November 22, 2017

හිටපු මුදල් ඇමැතිගේ තවත් වැඩක් මාට්ටු! කෝටි 15ක්‌ දී පළාත් සභාවට වාහන 19ක්‌ කුලියට අරන්

වත්මන් රජයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකු සතු පෞද්ගලික ආයතනයකින් රුපියල් කෝටි 15ක්‌ වැය කර බස්‌නාහිර පළාත් සභාවට කල්බදු ක්‍රමයට වාහන 19ක්‌ ලබාගෙන ඇතැයි බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ඊයේ (07) හෙළි කළේය.

වසර 05ක්‌ තුළ කල්බදු කාලය අවසන් වුවත්, එම වාහන නැවත කුලියට ගත් ආයතනයටම හිමිකාරීත්වය හිමිවන සේ ලබාගෙන ඇතැයි ද මහ ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

බස්‌නාහිර පළාත් සභාව සඳහා හිටපු මුදල් ඇමැතිවරයකුට අයත් ආයතනයකින් කල්බදු ක්‍රමය යටතේ වාහන කිහිපයක්‌ ලබාගෙන ඇති බවට බස්‌නාහිර පළාත් සභා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී සුනිල් ජයමිණි මහතා ඊයේ ප්‍රධාන අමාත්‍යවරයා වෙත යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඉසුර දේවප්‍රිය මහතා මේ බව සඳහන් කළේය.

තමාද මේ පිළිබඳ දැනුවත් වූවේද මෙම ප්‍රශ්නය සමග බවත් භාණ්‌ඩාගාර චක්‍රලේඛ අනුව ටෙන්ඩර් කැඳවීමක්‌ කර වාහන ලබාගෙන ඇති බව දැනගන්නට ලැබූ බවත් මහ ඇමැතිවරයා පැවසී ය.

එලෙස ලබාගත් වාහන අතර කැබ් රථ 17ක්‌, මෝටර් රථයක්‌ සහ වැන් රථයක්‌ ද ඇති අතර එම එක්‌ කැබ් රථයක්‌ සඳහා මසකට රුපියල් 1,64,500 ක්‌ ද , මෝටර් රථය සඳහා මසකට රුපියල් 1,26,900 ක්‌ ද, වෑන් රථය සඳහා 1,70,000ක්‌ වශයෙන් ගෙවීම් කර තිබේ.

කෙසේ වෙතත් පුදුම කරවන කාරණය වන්නේ මෙම වාහනවලට ගෙවා නිම කිරීමෙන් පසු වාහන නැවත කුලියට ගත් සමාගමටම හිමි වීමයි. මෙම වාහනවලට ඉන්ධන සහ රියැදුරු වැටුප් සඳහා වියදම් දරන්නේත් පළාත් සභාව වන අතර මෙම වාහන නිලධාරීන් සඳහා භාවිත කර තිබේ.

මෙහිදී සුනිල් ජයමිණි මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“මේ වාහන හිටපු මුදල් ඇමැතිවරයාගේ ආයතනයක්‌ සතු වාහන. මා දන්නා තරමින් වාහන 800 ක්‌ පමණ මෙම ක්‍රමයට විවිධ රාජ්‍ය ආයතනවලට අනුයුක්‌ත කර තියෙනවා. අනික මේ පළාත් සභාවට ලබාදී තිබෙන්නේ අලුත්වාහන නෙමෙයි. පාවිච්චි කරන ලද වාහනයි.“

බස්‌නාහිර පළාත් සභාව එහි සභාපති සුනිල් විඡේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ බත්තරමුල්ල පළාත් සභා ගොඩනැඟිලි සංකීර්ණයේ සභා ශාලාවේදී පැවැත්විණි. එහිදී මෙම කරුණු අනාවරණය වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 November 2017 13:54