක්ද පත් කරන ලද අතර මහින්ද යාපා අබේවර්ධන, සී.බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි යන මන්ත්‍රිවරු ඊට අයත් වෙති. පාර්ලිමේන්තුවේ බිම් මහලේ කමිටු ශාලා අංක 7හි මෙම සාකච්ඡාව විනාඩි 45ක පමණ කාලයක් පැවැත්විණි. එම සාකච්ඡාව අවසන් වීමට ආසන්න වනවාත් සමඟම පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන ‍දොරටුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට ඇතුළු වන්නට විය.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පිළිගැන්ම සඳහා එස්.බී. දිසානායක, විජිත් විජිතමුණිද සොයිසා, දුමින්ද දිසානායක අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් ගොස් තිබිණි. ජනාධිපතිවරයා ප්‍රමුඛ එම පිරිස පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වී ගමන් කළේ දෙවැනි මහලේ පිහිටි ජනාධිපති කාර්යාලයටයි. ඒ සමඟම වාගේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම අවසන් වී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ලොහාන් රත්වත්තේ, නාමල් රාජපක්ෂ, රංජිත් ද සොයිසා, බන්දුල ගුණවර්ධන මහත්වරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කමිටු ශාලා අංක 7න් පිටතට පැමිණියහ.

නමුත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් මුහුණට මුහුණ හමුවීමක් නම් සිදු නොවීය. ඉන්පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමඟ දිවා ආහාරය ලබා ගැනීමට ගියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි මන්ත්‍රිවරුන්ගේ භෝජනාගාරයටය.

දිවා ආහාරය ලබා ගනිමින් සිටි අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා අසලට පැමිණියේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකි. ඒ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතායි. රවි කරුණානායක මහතා ටික වෙලාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ කතාබස් කළේය. සුසිල් ප්‍රේමජයන්ත, විජිත් විජිතමුණි ද සොයිසා යන අමාත්‍යවරුද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසලට පැමිණ කතා බස් කළහ.

අනුර කුමාර මෛත්‍රීගේ මූණටම කියයි

මේ අතර අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වුවද බොහෝ දෙනකුගේ අවධානය යොමුවී තිබුණේ පළාත් පාලන මැතිවරණය පිළිබඳවයි. මැතිවරණය කල් දැමීම ගැන යම් සූදානමක් පවතිනවාද යන කාරණය බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබිණි. පළාත් පාලන මැතිවරණය කල් තැබීම සඳහා ආණ්ඩුවේ යම් උත්සාහයක් පවතින බව මැති සබය තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කිරීමත් සමඟ බොහෝ දේශපාලනඥයෝ ඒ ගැන අදහස් දක්වන්නට වූහ. මෙහිදී කැපී පෙනෙන කතාව සිදු කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාය. මැතිවරණය කල් දැමීමේ සූදානම නිසා අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයාගේ රතු කට්ට පැන තිබිණි. ඔහුගේ කතාවේ ප්‍රබලම චෝදනාව එල්ල කළේ ආණ්ඩුවටයි. අනුර කුමාර දිසානායක මහතා මෙම චෝදනා සිදුකරන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සිටියේ මැතිසබය තුළය. ඇතැම් චෝදනා අනුර කුමාර දිසානායක මහතා එල්ල කලේ සෘජුවම ජනාධිපතිවරයාගේ මුහුණ බලමිනි.

"පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ ප්‍රශ්නය අධිකරණයෙන් බැරි නම් මහ පාරෙන් හෝ බේරා ගන්නවා. ආණ්ඩුව මේ තීරණය වෙනස් කර නොගත්තොත් කවුරුත් බලාපොරොත්තු නොවන අය එක්ක වුවත් එකතු වෙන්න අපි ලෑස්තියි. මැතිවරණය කල් දැමීමේ උත්සාහය පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂයටත් අපි ආරාධනා කරනවා. අවුරුදු දෙකහමාරක් පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වුණා. කැත වංක අරමුණු වෙනුවෙන් අධිකරණය යොදා ගැනීම හෙළා දැකිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කිරීමට ජනාධිපතිවරයාට වගකීමක් තියෙනවා. වේදිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරලා වැඩක් නැහැ. ඒවාට කියන්නේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් කියලා.

කුඩා මැතිවරණයකින් ලොකු මැතිවරණයේ ජනවරම යටවෙන්නේ නැහැ. මේක යට ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපි දේශපාලනයේ තොත්ත බබාලා නොවෙයි. මං දන්න ෆයිසර්ට වරදින්න විදියක් නැහැ. හිතාමතා ගැසට් එක වැරැද්දුවා. කෝ ඇමැතිවරයා. ඇමැති රට. අපි දන්නවා මේ කුමන්ත්‍රණ මොකක්ද කියලා. ඒක නිසා ඇමැතිවරයා ඉල්ලා අස්වෙන්න ඕන. එයා ඉල්ලා අස්කරන විදියත් අපි දන්නවා" යැයි අනුර කුමාර දිසානායක මහතා විසින් දැඩි විවේචනයක් එල්ල කරන ලදී.

ඊට ප්‍රතිචාර දැක්වූයේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතාය. "මැතිවරණය කල්දැමීමට අපේ සම්බන්ධයක් නැහැ. මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අප කටයුතු කරනවා. අධිකරණ කටයුත්තක් සිදුවුවත් එය හැකි ඉක්මනින් ඉවර කරගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරනවා. ජනාධිපතිතුමාගේ අදහසත් එයයි. ඕන කෙනකුට ඕනෑම දේකට උසාවි යන්න පුළුවන්. එය වළක්වන්න අපට බැහැ.“

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනකුම එදින උදෑසන පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, කතානායක කරු ජයසූරිය මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටීම විශේෂත්වයකි. මේ නිසා මැතිසබය තුළ උණුසුම් තත්ත්වයක්ද ඇතිවිය. මෙහිදී රීති ප්‍රශ්නයක් මතු කළේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයායි.

"හංගපු ණය වගයක් ගැන අගමැතිතුමා කිව්වා කියලා පුවත්පතක වාර්තා කරලා තියෙනවා. එහෙම හංගපු ණයක් තියෙන්න බැහැ. මේ ගැන සත්‍ය මේ සභාවට හෙළි කළ යුතුයි" යනුවෙන් බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. "මේක රහසක් නෙවෙයි, අගමැතිතුමා මේ ගැන කිහිප වතාවක්ම කියලා තියෙනවා. එක එක වෙලාවට කොහෙන් හරි රටකින් බිලක් එනවා" යනුවෙන් ඊට ප්‍රතිචාර දැක්වූයේ සභානායක, ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාය. "බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයාට රෝගයක් තියෙනවා. ඒක තමයි අනවශ්‍ය වේලාවකදී ප්‍රශ්නයක් ඇති කරන එක" යනුවෙන් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රතිචාර දැක්වීය.

සුජීවගෙන් ජනපතිට චෝදනා?

ඉන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා නැඟූ රීති ප්‍රශ්නයක් හේතුවෙන් මැතිසබයේ ඇතිවූයේ උණුසුම්කාරී තත්ත්වයකි. "සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පුවත්පත්වලට ප්‍රකාශ කරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනඥයන් විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා කියලා. මෙසේ චෝදනා කර තිබෙන්නේ ජනාධිපතිතුමාට" යනුවෙන් දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

බන්දුල ගුණවර්ධන මහතාද විමසා සිටියේ සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා කියන මෙම කුමන්ත්‍රණ කතාව කුමක්ද කියායි.

අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් කීවේ තමා නිර්දෝෂී බවයි. තමාව රැක ගැනීම සඳහා තමාගේ වගකීම කතානායකතුමාට භාරකරන බවද ඔහු පැවැසීය. "ඇලෝසියස් සමඟ මා දුරකතන සංවාද දෙකක් පැවැත්වූ බවට වාර්තා පළවුණත් ජනාධිපති කොමිසමෙන් මට දැනුම්දීලා තියෙනවා දුරකතන ඇමැතුම් ගත් දින, වේලාවන් සහ කාලය ගැන කිසිදු සඳහනක් නැහැ කියලා. මේ ගැන හරස් ප්‍රශ්න අහන්න, කරුණු දක්වන්න වේලාවක් ලබාදෙන්න බැහැ කියලා ජනාධිපති කොමිසම දන්වා තිබෙනවා. මට මගේ අවංකභාවය, දුක කියන්න තැනක් නැද්ද. ඒක නිසා මං ඔබතුමාට භාරයි ගරු කතානායකතුමනි" යනුවෙන් අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා කතානායකවරයාට ඉල්ලීමක් කළේය.

මෛත්‍රී වෙනුවෙන් ඒකාබද්ධය කතා කරයි

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල අනුවයි මේ ජනාධිපති කොමිසම පත් කළේ. දැන් මෙහෙම කුමන්ත්‍රණ කතාවක් කියලා ජනාධිපතිතුමාව හෑල්ලුවට ලක් කරනවා" යනුවෙන් රංජිත්ද සොයිසා මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
"අනෙක් කාරණය පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව නියෝජනය කරන සාමාජිකයන්ගේ දුරකතන ඇමැතුම් ගැන කියැවෙන නිසා ඒවායේ කාලවකවානු පමණක් නොව කතා කරපු තොරතුරුත් පාර්ලිමේන්තුවට ලබාදෙනවා නම් ඉතාම වැදගත්" යනුවෙන් යෝජනා කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාය.

මහින්ද මැතිසබේ දිවයයි

මේ අතර මීටර් 100 ධාවනයේ යෙදුණු කැබිනට් අමාත්‍යවරයෙක් සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ගැන තොරතුරුද පාර්ලිමේන්තුවෙන් වාර්තා විය.

දිවා විවේකයෙන් පසුව දහවල් 1.00ට විවාදයට එක්වීමට නියමිතව සිටියේ මහින්ද අමරවීර අමාත්‍යවරයාය. පාර්ලිමේන්තුව රැස්වීමේ සීනුව නාද වන විටද අමාත්‍යවරයා සිටියේ මන්ත්‍රි භෝජනාගාරයේය. තමාගේ කතාව තිබෙන බව දැනගත් අමාත්‍යවරයා මැති සබයට දිව ගියේ කෙටිදුර ධාවන ශූරයකු පරිද්දෙනි. ඒකාබද්ධ විපක්ෂයේ කමිටු රැස්වීමකට පමා වී පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීර මහතාද එම ස්ථානයට දිව ගියේ හුසේන් බෝල්ට් මෙනි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත්ද සොයිසා මහතා විවාදයට එක්වෙමින් කවියක් කීවේය. 2002 වසරේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ආර්ථික ගමනට එරෙහිව ඒ කාලයේ තාප්පයක අලවා තිබුණු පෝස්ටරයකින් මෙම කවිය උපුටා ගත් බවද මන්ත්‍රිවරයා කීවේය.

'හාල් ෆෝටි
පොල් ටුවෙන්ටි
රනිල් නෝටි' එම කවියයි.

Rate this item
(3 votes)
Last modified on Friday, 24 November 2017 17:12