November 22, 2017

කරළියෙන් එහා: මහින්දගෙන් මෛත්‍රීට දුරකතන ඇමතුමක් - සුසිල් - එස්.බී ගැටෙති

පසුගිය සතියේ දේශපාලන කරළිය බොහෝ කරණා සම්බන්ධයෙන් උණුසුම් වී තිබිණි. ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හිටි හැටියේම දේශපාලනය දෙදරවන කතාවක් කළේය. යුද්ධයේ අවසාන අදියරේ අත්අඩංගුවේ පසු වූ පුද්ගලයන් ආරක්ෂා කිරීම සහ යුද පෙරමුණට සැපයුම් කටයුතු භාරව සිටි හිටපු යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය අපරාධවල නියැලී සිටියේ යයි තමන්ට පැමිණිලි ලැබුන බව එවකට යුද හමුදාපතිවරයා වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

පසුගිය සතිය වන තුරුම බ්‍රසීලයේ තානාපතිවරයා ලෙස කටයුතු කළ ජනරාල් ජගත් ජයසූරියට එරෙහිව යුද අපරාධ චෝදනා නගමින් ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) සංවිධානය විසින් බ්‍රසීලයේ සහ කොලොම්බියාවේ නඩු පවරනු ලැබ තිබේ.
"යුද පෙරමුණේ එයා සටන් මෙහෙයුවේ නෑ. නමුත් ඔහු යටතට පත්වෙනවා අත්අඩංගුවට ගන්නා අය වැනි පිරිස්. එවැනි අයට අදාළව යම් අපරාධ කරනවා කියල මට තොරතුරු ලැබුණා," යනුවෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේය. “ජනරාල් ජගත් ජයසූරිය හමුදාපති පදවියට පත්වීමෙන් අනතුරුවත් ඒ ක්‍රියා පිළිවෙත දිගටම ගිය," බව ද අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

"ඒ අපරාධ කරපුව ගැන මගේ ළඟ තොරතුරු තියෙනව. නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළොත් එතැනදී මම සාක්ෂිකරුවෙක් හැටියට ඒ ගැන දීර්ඝ වශයෙන් විස්තර කරනවා.“ යැයි ෆොන්සේකා මහතා පැවසී ය. යුද්ධය අවසාන වූ පසුව ජනරාල් ජගත් ජයසූරිය මහතා විසින් කරන ලද "අපරාධ" සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට නියමිතව තිබුණු අතර, එහි ආරම්භක පියවර ලෙස ඔහුගේ අධි සහායකවරයා ලෙස ක්‍රියා කළ ලුතිනන්වරයෙකු පවා අත්අඩංගුවට ගන්නා ලද බවත් අමාත්‍ය සරත් ෆොන්සේකා වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ නමුත් එම පරීක්ෂණය ආරම්භ කරන අවස්ථාවේම තමන් හමුදාපති ධුරයෙන් ඉවත් කරන ලද බව ද ෆීල්ඩ් මාෂල්වරයා පැවසීය. "ඔහු කළ අපරාධවලට එවක සිටි ආරක්ෂක ලේකම්, එවකට සිටි පාලකයා, ඔවුන්ගේ ආශීර්වාදය ලැබුන බවත් මට තොරතුරු තියෙනව."
එහෙත් "යුද්ධයේ දී ඉදිරි පෙළේ මෙහෙයුම් කාර්යභාරයක් නොපැවරුණ" බව හිටපු හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතා එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. භූමියේ භටපිරිස්වලට තමා අණදීමේ නොයෙදුණු හෙයින් තමාට එරෙහිව නගන චෝදනාවල පදනමක් නොමැති බව ද ජනරාල්වරයා අවධාරණය කළේය.

"එවැනි විභාගයකට මුහුණ දීම ප්‍රශ්නයක් නොවෙයි. සාක්ෂි දෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ට ඒක කරන්න පුළුවන්. යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුව තියෙනවා. අන්තිම වශයෙන් මේ සියල්ල අවසානයකට ගෙනෙන ලිඛිත ලියවිල්ලක් තියෙන්න ඕන," ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

මහින්දගෙන් මෛත්‍රීට ඇමතුමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරය උත්කර්ෂවත් ලෙස පසුගිය 3 දින බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්විණි. කෙසේ වෙතත් මෙම සංවත්සරය පැවැති දිනය සම්බන්ධව මෙන්ම ස්ථානය පිළිබඳව පවා ඒකාබද්ධ විපක්ෂය මුල සිටම විවිධ විරෝධතාවයන් එල්ල කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය යෙදී ඇත්තේ සැප්තැම්බර් 2 දින වන බැවින් එය 3 දින පැවැත්වීම පිළිගත නොහැකි බව ඒකාබද්ධයේ එක් තර්කයක් විය. විශේෂයෙන්ම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපන්දිනයද යෙදී තිබුණේ සැප්තැම්බර් 3 දිනටය. ඒ අනුව පක්ෂ සංවත්සරයද තම උපන්දිනය දා යොදාගැනීමට ජනපතිවරයා කටයුතු කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය මෙහිදී චෝදනා නැගීය.

ජනාධිපතිවරයා පිළිගැනීමේදී අඩි 4ක් පමණ උසැති මල් මාලයක්ද ඔහුට පලන්දවීමටද සූදානම් වී සිටියහ. එහෙත් උත්සව වේදිකාවට ගොඩ වූ ජනපතිවරයා එම විශාල මල් මාලය තම ගෙ‍ලේ පළඳා ගැනීමට අකමැති විය. “මේක බෙල්ලේ දාගන්න බැහැ. මම අතේ තියාගන්නම්.” යැයි ජනපතිවරයා එම මල් මාලය තමාට පලන්දවීමට පෙරට ආ අමරවීර අමාත්‍යවරයා ඇතුළු පිරිසට සෙමින් පැවැසීය. ඒ අනුව අමරවීර මහතා ඇතුළු පිරිසද මල් මාලය ජනපතිවරයාගේ ගෙලෙහි නොපළඳවා අතට පිළිගැන්වීමට පියවර ගත්හ.
හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සුපුරුදු ලෙස මෙම උත්සවයට සහභාගි වූයේද තරමක් ප්‍රමාදවය. ඒ වන විට උත්සවය ආරම්භ වී ආගමික වතාවත්ද පැවැත්වෙමින් තිබිණි. ඒ වන විට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට වෙන් කර තිබූ ආසනයේ අසුන්ගෙන සිටියේ හිටපු අගමැති දිමු ජයරත්න මහතාය. චන්ද්‍රිකා මහත්මිය වේදිකාවට ගොඩවෙනු දුටු ජයරත්න මහතා වහා එම අසුනින් නැගිට වෙනත් අසුනකට යාමට උත්සාහ කළේය. “නැහැ කමක් නැහැ ඔබතුමා ඔහොම ඉන්න, මම වෙන පුටුවකට යන්නම්.” යැයි කියූ චන්ද්‍රිකා බණ්ඩාරනායක පසුව අසල තිබූ වෙනත් අසුනක හිඳගත්තාය.

මෙවර ශ්‍රීලනිපයේ සංවත්සරයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි නොවීය. නමුත් සංවත්සරය දින උදෑසන, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දුරකථනයෙන් අමතා, උපන්දින සුබ පැතුම් එක්කිරීමට නම් රාජපක්ෂ මහතා අමතක නොකළේය. රාජපක්ෂ මහතා හා සිරිසේන මහතා අතර එම දුරකථන සංවාදය ඉතා කෙටි වුවද, සුහද මට්ටමේ සංවාදයක් විය. දේශපාලන කරුණු එහිදී සාකච්ඡා නොවුණු අතර ජනපතිගේ උපන්දිනයට මෙන්ම ශ්‍රීලනිපයේ සංවත්සරයටද රාජපක්ෂ මහතා මෙහිදී සුබ පැතීය. මේ අතර නාමල් රාජපක්ෂ මහතාද තම “ට්විටර්” ගිණුම හරහා එදින ජනපතිවරයාගේ උපන්දිනය වෙනුවෙන් සුබපැතුම් එක්කර තිබිණ.

සුසිල් - එස්.බී ගැටුමට මෛත්‍රීට කේන්ති යයි

මේ අතර විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (6) දහවල් 12ට පමණ ජනපති ‍ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. අමාත්‍ය මණ්ඩල රැස්වීම පසුගිය 5 වැනිදා පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුණද එදින රජයේ නිවාඩු දිනයක් වූ බැවින් මෙසේ විශේෂ රැස්වීමක් කැඳවීමට ජනාධිපතිවරයා කටයුතු යොදා තිබිණි. පැය භාගයකට ආසන්න සුළු වෙලාවක් පමණක් පැවැති මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම, ආරම්භයේ සිටම උණුසුම්කාරී තත්ත්වයක් පෙන්වීය. රැස්වීම අතරතුර සුසිල් ප්‍රේමජයන්ත සහ එස්.බි. දිසානායක යන අමාත්‍යවරුන් අතර දැඩි මත ගැටුමක් ඇතිවීම ඊට හේතු විය. පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්‍ෂේත්‍ර නිලධාරීන් ඡන්දයට වසරකට පෙර රාජකාරියෙන් ඉවත්විය යුතු බවට පළාත් පාලන මැතිවරණ පනතට ගෙනෙන ලද සංශෝධනය මුල් කරගනිමින් ඇමැතිවරුන් දෙදෙනා අතර මෙම මත ගැටුම ඇතිවිය.

“ඡන්දයට අවුරුද්දකට පෙර, සමෘද්ධි නිලධාරීන් මාරු වෙන්න ඕනේ කියන නීතිය ගැටලුසහගතයි. ඒ නීතිය ලිහිල් කරන්න ඕනේ. ඒකෙන් අපට පාඩු සිද්ධ වෙනවා” යැයි සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී දැඩි ස්වරයකින් පැවැසීය. එස්.බි. දිසානායක මහතා මේ ප්‍රකාශයට තදින්ම විරුද්ධ වූ අතර කිසිසේත්ම එය කළ නොහැකි බව ප්‍රකාශ කළේය.

“අවම වශයෙන් මාස තුනකටවත් මේ කාල සීමාව අඩු කළ යුතුයි.” සුසිල් ප්‍රේමජයන්ත මහතා නැවත පැවැසීය. එහෙත් එස්.බි. දිසානායක මහතා එම යෝජනාවද ප්‍රතික්‍ෂේප කළේය. අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා, දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මෙන්ම සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාද මෙහිදී සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රකාශයට එක හෙළා විරුද්ධත්වය පළ කර සිටියහ.
මේ අනුව අමාත්‍ය මණ්ඩල රැස්වීම තුළ මෙම මත ගැටුම ක්‍රමයෙන් උග්‍ර අතට හැරෙන්නට විය. සුසිල් ප්‍රේමජයන්ත මහතාද තම මතය වෙනස් කර ගැනීමට කිසිසේත් එකඟ නොවන බවක් පෙනෙන්නට විය. කෙසේ වෙතත් තත්ත්වය සමනය කිරීම සඳහා ජනපතිවරයාටම මැදිහත්වීමට සිදුවිය. “මේ ගැන දැන් මෙතන වාද කරන එකේ තේරුමක් නැහැ. මේ විවාදය නවත්න්න” ජනපතිවරයා මෙහිදී තරමක උස් හඩින් ප්‍රකාශ කළේය.

“මේ ගැන අපි පක්ෂ නායක රැස්වීමේදී කතා කරලා තීරණයක් ගමු.” යැයිද මත ගැටුමට නිමාවක් තබමින් ජනපතිවරයා වැඩිදුරටත් පැවැසීය. අනතුරුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළාත් සභා කිහිපයකදී පරාජයට පත් වීම සහ ඒ සම්බන්ධයෙන් ඇති වූ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විශේෂයෙන් සාකච්ඡාවට ලක්විය.

එසේම පසුගිය සඳුදා ඉදිරිපත් කෙරුණු රජයේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳවද මෙම රැස්වීමේදී කෙටියෙන් සාකච්ඡා කෙරිණි. පුංචි ඡන්දය සඳහා තවමත් නිශ්චිතවම දින වෙන්වී නොමැති නමුත් මැතිවරණ කොමිසම නම් මේ දිනවල ලහි ලහියේ මැතිවරණ කටයුතුවලට සූදානම් වෙමින් සිටී. නව මැතිවරණ ක්‍රමයේ ඇති තවත් සුවිශේෂීත්වයක් පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ අනාවරණය කළේය.

ඔහුට අනුව ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී, ඡන්ද ගණන් කිරීම සිදුවන්නේද ඡන්ද ‍පොළේදීමය. මීට පෙර නම් ඡන්ද පෙට්ටි, ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යන නමුත් නව ක්‍රමය යටතේ එවැන්නක් සිදුනොවන බව දේශප්‍රිය මහතා සඳහන් කළේය. තැපැල් ඡන්ද පවා ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන විත් ගණන් කරන බවත් දේශප්‍රිය මහතා මෙහිදී විස්තර කළේය.

ජාතික ආණ්ඩුවේ කාලය ඉවරයි. ඇමතිවරු 30ට අඩුකළ යුතුයි

ජනතා විමුක්ති විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම පසුගිය හතරවෙනිදා රැස්වූයේ ඉදිරි පාර්ලිමේන්තු සතිය තුළදී පාර්ලිමේන්තුවේ කාර්යභාරයන් පිළිබඳව සාකච්ඡුා කිරීම සඳහාය. මෙහිදී විශේෂයෙන් අවධානය යොමු වූයේ ජාතික ආණ්ඩුවේ වසර දෙකක කාලය සැප්තැම්බර් 02න් අවසන්වීම, විගණන පනත, දේශීය ආදායම් පනත, 20වැනි සංශෝධනය ආදී කරුණු ගැනය. ”ආණ්ඩුවට තවදුරටත් ජාතික ආණ්ඩුව ලෙස පෙනී ඉන්න පුළුවන්කමක් නැහැ. මොකද මේ ජාතික ආණ්ඩු එකඟතාවයට දැන් වසර දෙක සම්පූර්ණ වෙලා ඉවරයි. ඒ නිසා දැන් ආණ්ඩුවේ ඉන්න ඇමති ධුර ගණන 30ට බස්සන්න ඕනෑ.” අනුර දිසානායක විශේෂ කරුණක් ඉදිරිපත් කළේය. ”ඔව්, එජාපයටයි, එජනිසයටයි ජාතික ආණ්ඩුවක් ඕන වුණේ ඇමති ධුර වැඩිකර ගන්න. ජාතික ආණ්ඩුවට මුවා වෙලා තමයි ඇමති ධුර 30 සිට 48 දක්වාත් නියෝජ්‍ය රාජ්‍ය ඇමති ධුර 40 සිට 45 දක්වාත් වැඩි කරගත්තේ. දැන් මේ අමතර ඇමති ධූර ව්‍යවස්ථාවට පටහැණියි. මේ ගැන පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරවන්න ඕනෑ” විජිත හේරත් කියා සිටියේය. ”අවුරුදු ගාණක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු ඔස්තාර්ලා ඔය පක්ෂ දෙකේ ඉන්නේ. ඒත් තමන් ගහපු ගිවිසුම් ගැන මතකයක් නැහැ. පාර්ලිමේන්තුවේ කටයුතු ගැන ගාණක් නැහැ. පාර්ලිමේන්තුවට ඇවිත් කාලා බීලා වරප‍්‍රසාද ටික අරගෙන ඉන්නවා. පුදුම ආණ්ඩු මේවා” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය. ”ඒ විතරක්ද? මහ ලොකුවට දේශපාලන ජීවිතයට අවුරුදු හතළිහයි පනහයි කියලා සමරනවා. අගමැතිටයි ජනාධිපතිටයි එකතුවෙලා 20වැනි සංශෝධනය හදාගන්න බැරි වුණා. ඒකෙත් අඩුපාඩු ගොඩයි. අඩුම තරමේ තමන්ගේ පක්ෂ දෙකේ පළාත් සභා මන්ත‍්‍රීලා ටික ඒ සංශෝධනයට එකඟ කර ගන්න බැරි වුණා.” බිමල් රත්නායක කීවේය. ”ඔව්, ඒ සංශෝධනයෙත් අඩුපාඩු ගොඩයි. පළාත් සභා විසුරුවන බලය පාර්ලිමේන්තුවට ගන්නවා කිව්වට ඒක මැතිවරණ පවත්වන කාල වකවානුවක් ගැන නිශ්චිත නැහැ.” විජිත හේරත් කීවේය.

විගණන පනත ජවිපෙ පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවකින් එයි

මේ අතර ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ අවධානය විගණන පනත පිළිබඳවද යොමු වී තිබුණි. ”මේ ආණ්ඩුවේ ප‍්‍රධාන මැතිවරණ පොරොන්දුවක් තමයි ජාතික විගණන පනත සම්මත කරගන්න එක. දින 100 වැඩපිළිවෙළෙත් නිශ්චිතව ඒක ඇතුළත් කරලා තිබුණා. නමුත් දැන් අවුරුදු දෙකකට වැඩියි. තවම විගණන පනත නැහැ. මේක ආණ්ඩුව ගේන පාටක් නැහැ. පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් විදියට විගණන පනත පාර්ලිමේන්තුවට දාමු” සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා යෝජනා කළේය. ”ඒක හොඳ යෝජනාවක්. ආණ්ඩුව මේක කමිටු දාලා එක එක සංශෝධන ගේනවා. මේ විදියට සංශෝධනය කරලා මේ විගණන පනත ගෙනත් වැඩක් නැහැ. මේකට ආණ්ඩුවේ ඇමතිවරුයි නිලධාරී කණ්ඩායමකුයි තමයි විරුද්ධ. වංචා දූෂණවලට කැමති අය විගණන පනතට කැමති නැහැ. ඒක තමයි ඇත්ත කතාව” නිහාල් ගලප්පත්ති මන්ත‍්‍රීවරයා කියා සිටියේය. ”විගණන කොමිසම හදලා තිබුණට වැඩක් නැහැ, පනත නැතුව ඒකට ක‍්‍රියාත්මක වෙන්න බැහැ. අනෙක් බරපතළ කාරණය තමයි විගණන කොමිසමේ නිලධාරීන්ට ලක්ෂ ගණන් පඩි දෙනවා වැඩක් කෙරෙන්නේ නැහැ. මේ අවුරුද්ද ඉවර වෙනකොට විගණන කොමිසම විගණනයට ලක්කරන්න වෙනවා වැඩ නොකර පඩි ගත්තා කියලා. ඒ නිසා අපි මේක පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් විදියට පාර්ලිමේන්තුවට දාමු.” ජවිපෙ නායකයා කියා සිටියේය. ඒ අනුව සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාගේ යෝජනාවක් ලෙස විගණන පනත 07වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කෙරිණි.

බදු පනතට ජවිපෙන් සංශෝධන 70ක්

”ආණ්ඩුව මේ සතියේ පාර්ලිමේන්තුවට දාන බදු පනත නිසා සියලූම දෙනාට විශාල බදුබරක් පැටවෙනවා. ඇත්තම ගත්තොත් ක්‍ෂද්‍ර ජීවීන් විතරයි මේ බදු පනතට අහුවෙන්නේ නැත්තේ. බරපතළම කාරණය තමයි මේ ගැන ජනතාව දැනුවත් නැතිකම. කලාකරුවන්ට මීට කලින් ලැබුණ සියලූම බදු සහන කපලා. නමුත් කලාකරුවන් මේ ගැන දන්නේ නැහැ. අර්ථ සාධක අරමුදලට බදු වැඩි කරලා. ආදායම් බදු අයකරන වාර්ෂික වත්කම් සීමාව ලක්ෂ දොළහමාරේ ඉඳලා ලක්ෂ හයට අඩු කරලා. ගොවියෝ ත‍්‍රීවිල් රථ රියදුරෝ වැනි ඉතාම පහළ ආදායමක් තියෙන අයටත් බදු ෆයිල් එකක් එනවා.” බිමල් රත්නායක කීවේය. ”මේ බදු පනත ආණ්ඩුව කඩිමුඩියේ ගේන්න හැදුවා. නමුත් අපි මුල ඉඳලා මේකට විරුද්ධ වුණා. සම්මන්ත‍්‍රණ කළා. පත‍්‍රිකා බෙදුවා. දේශීය ආදායම් දෙපාර්තිමේන්තුවේ සේවකයින් වෘත්තීය ක‍්‍රියාමාර්ග ගත්තා. ඒ නිසා පොඩි කාලයක් හරි ආණ්ඩුවට ප‍්‍රමාද කරන්න සිද්ධවුණා. නමුත් ආණ්ඩුව හදන්නේ කඩිමුඩියේ සම්මත කරගන්න.” සුනිල් හඳුන්නෙත්ති කීවේය.

”ආණ්ඩුවේ මන්ත‍්‍රී ඔළුගෙඩි ටික පෙන්නලා මේක සම්මත කරගනී. නමුත් ලේසියෙන්ම සම්මත කරගන්න දෙන්න බැහැ. අපි පුළුවන් විදියට සංශෝධන ඉදිරිපත් කරන්න ඕනෑ. සමහර බදු සහන තිබුණ ඒවා පවත්වාගන්නත් අහිතකර දේවල් ඉවත් කරන්නත් බලපෑමක් කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් සංශෝධන හදන්න ඕනෑ.” අනුර දිසානායක යෝජනා කළේය. ඒ අනුව ජවිපෙ මන්ත‍්‍රී කණ්ඩායම ඒ වනවිට සකස් කර තිබූ සංශෝධන පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡුා කළේය. අනතුරුව තවත් ඇතුළත් විය යුතු සංශෝධන ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් සමඟ සාකච්ඡා කොට සකස් කිරීමට සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාට වගකීම පැවරිණි. මේ අනුව බදු පනතට සංශෝධන 70ක් පමණ ඉදිරිපත් කිරීමට ජවිපෙ ලියවිල්ලක් සකස් කළේය.

රන් පදක්කම දිනූ ආසියානු අයෝමය පුරුෂයා පිළිගැනීමට විජිතට ආරාධනයක්

දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වුණු 51වෙනි ආසියාතික කායවර්ධන තරගාවලියේ කිලෝග‍්‍රෑම් 100ට වැඩි බර පංතිය යටතේ තරගයට ඉදිරිපත්වුණු ලූෂන් පුෂ්පරාජ් රන් පදක්කම දිනාගැනීමට සමත් විය. කුඩා කළ සිට කාය වර්ධනය සඳහා උනන්දුවක් දැක්වු ඔහු මෙම රන් පදක්කම දිනාගත්තේ ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩා අමාත්‍යංශයේ හෝ ශ‍්‍රී ලංකාවේ වෙනත් කිසිදු ක‍්‍රීඩාවට සම්බන්ධ ආයතනයක සහයක් නොමැතිව වීම විශේෂත්වයකි. ජා ඇල කල්එළිය ප‍්‍රදේශයේ ජීවත් වූ ඔහු ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කළ තරුණයෙක් විය. අගහිඟකම් නිසාම ඕමානයේ රැකියාවකට විදෙස්ගත වූ ඔහු එහිදී තමාට හමු වූ අනුග‍්‍රාහකයෙකු මාර්ගයෙන් මෙම තරගය සඳහා ඉදිරිපත් විය. ඔහු ජය ලබා ලංකාවට පැමිණි පසු ප‍්‍රදේශවාසීන් විසින් සංවිධානය කළ උත්සවයකට ජවිපෙ මන්ත‍්‍රී විජිත හේරත්ටද ආරාධනයක් ලැබී තිබිණි. ”මන්ත‍්‍රීතුමාට ආරාධනා කළේ විශේෂ හේතුවක් නිසයි. ඔබතුමා පළාත් සභාවේ ඉන්න කාලේ 1999දී විතර ප‍්‍රතිපාදනවලින් දුන්න කායවර්ධන ක‍්‍රීඩා භාණ්ඩවලින් තමයි මේ පුෂ්පරාජ් පුහුණුවීම් කළේ. අපිට ඒක මතක තිබුණා. ඒ නිසයි ආරාධනා කළේ.” ප‍්‍රදේශවාසියෙක් කියා සිටියේය.

“මන්ත‍්‍රීතුමා අපේ රටේ ක‍්‍රීඩා අමාත්‍යංශය ගැන නම් කතා කරලා වැඩක් නැහැ. මුල ඉඳලම මෙයාට කැපිලි. විවිධ චෝදනා දාලා කැපුවා. පදක්කම ගත්තට පස්සේ අපි අමාත්‍යංශයට කතා කළා. ඒත් ගණන් ගත්තේ නැහැ.” තවත් ප‍්‍රදේශවාසියෙක් කියා සිටියේය. ”අපේ රටට ලොකු කීර්තියක් ගන්න තිබුණ අවස්ථාවක් ක‍්‍රීඩා අමාත්‍යංශය නැති කරගත්තා. ලංකාවට එන වෙලාවේ පිළිගන්න ගියෙත් ගමේ කට්ටිය. කණගාටුවට කරුණ මන්ත‍්‍රීතුමා, පුෂ්පරාජ්ට අනුග‍්‍රහය දුන්නේ පිටරට ආයතනයක් නිසා කුසලානේ අවුරුද්දක් යනකල් ලංකාවට ගේන්න බැහැ.” තවත් ප‍්‍රදේශවාසියෙක් කණගාටුවෙන් කියා සිටියේය. ”ලංකාවේ ක‍්‍රිකට්වලට අත්වෙලා තියෙන ඉරණම බැලූවාම අනෙක් දේවල් ගැන මොනවා කතා කරන්නද? ලංකාවේ හැම දේකටම දක්ෂයෝ ඉන්නවා. ඒ සම්පත්වලින් රට දියුණු කරන්න රටට හොඳ ආණ්ඩුවක් නැහැ. මේ ආණ්ඩුවලට බැන බැන ඉන්නේ නැතුව දැන් කරන්න තියෙන්නේ හොඳ ආණ්ඩුවක් හදන එක.” විජිත හේරත් කියා සිටියේය.

Rate this item
(2 votes)
Last modified on Friday, 08 September 2017 18:04