November 22, 2017

කරළියෙන් එහා: කොළඹ නගරාධිපති පුටුව අරගන්න රෝසිගෙන් මෙහෙයුමක් - රවීගේ මංගලගේ අයවැයේ පරස්පරතා

පසුගිය සතියේ දේශපාලන කරළිය උණුසුම් වූයේ යහපාලන ආණ්ඩුවේ තුන්වැනි අය-වැය ලේඛනය ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමගයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රථම අයවැය වන මෙම අයවැය ඉදිරිපත් වීමටත්ඊ පෙරම විවිධ මත පලවන්නට විය. කෙසේ වෙතත් අයවැයට ප්‍රථමයෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ රාශියක බදු විශාල ලෙස අඩු කරමින් ජනතාවට සහන දෙන බවට ඉඟි පළ කර තිබිණි. 

මෙවර අය වැය ලේඛනයේ පැහැදිලිවම කැපී පෙනෙන කරුණු දෙකක් අඩංගු වේ. ඒ යහපාලන ආණ්ඩුවේ මෙතෙක් ඉදිරිපත් වූ අය-වැය ලේඛන දෙකටම වඩා මෙවර අය-වැය ලේඛණයේ බැලූ බැල්මට වෙනස්කමක් පෙනීමය. ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ එකම ආණ්ඩුවේ වුවද රවි කරුණානායක මුදල් ඇමැතිවරයාගේ අය-වැය යෝජනා හා මංගල සමරවීරගේ මංගල අය-වැය යෝජනා අතර ප‍්‍රතිපත්තිමය ලෙස පරස්පරතාවක් පවතින බවය.එදා රවි කරුණානායකගේ ප‍්‍රතිපත්තිය වූයේ කොළඹ ඇතුළු තදාසන්න නගරවල පවතින දැඩි වාහන තදබදය අඩුකළ යුතු බවයි. ඒ නිසා ඔහු සැහැල්ලූ මෝටර් රථ ඇතුළු අනෙකුත් මෝටර් රථවල මිල ඉහළ නැංවූයේය. එහෙත් මංගලගේ අය-වැය ලේඛනයෙන් එම ප‍්‍රතිපත්තිය යම් වෙනසකට පත්ව තිබේ. අනෙක් ප‍්‍රධාන කාරණය වනුයේ ආණ්ඩුව සැලසුම් සහගත තුන්වැනි පරම්පරාව ඉලක්ක කරගෙන තිබීමය. ආර්ථික හා දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී ඇත්තේ වර්තමාන ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා තරුණ ඡන්දදායකයන් විශාල පිටිවහලක් වූ බවය. ඒ නිසා ඔවුන් තවදුරටත් ආණ්ඩුව කෙරෙහි හිතවත්ව තබා ගැනීමේ උපක‍්‍රමයක් අනුගමනය කර තිබෙන බවය.

ඒ කෙසේ වෙතත් තරුණ ප‍්‍රජාව ඉලක්ක කරගත් අයවැය ලේඛණයක් ඉදිරිපත් කිරීම අලූත් ප‍්‍රවේශයක් බවද ඇතැම්හු පෙන්වා දෙති. අයවැය ලේඛණයට ඇතුළත් විය යුතු යෝජනා අයxවැයට පෙර ක‍්‍රියාත්මක කිරීමටද මංගල සමරවීර ඇමැතිවරයා පියවර ගෙන තිබිණ. විදේශ රටවලින් ආනයනය කර හඬ කැවූ විකාශනය කරන ටෙලිනාට්‍ය සඳහා වන ගාස්තුව විශාල වශයෙන් ඉහළ නැංවීමේ පියවර ගත්තේ ඉකුත් අඟහරුවාදාය. ඊට පසු දින එනම් බදාදා ආණ්ඩුව සහන පැකේජයක් එළියට දැම්මේය. අය-වැයෙන් කළ යුතුදේ අයවැයට පෙර ඉදිරියට දැම්මේ මන්දැයි මාධ්‍යවේදීහු කිහිප දෙනෙක් ඇමැති රාජිත මුණගැසුණු අවස්ථාවේදී විමසූහ. ”මේක හොඳ ක‍්‍රමයක්. පරිප්පු හාල්මැස්සන් අඩු කළාම හැමෝම ඒවට අත්පුඩි ගහනවා. ඒකෙන් වෙන්නේ ඇත්තටම හොඳ අය-වැය යෝජනාවලට තැනක් ප‍්‍රසිද්ධියක් නොලැබෙන එක. අපි දේශපාලනය, ඡුන්දය ඉලක්ක කරගත් අය-වැයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වුණෙත් නැතැයි” රාජිත කරුණු පැහැදිලි කළේය.

නාමල්ගේ කතාවට මහින්දට දුක හිතෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉකුත්දා රාත‍්‍රී ආහාරය සඳහා කොළඹ ප‍්‍රසිද්ධ හෝටලයකට ගියේය. හිටපු ජනාධිපතිවරයා සමඟ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, නාමල් රාජපක්ෂ යන මන්ත‍්‍රීවරුද යෝෂිත රාජපක්ෂ ද එක්ව සිටියහ. රාත‍්‍රී ආහාර ගන්නා අතරේ යම් යම් දේශපාලන කරුණු ද පිරිස අතරේ හුවමාරු වන්නට විය. උදිත ලොකුබණ්ඩාර කී කතාවට මහින්ද රාජපක්ෂ කරුණු කියන්නට පටන් ගත්තේය. ඊට පිළිතුරු බඳිමින් නාමල් අදහසක් පළකළේය. ”තාත්තා ස්වාධීනව තීන්දු තීරණ ගන්න. අපි ගැන හිතන්න එපා. අපට ඔය හිරේ යන්නත් පුළුවන්” නාමල් කී කතාවට යෝෂිත ද ඔළුව වැනුවේය. පුතුන්ගේ කතාවලට හිටපු ජනාධිපතිවරයා සංවේදී වූයේය.

මේ අතර ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සම්පන්දන් සහ සුමන්තිරන් කතාබහක නිරතව සිටියෝය. ඒ දෙදෙනා කතා කරමින් සිටින විට ඒ අසලට ඇමැති චන්දිම වීරක්කොඩි පැමිණියේය. චන්දිම දුටු විට සුමන්තිරන් විහිළුවක් කළේය. ”මොකද මේ පෙට්රල් ප‍්‍රශ්නය  ඕකට හිටපු තෙල් ඇමැතිත් වග කියන්න  ඕනේ.” යැයි කීවේය. හිටපු තෙල් ඇමැතිවරයා චන්දිමය. ඔහුද සුමන්තිරන්ට විහිළුවෙන්ම පිළිතුරු බැන්දේය. ”මම යන්තම් බේරුණා. මම හිටපු ඇමැතිනේ.” ඉකුත් දින කිහිපයේම තෙල් අර්බුදයෙන් ඇවිළී ගොස් තිබිණ. තෙල් ප‍්‍රශ්නය දුරදිග යන විට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කලබලයට පත් වූහ. ඔවුහු කොළඹ ඉන්දියානු මහ කොමසාරිස්වරයාට කතා කළේය. ඉතාම ඉක්මනින් ඉන්දියාවෙන්තෙල් නැවක් ගෙන්වීමට අවශ්‍ය කටයුතු කළේය.

ඉන්ධන අර්බුදය නිසා කැබිනට් එක රත්වෙයි

මේ අතර ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ද ඇමැතිවරු තෙල් ප‍්‍රශ්නය පිළිබඳව බොහොම තදින් අදහස් දක්වන්නට වූහ. ඇමැති දයාසිරි ජයසේකර තෙල් ඇමැති අර්ජුන රණතුංග තදින් විවේචනය කළේය. දයාසිරි ප‍්‍රශ්න පිට ප‍්‍රශ්න මතු කරද්දී අර්ජුන ද ඒවට පිළිතුරු බැන්දේය. ඇතැම් ඇමැතිවරු විහිළුවට මෙන් කීවේ ”මේ දෙන්න අතරේ ප‍්‍රශ්නයක් තියෙනවානේ. ඔය ඇරියස් කවර් කරගන්නවා” කියාය. ක‍්‍රිකට් සම්බන්ධයෙන් අර්ජුන සහ දයාසිරි අතර යම් අමනාපයක් පවතියි. ඇමැති අර්ජුනගේ අදහස වී ඇත්තේ තිලංග සුමතිපාලට දයාසිරි ජයසේකර විශේෂ සැලකිල්ලක් දක්වන බවය. මේ අතර තෙල් ප‍්‍රශ්නයේදී ඇතැම් ඇමැතිවරු ප‍්‍රසිද්ධියේත් අප‍්‍රසිද්ධවත් ඇමැති අර්ජුනට දෙහි කැපූහ. ”එයා ඕනෑම දෙයකට මහා දාර්ශනික අදහස් දක්වනවා. වෙනත් අමාත්‍යාංශයක නැත්නම් ක‍්‍රීඩා අමාත්‍යාංශයේ වැඩවලට විවේචන අදහස් යෝජනා දෙනවා. හැබැයි තමන්ට පවරා දී තිබෙන විෂය හරියට මැනේජ් කරගන්න බැහැ.” ආදී වශයෙන් එම ඇමැතිවරු අර්ජුන විවේචන කළහ.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ගුණසමරුව ඉකුත් බදාදාට යෙදී තිබිණ. යහපාලනයක් ස්ථාපිත කිරීමට සහ සාධාරණ සමාජයක් වෙනුවෙන් ක‍්‍රියාකාරිවූ සෝභිත හිමියෝ වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා විශාල මෙහෙයක් කළහ. මාදුළුවාවේ හිමියන් වෙනුවෙන් ගුණසමරු උත්සව දෙකක් පැවැත්විණ. එක් උත්සවයක් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති අතර අනෙක් උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වූයේ හිටපු ජනාධිපතිවරයාය. කෝට්ටේ නාග විහාරයේ පැවැති ගුණසමරු උත්සවයට විජයදාස රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ඒ.එච්.එම්. ෆවුසි හා උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් ද එක්වූහ. නාග විහාරයේ පැවැති දානමය පින්කමට සහභාගි වූ හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස දානෙන් පසුව නාගවිහාරයේ කාමරයකට ගොස් සුහද කතාබහක නිරතව වූහ. නාගවිහාරයේ නාරද හිමියෝ එහිදී කීවේ. ”අපේ නායක හාමුදුරුවෝ සාධාරණ සමාජයක් වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. හැබැයි යහපාලන ආණ්ඩුව වෙනුවෙන් අද මේ පින්කමට ඇවිත් ඉන්නේ විජයදාස මහත්තයා විතරයි.” යනුවෙනි. විජයදාස රාජපක්ෂ ඊට පිළිතුරු බැන්දේය. ” ඕවා ඔහොම තමයි හැමෝටම මුල අමතක වෙනවා.  හැබැයි මහින්ද මහත්තයාට එහෙම එකක් නැහැ.” කියාය. ”විජේ ඔයාගේ රූපවාහිනී සාකච්ඡාව මම බැලූවා. ඔයා හොඳට කරුණු පැහැදිලි කළා. හැබැයි ඉතින් මොනවා කිව්වත් මේ ආණ්ඩුවේ අයට වැඩක් වෙන්නේ නැහැනේ.” යැයි මහින්ද රාජපක්ෂ කීවේය.

හිටපු ජනාධිපතිවරයාගේ කතාවට විජයදාස තවත් යමක් එකතු කළේය. ”මේ ආණ්ඩුවේ විකාර වැඩවලට මට එකඟ වෙන්න බැහැ. මම හැකි විදියට වැරදි පෙන්වලා දෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න දිව්රුම් දීලා ඒක කඩලා බිඳලා දානවා. මේ ආණ්ඩුව කරන්නේ හොඳ දේවල් නොවේ.”  විජයදාසගේ කතාවෙන් පසුව කුමාරසිරි හෙට්ටිගේ කීවේ ”මේ ආණ්ඩුව හැම කුණු ගොඩක්ම සර්ගේ පිටින් දාන්නයි හදන්නේ. ඔන්න තෙල් ප‍්‍රශ්නයටත් සර්ව අල්ලගෙන” කියාය. කුමාරසිරි හෙට්ටිගේ කී විට මහින්ද රාජපක්ෂ කීවේ ”මේ ෆවුසි ඇමැතිතුමා දන්නවානේ අපි කොහොමද වැඩ කළේ කියලා. අපේ කාලයේ ඔය තෙල් ප‍්‍රශ්නයක් තිබ්බේ නැහැ. කොච්චර මට චෝදනා කළත් රටේ මිනිස්සු ඇත්ත දන්නවා.”

රෝසි කොළඹ නගරාධිපති පුටුවට?

මහින්ද කී විට උදය ගම්මන්පිල තවත් කරුණක් මතක් කළේය. ”මේ තෙල් ප‍්‍රශ්නයේ මුල එක්සත් ජාතික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඉන්දියාවට ලියලා දුන්නා. දැන් තමයි ඒවායේ ප‍්‍රතිඵල දකින්න පුළුවන් වෙන්නේ. රටේ ජනතාව දුක් විඳිනවා.” කියාය. ළඟ එන පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධුරයට රෝසි සේනානායක තරග වදිනු ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග සඳහන්කරයි. මේ වනවිටත් නොනිල මට්ටමින් රෝසි සේනානායක වැඩ ආරම්භ කර තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක වන රෝසි සේනානායක ඉකුත් මහ මැතිවරණයේදී එජාප ලැයිස්තුවෙන් තරගවැද පරාජයට පත් වූවාය. රෝසි සේනානායක එදා චෝදනා කළේ කිසියම් කුමන්ත‍්‍රණකාරී වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක වී තමා පරාජයට පත් කළ බවටය. රෝසි සේනානායක එතනින් නොනැවතී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යාමට ද කිසියම් උත්සාහයක නිරත වූවාය. පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් පත් නොකරණ බව. එජාප නායක රනිල් වික‍්‍රමසිංහ තීන්දුවක සිටියේය. රෝසි සේනානායක තමාගේ පරාජය පිළිබඳව එවකට මැතිවරණ කොමසාරිස් කාර්යාලයටද ඇඟිල්ල දිගු කළාය. කෙසේ වෙතත් එජාප නායකයා රෝසිට අලූත් තනතුරක් ලබාදුන්නේය. අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී ලෙස පත්වීම ලැබුවේ ඒ අනුවය. කොළඹ මහ නගර සභා ආරංචි මාර්ග සඳහන් කරනුයේ නොනිල නගරාධිපතිනිය ලෙස රෝසි එහි කටයුතු සොයා බලමින් කටයුතු කරන බවය.

සෑම බදාදා දිනකම පැවැත්වෙන මහජන හමු සඳහා ද ඇය සහභාගී වන අතර ජනතාවගේ ගැටලූ විසඳා දීම සඳහාද යම් මැදිහත්වීමක් සිදුකරන්නීය. මීට අමතරව සතියකට වරක් නිලධාරීන් හමුවී නගරයේ පරිපාලන ගැටලූ හා අඩුපාඩු සාකච්ඡා කර ඒවාට විසඳුම් ලබාදීමටද ඇය මැදිහත් වී සිටින්නීය. මේ අතර කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මේ වන විට මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයේ කටයුතු කරයි. ඔහු නැවත නගර සභාවට තරග නොකිරීමේ තීන්දුවකට එළැඹ ඇතැයි වාර්තා වේ.

පවතින නීති සංශෝධනය කර ශ්‍රී ලංකාව තුළ අල්ලස් සහ දුෂණය තුරන්කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට රජය තීන්දු කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි පවතින නීතිය කඩිනමින් සංශෝධනය කිරීමට නියමිතය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සහ ඊට ආනුශාංගික පනත් සංශෝධනය කිරීමට තීන්දුව ගෙන ඇත්තේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාය. විදෙස් රටවල් සමඟ සිරකරුවන් හුවමාරු කර ගැනීමේ විශේෂ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව විදෙස් රටවල් කිහිපයක්ම සමඟ රජය මේ වන විට අදාළ ගිවිසුම්වලට අත්සන් තබා තිබේ. ඉකුත්දා ආණ්ඩුව තීන්දු කළේ තායිලන්තය සමඟ ගිවිසුමකට එළැඹීමටය. ඒ අනුව ශ්‍රී ලංකාවේ අධිකරණයකින් වරදකරුවකු කොට බන්ධනාගාරගත කරන තායිලන්ත පුරවැසියෙකු මෙරට බන්ධනාගාරවල රඳවා නොගෙන එරට බන්ධනාගාරයකට යොමු කිරීමටත් එරට බන්ධනාගාරයක සිටින සිරකරුවෙකු මෙරට බන්ධනාගාරයකට මාරුකර ගැනීමටත් අදාළ ගිවිසුමෙන් අවශ්‍ය ප‍්‍රතිපාදන සැලසෙනු ඇත.

ඇතැම් සමාජජාලා වෙබ් අඩවි ඔස්සේ රජය දැඩි විවේචනයකට ලක් කිරීම පිළිබඳවත් එවැනි තත්ත්වයන් පාලනය කිරීමටත් රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ. මුහුණු පොත වැනි සමාජජාලා වෙබ් අඩවි ඔස්සේ රටේ නායකයන්ට අසභ්‍ය ලෙස බැන වැදීම හා විවේචනය කිරීම ඇතැම් අසභ්‍ය දේ ඒවායින් ප‍්‍රචාරය කිරීම නතර කළ හැකිදැයි සොයා බැලීමට රජය තීන්දු කරතිබේ. ඉකුත් බදාදා වාර්තා වූයේ ලංකා ඊ. නිව්ස් වෙබ් අඩවියට තහංචි පැනවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීන්දු කර තිබෙන බවය. තවත් ආරංචියක් පැතිර ගියේ එදින එම වෙබ් අඩවිය අවහිර කර තිබූ බවය. එහෙත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් අදාළ චෝදනාව ප‍්‍රතික්‍ෂේප කළේය. පසුව එම වෙබ් අඩවියට සිදුකර තිබූ අවහිර කිරීම නතර කළ බවද දැනගන්නට තිබිණි.

ශ්‍රීලනිප - ඒකාබද්ධ සිහිනය බොඳවෙයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව තරග කළ යුතු බවට ඒකාබද්ධ විපක්‍ෂයේ සමහරුන් තුළ අදහසක් තිබිණි. එහෙත් එම උත්සාහය ලත් තැනම ලොප් වී ගියේ මහින්ද රාජපක්‍ෂ පිල ඊට එකඟ   නොවීම නිසාය. ශ්‍රීලනිපයේ මෛත‍්‍රී හා මහින්ද පාර්ශ්වය එක් කිරීමේ යෝජනාවට ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග දැඩි විරෝධයක් දක්වයි. ඔහු සඳහන් කරනුයේ ‘‘එක්සත් ජාතික පක්‍ෂය සමඟ ඞීල්දාපු කොටසක් එක්ක අපි එකතු වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්‍ෂයත් සමග හවුලේ දීග කන්න අපි සූදානම් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරක්‍ෂා කරන්න නම් මුලින්ම කරන්න ඕනෙ අපේ කට්ටිය එජාපයේ ඉඳුල් කන එක නතර කිරීමයි. කොහොම වුණත් එජාපයේ වලිගෙ එල්ලිලා ඉන්න අය ගැන පාක්‍ෂිකයෝ තීන්දුවක් ගනීවි’’ යැයි ප‍්‍රසන්න රණතුංග කියයි.

ඉකුත් මහ මැතිවරණයට තරගවැදීම සඳහා මර්වින් සිල්වාට නාමයෝජනා ලැබුණේ නැත. ඔහු මේ වන විට වසර දෙකහමාරක් තිස්සේ ක‍්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටියි. මෑතකදී මර්වින් සිල්වා නව දේශපාලන පක්‍ෂයක් ස්ථාපිත කළේය. ‘‘ජනතා පක්‍ෂය’’ නමින් නම්කර තිබූ නව පක්‍ෂයේ සභාපතිවරයා මර්වින් සිල්වාය. ඔහු සිය පක්‍ෂයෙන් රටේ සිදුවී ඇති දුෂණ හා වංචා හෙළි කිරීමටත් ඒ පිළිබඳව නීති කටයුතු කිරීමටත් පියවර ගනිමින් සිටියි. යුද්ධය පැවැති සමයේ පොලිස් නිලධාරීන්හයසියයක් සමූල ඝාතනය කිරීම පිළිබඳව සොයා බලන ලෙසත් ඉල්ලමින් ඔහු ඉකුත්දා පොලිසියට පැමිණිල්ලක් කළේය.

මර්වින් ඡන්දෙට වැඩ අල්ලයි

1990 වසරේ ජූනි මස 11 වැනිදින කොටි ත‍්‍රස්තවාදීන් විසින් නැගෙනහිර පළාතේ පොලිස් ස්ථාන වන කල්මුණේ, අක්කරපත්තුව, කලවංචිකුඩි, සමන්තුරේ සහ පොතුවිල් යන පොලිස් ස්ථානවල රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් හයසියයක් පමණ අත්අඩංගුවට ගෙන තිරික්කෝවිල් කැලෑවේදී වෙඩි තබා අමානුෂික ලෙස ඝාතනය කර තිබිණි. මර්වින් සිල්වා පොලිස් මූලස්ථානයෙන් ඉල්ලා ඇත්තේ අදාළ සිද්ධිය පිළිබඳව සොයා බලා නැවත නීති කටයුතු කරන ලෙසය.මාලබේ සයිටම් ගැටලූවට තවමත් නිශ්චිත විසඳුමක් නැත. ජනාධිපතිවරයා විටින් විට විවිධ ක‍්‍රියාමාර්ග ගනිමින් ඊට විසඳුම් ලබාදීමට උත්සාහයක නිරතව සිටියි. සයිටම් සිසුන්ගේ සහ රජයේ වෛද්‍ය සිසුන්ගේ මවුපියන් පිරිසක් ඉකුත්දා ජනාධිපති කාර්යාලයට කැඳවා සාකච්ඡාවක් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

එහිදී රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය මවුපියන්ගේ සංගමයේ නියෝජිතයකු දිගින් දිගටම ඉල්ලා සිටියේ සයිටම් ආයතනය අහෝසි කිරීම සඳහා ගැසට් නිවේදනයක් ප‍්‍රකාශයට පත්කරන ලෙසයි. මෙම ඉල්ලීම ඉතා තදින් සිදුවෙද්දී කළයුතු ක‍්‍රමවේදය ගැන ජනාධිපතිවරයා මවුපියන්ට කරුණු පැහැදිලි කළේය. එහෙත් එක්තරා මහාචාර්යවරයෙක් ඊට එකඟ වූයේ නැත ‘‘තමුන් මහාචාර්යවරයෙකු නේද කියන දේ තෙරෙන්නේ නැත්තේ ඇයි. සයිටම් නිත්‍යානුකූලව පිහිටවූ ආයතනයක්. එකපාරට ඒක අහෝසි කරන්න බැහැ. නීති ක‍්‍රමවේදයක් තිබෙනවා. එහෙම අහෝසි කළොත් නීතිය ඉදිරියේ ආණ්ඩුවට වග කියන්න වේවි. විශාල වන්දි මුදලක් ගෙවන්නත් වේවි. අනෙක අපේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය පෞද්ගලික අධ්‍යාපනයපිළිගන්න එක. ඒක නීති ක්‍ෂේත‍්‍රයද වෛද්‍ය ක්‍ෂේත‍්‍රය ද එහෙමත් නැත්නම් වෙනත් ක්‍ෂේත‍්‍රයක්ද යන්න වැදගත් නැහැ. රටේ  ඕනෑම වයසක  ඕනෑම පුද්ගලයකුට පෞද්ගලිකව අධ්‍යාපනයක් ලබන්න හිමිකමක් තිබෙනවා’’ යැයි ජනාධිපතිවරයා තදින්පිළිතුරු දුන්නේය.

තෙල් අර්බුදය අද පස්වරුව වන විට සම්පූර්ණයෙන්ම පාහේ නිමවනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථාව විශ්වාස පළකර තිබිණ. එහෙත් ගැටලූව එතැනින් නිම නොවී තවදුරටත් ඉදිරියට යනු ඇතැයි පැවසෙන්නේ ජනාධිපතිවරයා තද තීන්දුවක් ගෙන තිබෙන බවය. තෙල් අර්බුදයට ඉන්දියානු තෙල් සමාගම වගකිව යුතුයැයි පාර්ශ්වයක් ප‍්‍රකාශ කළේය. තවත් පාර්ශවයක් ඇඟිල්ල දිගු කර ඇත්තේ තෙල් සංස්ථාව වෙතය. කෙසේ වෙතත් රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ වගකිව යුත්තන් සොයාබලා තරාතිරම නොබලා දඬුවම් පැමිණවීමට ජනාධිපතිවරයා ස්ථිර තීන්දුවක් ගෙන තිබෙන බවයි.

ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රීත් මාරාන්තික උපවාසයේ

නීති විරෝධී ලෙස ආරම්භ කළ සයිටම් ආයතනය වසා දමන ලෙසට බලකර කාලයක් තිස්සේ ශිෂ්‍ය සංගම්, දේශපාලන පක්ෂ, දෙමාපිය සංගම්, වෘත්තීය සමිති, බහුජන සංවිධාන ඒකාබද්ධ අරගලයක් දියත් කළේය. එහි උච්ඡුතම අවස්ථාව වූයේ, රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමය. සතියකට පමණ ඉහතදී රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ආණ්ඩුවේ අවසන් විසඳුම යැයි යෝජනාවලියක් ඉදිරිපත් කර තිබුණි. නමුත් එයට විරෝධතාකරුවන් සිය එකඟතාවය පළ නොකළ අතර නුගේගොඩ පැවැති ප‍්‍රසිද්ධ රැුලියේදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත විසින් එම යෝජනාවලිය ඉරාදමා විරෝධය පළ කළේය. පසුව රජයේ වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය විසින් මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය. මේ අවස්ථාවට දෙමාපියන් පස්දෙනෙකු එක්වූ අතර ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී අශෝක රන්වලද ඊට එක්විය. ඔහුගේ දරුවන් දෙදෙනකු වෛද්‍ය සිසුන් වන අතර බිරිඳ වෛද්‍යවරියකි. පසුගිය 07වැනිදා ජවිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා දෙමාපියන්ගේ අරගලයට ධෛර්ය ලබාදෙමින් ඔවුන් සමඟ එක්වූ අතර අටවෙනිදා දින සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා මාරාන්තික උපවාසය පැවැති ස්ථානයට සහභාගි විය.

පසුගිය අටවෙනිදා ශිෂ්‍ය සංගම්, දෙමාපිය සංගමය, වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් එක්ව මේ පිළිබඳව සාකච්ඡුාවක් පැවැත්වීය. මේ අවස්ථාවට ජවිපෙ නියෝජනය කරමින් ලාල්කාන්ත, වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ යන අය සහභාගි වූහ. පසුව දෙමාපිය සංගමයේ නියෝජිතයින් පිරිසක් ආණ්ඩුව පත්කළ හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් සයිටම් ගැටලූව විසඳීමට පත් කළ කමිටුව සමඟ සාකච්ඡුාවක් පැවැත්වීය. එහිදී එකඟ වූ කරුණු ලිඛිතව ලබාදෙන තුරු අවසන් තීරණයක් නොගැනීමට දෙමාපිය සංගමය තීරණය කර තිබුණි. කෙසේ වෙතත් ලාල්කාන්ත, වසන්ත සමරසිංහ ඇතුළු පිරිස දෙමාපියන් සමඟ නිරතුරුවම රැුඳෙමින් පිළිගත හැකි අවසන් විසඳුමක් ලබාගැනීමට සාකච්ඡා මෙහෙය වූහ. අවසානයේදී ආණ්ඩුව සයිටම් ආයතනය අහෝසි කිරීමටත් සයිටම් සිසුන් වෙනුවෙන් සාධාරණයක් ඉටුකිරීම සඳහා තාවකාලික ආයතනයක් ස්ථාපිත කිරීමටත් සියලූ ක‍්‍රියාමාර්ග 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ ප‍්‍රතිපාදන අනුව සිදුකිරීමට එකඟ විය. මෙම විසඳුමට දෙමාපිය සංගමය එකඟ වීමෙන් පසුව මාරාන්තික උපවාසය අවසන් කිරීමට තීරණය වුවත් යෝජනාවලියේ කරුණු පැහැදිලි කර ගැනීම සඳහා හර්ෂද සිල්වා ඇමතිවරයා උපවාස භූමියට පැමිණිය යුතු බවට යෝජනා විය. ඒ අතර මාරාන්තික උපවාසයේ යෙදී සිටි ජවිපෙ මන්ත‍්‍රී අශෝක රන්වල යෝජනාවලියේ කරුණු පැහැදිලි කරමින් සාකච්ඡාවට එක්විය. ඔහු කියා සිටියේ ආණ්ඩුව සයිටම් අහෝසි කිරීමට පොරොන්දුවී ඇති බවත් ඊට එහා ගිය ඉල්ලීම් දිනාගැනීමට දෙමව්පියන් සූදානම් නම් තමන්ද දිගටම මාරාන්තික උපවාසයේ රැුඳී සිටීමට කටයුතු කරන බවත්ය. අනතුරුව හර්ෂද සිල්වා ඇමතිවරයා සමඟ පැයක පමණ සාකච්ඡුාවකින් අනතුරුව මාරාන්තික උපවාසය අවසන් කෙරිණි.

තෙල් පෝලිම ආණ්ඩුවේ සැලැස්මක් නැතිකම නිසයි

අයි ඕසී සමාගම විසින් ගෙන්වන ලද තෙල් නැවක් බාල තත්වයේ පැවැතීම නිසා ගොඩබෑම ප‍්‍රතික්ෂේප වීමත් සමඟ රට තුළ ඉන්ධන අර්බුදයක් නිර්මාණය විය. ජනතාව තෙල් පෝලිම්වල රස්තියාදු වන තත්වයක් උදා විය. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ද අවධානය යොමු කර තිබුණි. ”එක තෙල් නැවක් නැවතුණාම රට හිරවෙනවා. මේක බරපතළ තත්වයක්. මේ ගැන තෙල් පෝලිමේ ඉන්න මිනිස්සු ආණ්ඩුවට බැන්නට ඇත්ත තත්වය ජනතාව හරියටම දන්නේ නැහැ.” විජිත හේරත් කියා සිටියේය. ”මේ ගැන පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කළොත් ඇත්ත තත්වය ජනතාවට දැනගන්න පුළුවන්. මේ අර්බුදයට ප‍්‍රධාන හේතු කිිහිපයක් තියෙනවා. ආණ්ඩුව නියමිත පරිපාටිය අනුගමනය නොකර තෙල් ආනයනය කරන්න ගිහින් මේ වැඬේ අවුල් වෙලා. දීර්ඝ කාලීන ටෙන්ඩර් ක‍්‍රමය වෙනුවට ආණ්ඩුව ස්ථානීය මිලදීගැනීම නිසයි මේ අර්බුදය ඇතිවෙලා තියෙන්නේ. ඒ නිසා මාස කීපයක් ඇතුළත ආණ්ඩුවට ඇ.ඩො. මිලියන 40ක පාඩුවකුත් වෙලා.” අනුර දිසානායක කීවේය. ”ඛනිජ තෙල් සංස්ථාව සතුව ප‍්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැති වීමත්, සපුගස්කන්ද පිරිපහදුව අකර්මණ්‍ය වීමත්, මේ වනවිට අයි ඕසී සමාගමට ලියවිල්ලකින් පවරාදී තිබෙන ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංස්ථාවට අහිමි වීමත් මේ අර්බුදය උත්සන්න කරලා තියෙන්නේ. මේ ගැන වෘත්තීය සමිතියේ තොරතුරුත් අරගෙන විශේෂ ප‍්‍රකාශයක් හදමු.” සුනිල් හඳුන්නෙත්ති යෝජනා කළේය. ”අපි දිගින් දිගටම තෙල් ටැංකි අයි ඕසී සමාගමට ලබාදීමට එරෙහිව විවිධ අවස්ථාවල වෘත්තීය ක‍්‍රියාමාර්ග දියත් කළා. පාර්ලිමේන්තුවේ විවිධ අවස්ථාවල ප‍්‍රශ්න කළා. රටේ බලශක්ති ප‍්‍රභවයක් වන ඉන්ධන බෙදා හැරීමේ අයිතියෙන් කොටසක් වෙනත් රටක සමාගමකට පැවරීම බරපතළයි. ඒ හේතුවෙන් රට අකර්මණ්‍ය වන තත්වයක් උද්ගත වෙන්න පුළුවන්. විදේශ සමාගමක් අපේ රට පාලනය කරන තත්වයක් උදා වෙන්න පුළුවන්. මේ ආණ්ඩු මේ ගැන අවධානය යොමු නොකිරීමේ ප‍්‍රතිවිපාක අද ජනතාවට අත්විඳින්න සිදුවෙලා.” විජිත හේරත් කීවේය. අනතුරුව වෘත්තීය සමිති නායකයින්ගේද තොරතුරු අනුව ප‍්‍රකාශයක් සකස් කළ අතර ජවිපෙ නායකයා පසුගිය 07වෙනිදා ඛනිජ තෙල් ඇමතිවරයාගෙන් ස්ථාවර නියෝග 23/2 යටතේ ප‍්‍රශ්නය යොමු කළේය. මේ සම්බන්ධයෙන් පැහැදිලි කරුණු සහිතව ජවිපෙ නායකයා විසින් ප‍්‍රශ්නය ඉදිරිපත් කළ අතර ඇමතිවරයා විසින් ලබාදුන් පිළිතුර ප‍්‍රශ්නයෙන් පලායෑමක් විය.

2003 තෙල් ටැංකි ඉන්දීය එල්අයි ඕසී සමාගමට පැවරීමේ උත්සහයේ සිට ඊට එරෙහිව ජවිපෙ කටයුතු කළේය. 2006 නොවැම්බර් මාසයේදීද 2007 මාර්තු සහ අපේ‍්‍රල් මාසවලදීද 2009 ජූනි මාසයේදීද 2012 මැයි මාසයේදීද 2013 දෙසැම්බර් මාසයේදීද 2014 මාර්තු මාසයේදීද 2016 සැප්තැම්බර් මාසයේදීද ජවිපෙ මන්ත‍්‍රීවරුන් විසින් අයි ඕසී ගිවිසුම් පිළිබඳව, තෙල් සංස්ථාවේ ගබඩා පහසුකම් පිළිබඳව, ණය ගැනීම් පිළිබඳව ප‍්‍රශ්න කිරීම් සහ කරුණු අවධාරණය කිරීම් දිගින් දිගටම සිදුකර තිබුණි.

Rate this item
(4 votes)
Last modified on Friday, 10 November 2017 23:40