November 22, 2017

ශ්‍රීලනිප ඇමැතිවරු 6ක් අවස්ථා දෙකකදී විපක්ෂයට යෑමේ සැලසුමක්

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කළ විට ආණ්ඩුවේ සිටින ආමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 6 දෙනෙකු අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකර විපක්ෂයට එක්වීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, නැගෙනහිර යන පළාත් නියෝජනය කරන මෙම ඇමතිවරුන් ආණ්ඩුවේ නායකයන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධව දැඩි කළකිරීමෙන් පසුවන බව එම ආරංචි මාර්ග පැවසී ය.

මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණයට දින නියම කළ විට ප්‍රථමයෙන් බස්නාහිර, වයඹ හා නැගෙනහිර පළාත් නියෝජනය කරන ඇමතිවරයෙකු හා නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්වීමට පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය අතරතුරදී බස්නාහිර, වයඹ හා සබරගමුව යන පළාත් නියෝජනය කරන ඇමතිවරුන් තුන්දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්වීමට ද සාකච්ඡා කොට ඇති බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය සමගි කරවීමට පසුගිය කාලය පුරා සාකච්ඡා පැවැත්වූ මෙම ඇමතිවරුන්ට බලාපොරොත්තු වූ මට්ටමේ ප්‍රඵලයක් ලබාගැනීමට නොහැකි වී ඇතැයිද වාර්තා වෙයි.

ඇමැතිවරුන් හැටියට ලිපිකරුවන් වගේ

කෙසේ වෙතත් අධ්‍යාපන රාජ්‍ය ඇමැති පී. රාධක්‍රිෂ්ණන් මහතා පසුගියදා මාධ්‍යයට අදහස් දක්වමින් අනාවරණය කළේ ජනතාවට සේවයක්‌ කිරීමට ඉඩ නොලැබීම නිසා මා වගේ කණස්‌සල්ලට පත්වුණු තවත් බොහෝදෙනෙකු යහපාලන ආණ්‌ඩුවේ සිටින බවයි.

සේවය කිරීමට ඉඩ නොලැබුණා කියා ආණ්‌ඩුවෙන් ඉවත්වන්නේ නැතැයි පැවසූ රාධක්‍රිෂ්ණන් රාජ්‍ය ඇමැතිවරයා ආණ්‌ඩුව ඇතුලේම සිට අයිතිවාසිකම් සඳහා සටන් කරන බවද කියා සිටියේය.

“අපි මේ ආණ්‌ඩුවේ කොටස්‌කරුවෝ. අපටත් වැඩකිරීමට ඉඩදීම අවශ්‍යයි. ඇමැතිවරුන් හැටියට ලිපිකරුවන් වගේ වැඩකිරීමට පුළුවන්කමක්‌ නැ“ යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

මේ හේතුවෙන් ආණ්ඩුව තුල ගැටලු රාශියක් හේතුවෙන් මැති ඇමැතිවරු කළකිරීමෙන් සිටින බවත් බොහෝදුරට ශ්‍රීලනියේ ඇමැතිවරු කිහිපදෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම් බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 November 2017 12:49