April 20, 2024
Main

Main (651)

මහජන උපයෝගීතා කොමිෂන් සභාව අහෝසි කිරීමට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා යැවූ ලිපිය පිළිබඳ ඊයේ (07) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඇමැතිවරු ගණනාවක් අදහස් දැක්වූ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද(08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ කාර්යභාරය කුමක්ද, එය ඉටු නොවේනම් ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග කුමක්ද යන්න දීර්ඝ සාකච්ඡාවක් සිදු කළ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් අදාල කොමිෂන් සභාව අහෝසි කරනවානම් අහෝසි කළ යුත්තේ ලිපියකින් නොවන බවත් එය පනතක් මගින් අහෝසි කළ යුතු බවත් පෙන්වා දෙන ගම්මන්පිල මහතා එනිසා එය අහෝසි කිරීමක් සිදුවී නොමැති බවද කියා සිටියේය.

නමුත් ඒ පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ වීමක් පමණක් සිදු කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එහිදී කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අරමුණ ඉෂ්ට වෙනවාද යන්න ප්‍රශ්නයක් බවත් එය අහෝසි කිරීමට නම් ලිපියක් බැරි බවත් එය කල හැක්කේ පාර්ලිමේන්තුවට ගෙන එන පනතකින් පමණක් බවත්ය.

වාසුගේ විරෝධය

මේ අතර මහජන උපයෝගීතා කොමිෂන් සභාව අහෝසි කිරීමට ගෙන ඇති තීරණයට අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තම නොසතුට පළකර තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ එම කොමිසම පවතින්නේ අග්‍රාමාත්‍යවරයා යටතේ බැවින් ඒ සම්බන්ධයෙන් තීන්දු ගත යුත්තේ ද අගමැතිවරයා විසින් බවයි.

ජනාධිපති කාර්යාලය විසින් කොමිසම සම්බන්ධයෙන් තීන්දු ගත නොහැකි බවද එකී ලිපියේ දැක්වේ.

මෙම තත්ත්වය මත ජනතාවගේ දැඩි විරෝධයක් ආණ්ඩුවට එල්ලවිය හැකි යැයි ද ඇමතිවරයා තම ලිපියේ අනතුරු අඟවා ඇත.

ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා විසින් මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන ලෙස මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත පසුගියදා ලිපියක් යොමු කර තිබිණි.

එහි සේවකයන් වෙනත් ආයතනවලට අනුයුක්ත කරන ලෙසද එකේ ලිපියෙන් දන්වා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලි විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට අනතුරු අඟවමින් පවසා ඇත්තේ 2021 වසර මිනිසා මුහුණ දෙන 'මහා ව්‍යසනකාරීම වසර' වනු ඇති බවයි.

ලෝකයාම කොරෝනා වෛරසයට එරෙහිව සටනට පිවිසි සිටින අවස්ථාවේ ලෝකයේ ආහාර නොමැතිව සාගතයට ගොදුරු වූවන් මේ වනවිටත් මිලියන 270ක් දක්වා වර්ධනය වී ඇති බවට ඔහු සඳහන් කර තිබුණි. 

සමහර රටවල් මේ වනවිටත් එම අභාග්‍ය සම්පන්න තත්ත්වයට පත්ව ඇති බවත්, තවත් රටවල් එහි උපරිමය දක්වා යමින් සිටින බවත් ඔහු පවසා තිබුණී.

ඔහු පෙන්වා දෙන පරිදි 2021 වසරේ දී ලෝක ආර්ථීකයට දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබේ.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ලෝකය දැනටමත් කොරෝනා අර්බුදය හමුවේ ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 19ක් වැය කර ඇති බවයි.

එම මුදල සැබැවින්ම 2021 වසරේ නැවත ලැබීමට ඇති හැකියාවක් නොමැති බවද ඔහු පෙන්වා දෙන අතර එය ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් වනු ඇති බව ඔහු අනතුරු අඟවා ඇත.

ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ "අපි දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භයේ සිට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දරුණුතම මානුෂීය අර්බුද ඇතිවන වර්ෂය ලෙස 2021 දෙස බලමින් සිටිමු." යනුවෙනි.

කොරෝනා වසංගතය එරෙහිව ප්‍රතිකාර සොයා ගත්තත් එයින් පිරිස් සුවයට පත් වුවත්, ඉදිරියේ දී පැමිණෙන ආර්ථික පරිහානිය රෝගයට වඩා වැඩි විනාසයක් ලෝකයාට සිදුවනු ඇති බවද ඔහු අවධාරණය කර තිබේ.

ලෝකයේ සමහර රටවල පවතින දේශපාලනික ගැටුම්, යුද්ධයන් සහ වෙනත් පරිහානි නිසා එම රටවලට මෙම අර්බුදය තවත් දැඩි ලෙසම බලපානු ඇති බවට සඳහන් වෙයි.

අගෝස්තු මාසයේදී ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා කියා සිටියේ මන්දපෝෂණයට මුහුණ දෙන පුද්ගලයින්ගේ වර්ෂය වසර අවසානයේදී සියයට 80 කින් ඉහළ යා හැකි බවයි.

මේ අතර, අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් 118 ක, වයස අවුරුදු පහට අඩු ළමුන් මිලියන 1.2 ක් ඉදිරි මාස හය තුළ මිය යා හැකි බව යුනිසෙෆ් මැයි මාසයේ දී අනාවැකි පළ කළේය.

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා අටළුගම වැනි ප්‍රදේශවලදී ලැබෙන ජනතා සහාය ඉතා අවම බව පෙනී යන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එවන් ප‍්‍රදේශ හුදෙකලා කිරීමෙන් ඔබ්බට ගොස් පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළ යුතු බවද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

එසේ කළහොත් ආවේක්ෂණ ක්‍රියාවලිය කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පහසු වන බව ද ඔහු සඳහන් කළේ ය.

එසේ නොකරන්නේ නම් වෛරසය කොතැනින් අවසන් වී දැයි කිව නොහැකි බවද ඒ මහතා අවරධාරණය කරයි.

බලාපොරොත්තු නොවූ ලෙස වෙනත් දිස්ත‍්‍රික්කවලින්ද ආසාදිතයන් වාර්තා වීම ඉහල ගොස් ඇති බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

කෝවිඩ් ආසාදනවලින් සියයට 50ක් දක්වා හඳුනා ගැනීමට Rapid Test Kit හෙවත් වේගවත් කෝවිඩ් පරීක්ෂණ අසමත්ව තිබෙන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා එංගලන්ත රජයේ විශ්ලේෂණයක් උපුටා දක්වමින් මෙසේ සදහන් කර තිබේ.

සංචරනය සදහා තිබූ සීමා ලිහිල් කිරීමත් සමග විශ්ව විද්‍යාල සිසුන් නිවෙස් බලා යාමට පටන් ගැනීමට සහ වැඩිහිටි නිවාසවල තම ඥාතීන් බැලීමට මිනිසුන්ට හැකි වන පරිදි වේගවත් පරීක්ෂණ භාවිතා කිරීමට ද, සංචාර වලදී සමාජ දුරස්ථභාවය අවම කිරීමට එක්සත් රාජධානිය පුරා සැලසුම් ක්‍රියාත්මක විය. කෙසේ වෙතත්, නිශ්චිත ලෙස රෝගීන් හදුනාගැනීමට වේගවත් කෝවිඩ් පරීක්ෂණ උපකරණ අසමත් වීම නිසා රෝග ලක්ෂණ රහිත කෝවිඩ් වාහකයන් විසින් එම වෛරසය වැඩිහිටි නිවාසවලට හෝ තම නිවෙස් වලට ගෙන ඒමේ අවදානම වැඩි කර ඇත.

විශේෂඥයින් විසින් උපාංගවල යෝග්‍යතාවය සහ ආරක්ෂාව පිළිබඳව මේ වන විට ප්‍රශ්න කර ඇත. සෞඛ්‍ය හා සමාජ සත්කාර දෙපාර්තමේන්තුව (ඩීඑච්එස්සී) විසින් නිකුත් කරන ලද ලියවිල්ලක සඳහන් වන්නේ ලිවර්පූල්හි සිදුකල පරීක්ෂණවලින් අනාවරණය වූයේ, PCR පරීක්ෂණවලින් හදුනාගත් දස දෙනෙකුගෙන්, රෝගීන්ගෙන් 05ක් පමණක් මෙම Rapid Test Kit හෙවත් වේගවත් කෝවිඩ් පරීක්ෂණවලින් හදුනාගත් බවයි.

මීට පෙර සිදුකල රසායනාගාර යෝග්‍යතා ඇගයීම් වලදී, Rapid Test Kit හෙවත් වේගවත් කෝවිඩ් පරීක්ෂණ වලින් පුද්ගලයෙකු තුළ ඉහළ මට්ටමේ වෛරසයක් ඇති විට, ආසාදනවලින් සියයට 5 ක් පමණක් හදුනා ගැනීමට අපොහොසත් වන බවට යෝජනා කර තිබුණි.

පර්යේෂකයන් අතින් සිදුවන අත්වැරදීම් වලට (Human Error) එතරම් ඉඩක් නොමැති පාලිත පරිසරයක රසායනාගාර පරීක්ෂණ සිදු කිරීම මෙම විෂමතාවයට හේතුව විය හැකි බව එම වාර්තා වල සදහන් වේ. රසායනාගාර අවශ්‍ය PCR පරීක්ෂණ ලෝකයේ රන් ප්‍රමිතිය හෙවත් Gold Standard  පරීක්ෂණ ලෙස සලකනු ලබන අතර, කොවිඩ් -19 රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් හට එය සිදුකරනු ලැබේ.

බ්‍රිතාන්‍ය රජයේ දත්ත වලට අනුව මෙම PCR පරීක්ෂණ සාර්ථක බවට පෙන්වා දී ඇත. “මෙම පරීක්ෂණය රජයේ සැලසුම් සඳහා සුදුසු නොවේ” යැයි බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ ජෛව විද්‍යාත්මක විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් සහ කොවිඩ් -19 පරීක්ෂණ පිළිබඳ කොක්රාන් සහයෝගීතා පර්යේෂණයේ ප්‍රධානී ජෝන් ඩීක්ස් පැවසීය.

යමෙකුට කෝවිඩ් හෝ ‘බෝ නොවන’ බව තීරණය කිරීම සඳහා මෙම පරීක්ෂණ භාවිතා කිරීම මුළුමනින්ම අනාරක්ෂිත බව ඔහු සදහන් කර ඇති බවට එක්සත් රාජධානියේ මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහු තවදුරටත් පවසා ඇත්තේ Rapid Test Kit හෙවත් වේගවත් කෝවිඩ් පරීක්ෂණ ඔෟෂධයක් ලෙස සැලකුවහොත්, මෙය වහාම භාවිතයෙන් ඉවත් කග යුතු බවයි.

ධම්මික බණ්ඩාර නම් වෙද මහතෙකු නිෂ්පාදනය කරන ලද කොරෝනා සඳහා සාර්ථකම බෙහෙත ලෙස හැඳින් වූ ඖෂධය නීතිවිරෝධීව නිෂ්පාදනය කළ එකක් බවත්, ඒ ඖෂධය හරහා ජනතාවට අහිතකර ප්‍රතිවිපාකයන් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස වගකීම භාර නොගන්නා බව ජ්‍යෙෂ්ඨ පශ්චාත් උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පවසා තිබේ.

එමෙන්ම එම සංගමය අවධාරණය කර තිබෙන්නේ එම වෙද මහතා යැයි කියා ගන්න පුද්ගලයා ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචි වී නොමැති බවයි. 

එවැන්නෙකු මෙවැනි ඖෂධයක් නිෂ්පාදනය කර තිබීම හා එය ප්‍රතිකාර සඳහා යොමු කිරීම ගැටලු සහගත බවද එම නිලධාරී සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර නම් මෙම පුද්ගලයා විසින් නිෂ්පාදනය කර තිබෙන ඖෂධය සඳහා යොදාගත් වට්ටොරුව ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ යෝග සංග්‍රාහ කමිටුවේ ලියාපදිංචි කළ එකක් නොවන බවද ජ්‍යෙෂ්ඨ පශ්චාත් උපාධි ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අවධාරණය කර තිබේ.

එම නිලධාරී සංගමයේ සභාපති වෛද්‍ය චමල් ආර්. කුලතිලක මහතා පෙන්වා දෙන්නේ මෙලෙස ලියාපදිංචි නොකළ ඖෂධයක් පිළිගත නොහැකි බවයි.

මීට පෙර මෙම ඖෂධය නිෂ්පාදනය කළ වෙද මහතා පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුණේ "මෙම බෙහෙත රාවණා රජු කල  සිට පැවතෙන්නක්. පෙර සිටි මහරහතුන් පවා වසංගත රෝග සඳහා පාවිච්චි කර තිබෙන වටිනා බෙහෙතක්. අත්දුටු බෙහෙතක්. එම නිසා රාජ්‍ය හා සෞඛ්‍ය සම්බන්ධ ආයතනවල අනුග‍්‍රහයෙන් බෙහෙතට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දුන්නොත් දින හතරක කාලයක් තුළදී දැනට ලංකාවේ සිටින කොරෝනා රෝගීන් සුව කිරීමට මට හැකියාවක් තියනවා" යනුවෙනි.

තමා ආනන්ද විද්‍යාලයේ කෙඩෙට් සාජන් ධුරය දරද්දී තමාගේ යටතේ එහි සිටි කෝප්‍රල් අද මෙරට නීතිය හා සාමය කටයුතු පිළිබඳ ඇමැති වී සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් කරන ලදී.

මගේ යටතේ සිටි කෝප්‍රල් අද දියුණු මට්ටමකට පැමිණ මෙවැනි තැනක සිටීම ගැන තමා සතුටු වන බවද ෆොන්සේකා මහතා සඳහන් කරන ලදී.

සරත් ෆොන්සේකා මහතා එසේ නව පොලිසිය භාර මහජන ආරක්ෂක අමාත්‍යවරයාව හඳුන්වා දෙමින් සුභ පතක් දී සරත් වීරසේකර මහතාද සභාවේ සිටීම විශේෂත්වයකි.

කොවිඩ් වසංගතය හමුවේ බලපෑමට ලක්ව ඇති මෙරට සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමේ වැදගත්කම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

ඔහු මේ බව පැවසුවේ ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කළ 2020 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි.

ඔහු පැවසුවේ, සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් වෛද්‍ය ප්‍රජාව සමග එක්ව හැකි ඉක්මණින් සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමේ සැලසුමක් සකස් කළ යුතු බවය.

එම සැලැස්ම සියලුම සෞඛ්‍ය නියාමනයන්ට අනුකූල විය යුතු බවත් මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වලින් දුරස්ව සංචාරකයන්ට ශ්‍රී ලංකාව තුළ  ප්‍රීතිමත් නිවාඩුවක් සහතික කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය. 

"රැඳී සිටීමේ අවම කාලයක් පැනවීමෙන් හා වැඩියෙන් වියදම් කරන සංචාරකයන් ආකර්ශණය කර ගැනීම තුලින් සංචාරක ව්‍යාපාරයේ ඉපැයීම් උපරිම කිරීමෙන් ආර්ථිකයට පුළුල් ප්‍රතිලාභ අත්කර ගැනීමට පිළිවන," යනුවෙන් ද ඔහු පැවසීය.

විශේෂයෙන් පළමු වටයේදී සංචාරකයන්ගේ පැමිණීම් සීමා කිරීම අවශ්‍ය විය හැකි බැවින් අප පළමුව රට විවෘත කළ යුත්තේ අපට ආකර්ශණය කර ගත හැකි, වැඩියෙන් වියදම් කරන සංචාරකයන් සඳහාය.එමගින් ශ්‍රී ලංකාව ඉහළ පෙළේ සංචාරක ගමනාන්තයක් ලෙස නැවත වරක් ස්ථාපනය කළ හැකි අතර, ඒ ඔස්සේ කර්මාන්තයට දිගුකාලීනව ඉහළ ආදායමක් උපයාගත හැකිය.

2020 ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතා ජනාධිපතිවරයා විසින් සිදුකළ සම්පූර්ණ කථාව පහතින්.

“2020 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක සැසියේදී අද උදෑසන ඔබ ඇමතීමට ලැබීම මට මහත් සතුටක්. මේ සමුළුවේ සමාරම්භක සැසියේ ප්‍රධාන කථිකයා ලෙස සහභාගි වීම පිළිබඳව ඉන්දීය ජනරජයේ මුදල් හා ආයතිනක කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ශ්‍රිමතී නිර්මලා සිතාරාමන් මැතිණියට මාගේ අවංක ඇගයීම පළ කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.

දැනට පැතිරී යන ගෝලීය වසංගතය සැලකිල්ලට ගනිමින් මේ වසරේදී මේ සමුළුව නිරූපිත වේදිකාවක සිට පැවැත්වීමට ලංකා වාණිජ මණ්ඩලය ගෙන ඇති පියවර ප්‍රශංසනීයය. වෛරසයේ දෙවන රැල්ලෙන් ඇති වන තර්ජනය පාලනය පිණිස පසුගිය සති හය පුරා රජය දැඩි අවධානයක් යොමු කළේය. කෙසේ වුවද, වසංගතයේ මුල් අවධියේදී මෙන් නොව දැන් ඒ පිළිබද දැනුවත්භාවය ඉහළය. එක් අතකට වෛරසය පාලනය කරන අතරම අනෙක් අතට අඛණ්ඩව ආර්ථික ක්‍රියාකාරකම් සහතික කිරීම යන ද්විත්ව අවශ්‍යතා වඩා හොඳින් සමතුලිත කර ගැනීමට අපට මින් අවස්ථාව සැලසේ. අප සියලු දෙනාම මේ නව සාමාන්‍යයට අනුගත විය යුතුය.

එක් අතකට මේ නව සාමාන්‍ය තත්ත්වයෙන් යහපත් ප්‍රතිවිපාක ලැබී ඇත. එමගින් නව ක්‍රියාකාරකම් රැසකට හුරුවීමට අපට බල කර ඇත. දැනුම් සේවකයන්ට නිවසේ සිට රාජකාරී කටයුතුවල නිරත වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. සේවකයන් භෞතිකව පැමිණීම අවශ්‍ය වන්නා වූ කාර්යාලවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය මාර්ග සම්පාදනය කිරීම තුළින් අවම කාර්ය මණ්ඩලයකින් රාජකාරී ඉටු කර ගන්නා වාතාවරණයක් බිහිවී ඇත. සැපයුම් ගැටළු විසඳීම සදහා නව තාක්ෂණය මත පදනම් වූ විසඳුම් අනුගමනය කෙරේ. මූල්‍ය සේවා වෙත පිවිසීම හෝ භාණ්ඩ මිලදී ගැනීම වැනි එදිනෙදා කටයුතු සඳහා Online පහසුකම් භාවිතා කිරීමට පාරිභෝගිකයෝ වැඩි වැඩියෙන් නැඹුරු වෙමින් සිටිති.

එක් අතකින් වෛරසය පාලනය කරන අතරම අනෙක් අතට අඛණ්ඩව ආර්ථික ක්‍රියාකාරකම් සහතික කිරීම යන ද්විත්ව අවශ්‍යතා වඩා හොඳින් සමතුලිත කර ගැනීමට මින් අපට අවස්ථාව සැලසේ.

වසංගතය අතීතයට එක් වූ පසුව වුවද ආර්ථික ක්‍රියාකාරකම් හසුරුවන ආකාරය මේ වෙනස්කම් හේතුවෙන් පරිවර්තනය වීමේ ප්‍රවනතාවක් ඇත. අපගේ ආයතන කාර්යශූර නම් හා කඩිනමින් අනුවර්තනය වන්නේ නම් මේ වෙනස්වීම නිසා ඵලදායීත්වයේ සිදු වන වර්ධනය අපට දැක ගත හැකි වෙයි.

එබැවින් නව ව්‍යාපාර ආකෘති සංවර්ධනය, නව තාක්ෂණය සහ වේදිකා වලට අනුගත වීම සහ මේ ඵලදායිතාව ඉහල නංවන පරිවර්තනය සදහා අවශ්‍ය වන යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම මම උනන්දුවෙන් ප්‍රවර්ධනය කරමි. අපගේ ශ්‍රමිකයන්ට මේ වෙනස්කම්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි වන පරිදි මානව සම්පත් සංවර්ධනය සඳහා ද ආයෝජනය කළ යුතුය.

කෙසේ වුවද, මේ මොහොතේ ඇතැම් රාජ්‍ය ආයතන මේ සම්බන්ධයෙන් පසුගාමී තත්වයක සිටීමට ඉඩ ඇති බව පිළිගත යුතුය. ඊට හේතුව යටිතල පහසුකම්, ඉංජිනේරු ක්‍රියාදාමය හා පුහුණුව අඩු මට්ටමක තිබීම ඇතුළු ආවේනික ගැටළුය. මේ තත්ත්වය වෙනස් කිරීම මගේ ප්‍රමුඛතාවකි.

මගේ ඝෘජු අධීක්ෂණයට ගැනෙන විෂය පථය යටතේ වෙනමම තාක්ෂණ අමාත්‍යාංශයක් පිහිටුවීම ඩිජිටල්කරණය සදහා වන අපගේ සමස්ත මෙහෙයුමේ එක් වැදගත් පියවරකි. අපගේ කර්මාන්ත සඳහා ගෝලීය වශයෙන් තරග කිරීමට අවස්ථාව ලබා දෙන අතරම මහජනතාවට සපයන සේවා ඉහළ නංවන “තාක්ෂණය මත පදනම් වූ සමාජයක්” නිර්මාණය කිරීමට උර දීම මා ජනාධිපති ධූරයට පත් වීමට පෙර ප්‍රකාශයට පත් කළ දැක්මෙහි ප්‍රධාන අංගයකි.

සමාජ, ජංගම, විශ්ලේෂණ සහ ක්ලවුඩ් යන අපගේ ප්‍රමුඛ තාක්ෂණ ක්‍රම හතර කේන්ද්‍රගත කිරීම තුලින් පරිපාලනය ක්‍රියාත්මක වන ආකාරය වෙනස් කිරීමේ හැකියාව අපට ඇත. කොවිඩ් 19 ආසාදිතයන් සොයා ගැනීම පහසු කිරීම සඳහා මෑතකදී හඳුන්වා දුන් Staysafe.gov.lk වෙබ් අඩවිය ඊට නිදසුනකි.

වඩාත් පුළුල් ලෙස පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල් ආණ්ඩුකරණය ප්‍රවර්ධනය තුලින් ජාතික හැඳුනුම්පත්, ගුවන් ගමන් බලපත්, උප්පැන්න සහතික, මරණ සහතික, රියැදුරු බලපත්, ඉඩම් ඔප්පු, ලබා ගැනීම ආදී සේවා වඩාත් කඩිනමින් හා පහසුවෙන් මහජනතාවට ලබා ගැනීමේ අවස්ථාව උදා වෙයි.

විශේෂයෙන් ජාතික පුද්ගල ලේඛනය ඩිජිටල්කරණය අනන්‍ය හා සත්‍යාපනය සඳහා වඩාත් විධිමත් හා ආරක්ෂිත ක්‍රියාවලියක් සඳහා මගපාදයි. මෙය මූල්‍ය සේවා සහ ඊ-වාණිජ්‍යය ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍රවල වැඩි දියුණු කළ Online සේවා සැපයීම සඳහා අඩිතාලම ගොඩ නංවනු ඇත. මෙය අපගේ මූල්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීමෙහි වැදගත් සාධකයක් වන බදු පදනම ඵලදායී අයුරින් පුළුල් කිරීමේ රජයේ හැකියාව ද බොහෝ සේ ඉහළ නැංවීමට උපකාරී වෙයි.

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික සන්දර්භය තුල කැපී පෙනෙන ගැටළුවක් වන්නේ අප මුහුණ දී සිටින අධික ණය බරයි. ආපසු ගෙවීමට ඇති අධික ණය වාරික පරිමාව සැලකිල්ලට භාජන විය යුතු කරුණකි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව සෑම විටම සිය ණය වාරික බැඳීම් නිසි වේලාවට හා පූර්ණ වශයෙන් ඉටු කර ඇති බවත් අප විසින් එය අඛණ්ඩව සිදු කරන බවත් අවධාරණය කිරීම වැදගත්ය.

එසේ වුවද, ණය මත වන අපේ අධි රඳා පැවැත්ම අවසන් විය යුතුය. ආයෝජන ප්‍රවර්ධනය කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත්තේ එබැවිනි. අපි වැඩි වශයෙන් ඝෘජු විදේශ ආයෝජන ආකර්ශණය කරගත යුතු අතර, අපගේ ආර්ථික වර්ධනය සඳහා දේශීය ආයෝජන දිරිමත් කළ යුතුය. මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආයෝජන පූර්ණ වශයෙන් ආරක්ෂා කිරීම සඳහා රජය නව නීති සම්පාදන කරයි. ආයෝජන ප්‍රතිලාභ වේගයෙන් ප්‍රවර්ධනය කළ හැකි වන පරිදි ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු වල නිරත වීමේ පහසුව වැඩි දියුණු කිරීමට ද අපි කැප වී සිටින්නෙමු.

මේ වටපිටාව තුල විදේශීය රාජ්‍යයන් විසින් අරමුදල් සම්පාදනය කරන ලද ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති කිහිපයක් විවිධ හේතු මත මේ වන විට ඇණහිට ඇති බව සඳහන් කළ යුතුය. මේ ප්‍රමාදයන් වඩාත් බරපතල වන්නේ ඒවා මේ ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාව වෙත ළඟාවිම වළක්වාලන නිසාය. මේ තත්ත්වය රට ක්‍රියාකාරිත්වය පිළිබදව නිශේධනාත්මක චිත්‍රයක් ද නිර්මාණය කරයි.

ආයෝජකයන් අධෛර්මත් කරන එවැනි ගැටළු ආමන්ත්‍රණය කිරීමට රජය උත්සුක වේ. නියාමකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් හා පහසුකම් සපයන්නන් ආයෝජකයන් වෙනුවෙන් එක් ස්ථානයකට ගොනු කිරීමට පහසුව සලසන ඩිජිටල් ඒකාබද්ධතාව සහිත ප්‍රවේශ නිෂ්කාෂණ පද්ධතියක් සැකසීමේ ක්‍රියාවලියක අපගේ සමීපතම මිතුරා සහ හවුල්කරුවා වන ඉන්දියාව නිරතව සිටින බව මම උද්යෝගයෙන් සඳහන් කරමි.

එවන් යාන්ත්‍රණ ව්‍යාපාර කිරීමේ වේගය සහ පහසුව වර්ධනය කරයි. ඒවා විනිවිදභාවය වැඩි දියුණු කරන අතර දූෂණය අවම කරයි. ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම අධීක්ෂණය සහ අවශ්‍ය වූ විටෙක මැදිහත්වීම සක්‍රීය කිරීමේ යාන්ත්‍රණය වැදගත්ය. මේවා හඳුන්වාදීමේ ක්‍රම අධ්‍යයනය කෙරෙමින් පවතී.

මේ වසරේ ආර්ථික සමුළුවේ තේමාව වන “අනාගතය සඳහා මාර්ග සිතියම : ජනතා කේන්ද්‍රීය ආර්ථික පුනර්ජීවනය උදෙසා” යන්න අපගේ වර්තමාන තත්ත්වයට ඉතා උචිතය. ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍ර කිහිපයක් දරුණු ලෙස බලපෑමට ලක්ව ඇත.

වඩාත් බරපතළ ලෙස බලපෑමට ලක්ව ඇත්තේ අපගේ ආර්ථිකයට බොහෝ සේ දායකවන සංචාරක ව්‍යාපාරයයි. මේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් වෛද්‍ය ප්‍රජාව සමග එක්ව හැකි ඉක්මණින් සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමේ සැලසුමක් සකස් කළ යුතුය. මේ සැලැස්ම සියලුම සෞඛ්‍ය නියාමනවලට අනුකූල විය යුතු අතර, මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වලින් දුරස්ව සංචාරකයන්ට ශ්‍රී ලංකාව තුල ප්‍රීතිමත් නිවාඩුවක් සහතික කළ යුතුය. රැඳී සිටීමේ අවම කාලයක් පැනවීමෙන් හා වැඩියෙන් වියදම් කරන සංචාරකයන් ආකර්ශණය කර ගැනීම තුලින් සංචාරක ව්‍යාපාරයේ ඉපැයීම් උපරිම කිරීමෙන් ආර්ථිකයට පුළුල් ප්‍රතිලාභ අත් කර ගැනීමට පිළිවන.

විශේෂයෙන් පළමු වටයේදී සංචාරකයන්ගේ පැමිණීම් සීමා කිරීම අවශ්‍ය විය හැකි බැවින් අප පළමුව රට විවෘත කළ යුත්තේ අපට ආකර්ශණය කර ගත හැකි, වැඩියෙන් වියදම් කරන සංචාරකයන් සඳහාය.එමගින් ශ්‍රී ලංකාව ඉහළ පෙළේ සංචාරක ගමනාන්තයක් ලෙස නැවත වරක් ස්ථාපනය කළ හැකි අතර, ඒ ඔස්සේ කර්මාන්තයට දිගුකාලීනව ඉහළ ආදායමක් උපයාගත හැකිය.

වත්මන් තත්ත්වය ආර්ථිකය කෙරෙහි ඇති කළ හානිකර බලපෑම මධ්‍යයේ වුවද නිෂ්පාදනය ඇතුළු ඇතැම් අංශවල වැඩිදියුණුව සඳහා උත්ප්‍රේරණයක් සපයා ඇත. පෞද්ගලික ආරක්ෂණ උපකරණ සඳහා වන ගෝලීය ඉල්ලුම වැඩිවීම අපේ ඇගළුම් ක්ෂේත්‍රයේ ශක්තිමත්, හොඳින් ස්ථාපනය වූ සමාගම් බොහොමයක් මේ නිෂ්පාදන නිපදවීමට පොළෙඹවා ඇත.

2020 ශ්‍රී ලංකාවේ අපනයන ආදායම, වත්මන් වසංගත තත්ත්වය හමුවේ බලාපොරොත්තු වූවාට වඩා සැලකිය යුතු ලෙස යහපත් මට්ටමක තිබීම මට සතුටට කරුණකි. මෙයට බොහෝ සෙයින් හේතු වී ඇත්තේ අපගේ පෞද්ගලික අංශයේ ප්‍රශංසනීය උත්සාහයන්ය.

අප අවබෝධකරගත යුතු තවත් කරුණක් වන්නේ ගෝලීය නිෂ්පාදන සහ සැපයුම් දාමයට පැමිණ ඇති බාධා මෙන්ම සාම්ප්‍රදායික නිෂ්පාදන මධ්‍යස්ථානවලට තම ක්‍රියාකාරිත්වය සීමා කිරීමට සිදුව ඇති නිසා, ශ්‍රි ලංකාව වැනි රටවලට නවෝත්පාදනයට, නව නිර්මාණ තුළින් නව වෙළෙඳ පොළ සොයා ගැනීමට ඇති අවස්ථා නිර්මාණය වී ඇති බවයි.

අපගේ නැගී එන ව්‍යවසායකයන් මෙන්ම පිළිගත් සමාගම්, තමන්ගේ සුපුරුදු ක්‍රියාකාරිත්වයෙන් එපිටට තමන්ගේ දක්ෂතා සහ ප්‍රාග්ධනය යෙදවිය හැකි නව ඉසව් සොයා යාම ආරම්භ කළ යුතුය. අපගේ භූගෝල පිහිටීම සහ සාම්ප්‍රදායික කර්මාන්ත මතම රදා පවතිනු වෙනුවට අප නව මානයන් සෙවීමට උත්සුක විය යුතුය.

සමහර කර්මාන්ත අංශයන්හි සංකීර්ණ නිෂ්පාදන සිදුකිරීමට හැකියාවක් පවතින බව බොහෝ ශ්‍රී ලාංකීය සමාගම් ඔප්පුකර ඇත. ඔවුන් සිය ප්‍රාග්ධනය, කළමනාකරණය, නිපුණතාව සහ මනා පුහුණුවෙන් ලත් අත්දැකීම් සපිරි මානව සම්පත් නව ක්ෂේත්‍රයන්හි ආයෝජන කිරීමට පියවර ගත යුතුය.

සැබවින්ම ජනතා කේන්ද්‍රීය ආර්ථික පුනර්ජීවයක් උදෙසා අපගේ ව්‍යාපාරික අංශ ව්‍යවසායකයන් සහ රජය යන අංශ සියල්ලම එක්ව ක්‍රියා කළ යුතුයි. රජය තමන්ට අවශ්‍ය ශක්තිය සපයන බලවේගයක් කොටගෙන පෞද්ගලික අංශය ආර්ථික ක්ෂේත්‍රය තුළ තමන්ගේ භූමිකාව පුළුල් කළ යුතුයි. පෞද්ගලික අංශය වර්ධනයේ ගාමක බලවේගය බව සැමවිටම සලකනු ලැබේ. කෙසේ වුවද, මෙම කියමන යථාර්ථයක් බවට පත්කර ගැනීමට නම් සැමවිටම ගතානුගතික, අඩු අවදානමක් සහිත උපායමාර්ග යොදා ගැනීම වෙනුවට වැඩි ප්‍රතිලාභ අත් කර ගත හැකි නිර්භීත, පැහැදිලි ආයෝජන අවස්ථා උදා කර ගත යුතුය.

අප ජනතාවගේ අභිලාශයන් වඩා හොඳින් ආමන්ත්‍රණය කළහැකි අයුරින් පෞද්ගලික අංශයේ පූර්ණ ධාරිතාව භාවිත කළ හැකි ආකාරයට රජය තම පාර්ශ්වයෙන් තම වගකීම් හා යුතුකම් ඉටුකරනු ඇත.

2021 වර්ෂය සදහා වන අයවැය මෙම අරමුණ සාක්ෂාත්කර ගැනීමට පහසුවන අයුරින් මුලපිරීම් කිහිපයක්ම සිදුකර ඇත. ඊළඟ වසර 05 සඳහා කෘෂිකර්ම, ධීවර සහ සත්ත්ව නිෂ්පාදන අංශ ආදායම් බදුවලින් නිදහස් කර ඇත. නිෂ්පාදන ධාරිතාව වර්ධනයට සහ මෙම අංශවල ආදායම් උත්පාදනය වර්ධනයට පියවර ගැනීම ඉතාමත් වැදගත්ය.

පෞද්ගලික අංශය ගොවීන්ට තම ඵලදාව වැඩිදියුණු කළ හැකි අයුරින් සහ වාසිදායක නව අපනයන වෙළෙඳපොළ සොයාගත හැකි අයුරින් නව තාක්ෂණය හඳුන්වා දිය යුතුය. කාබනික ගොවිතැන සඳහා ගොවීන් වැඩි වශයෙන් යොමු කිරීම සහ නිරීක්ෂණ යාන්ත්‍රණයක් නිර්මාණය මගින් ජාත්‍යන්තර වශයෙන් අපගේ නිෂ්පාදනවල අගය ඉහළ නැංවිය හැකිය.

නව වෙළෙඳපොළ ගවේෂණය සහ වඩා හොඳ පිරිසැකසුම්කරණය, ගබඩා ඇසුරුම් කිරීම සහ ප්‍රවාහනය යන අංශවල ආයෝජනය ඉතාමත් වැදගත්ය. එමෙන්ම කෘෂි නිෂ්පාදන ක්‍රියාවලියේදී වටිනාකම් එකතු කිරීමේ ක්‍රියාවලියට ප්‍රවේශ වීමට ද අප සමත් විය යුතුය.

ඇ.ඩො. මිලියන 10ට වැඩි කෘෂි අංශයේ උපායමාර්ගික ආයෝජන සඳහා තොරතුරු තාක්ෂණ අංශය, කිරි නිෂ්පාදන, රෙදි පිළී, සංචාරක සහ අපනයන කර්මාන්ත සඳහා බදු සහන ලබාදීමට පියවර ගෙන ඇත.

නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ සහ ඝෘජු හා වක්‍ර අපනයනකරුවන් භාවිත කරන මෙවලම් යනාදිය සඳහා පවතින බදු ඉවත් කිරීමෙන් අපනයනකරුවන් දිරිමත් කිරීමට අවශ්‍ය පියවරගෙන ගෙන ඇත.

ඩිජිටල් යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ නව ආයෝජන මහත් සේ දිරිමත් කරනු ලැබේ. තොරතුරු තාක්ෂණ අංශයේ ෙසමාගම් ශ්‍රී ලාංකික නිපුණතා සඳහා නව වෙළෙඳපළ පුළුල් කිරීමට මෙම දිරිගැන්වීම්වලින් උපරිම ප්‍රයෝජන ගත යුතුය. සමාගම්, තොරුතුරු තාක්ෂණ අධ්‍යාපනය හා පුහුණුව සඳහා වැඩි වශයෙන් ආයෝජන කළ යුතුය.

කර්මාන්තයේ වේගයෙන් වෙනස්වන ස්වභාවය සහ එහි පවතින ඉහළ ඉපැයීම් හැකියාව සැලකිල්ලට ගෙන සමාගම්ලට මේ ක්ෂේත්‍රයේ සිටින තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් පුහුණු කිරීමෙන්, නව බඳවා ගැනිම් සදහා රජයේ අරමුදල් සපයන ආයතන මත රදා පැවතීමක් නොමැතිව, විශාල ප්‍රතිලාභ අත්කර ගත හැක.

අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණ මාධ්‍ය තෝරා ගැනිමට සිදුවීම තුළින් පෙන්නුම් කර ඇත්තේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය තුළද නව අවස්ථා නිර්මාණය වී ඇති බවයි. සහනදායී අරමුදල් යෝජනා ක්‍රම සහ ඇපකර වෙනුවට ව්‍යාපෘති ශක්‍යතාව තක්සේරු කිරීම මත ණය ලබාදිය යුතු ශක්තිමත් සංවර්ධන බැංකුවක් පිහිටුවීම තුළින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ ආරම්භක ව්‍යාපාර දිරිමත් කරනු ලැබේ.

තෝරාගත් ලෙස පනවනු ලබන සෙස් බද්ධ නව දේශීය කර්මාන්ත සඳහා උපකාරී වනු ඇත. රේගු බදු සරල කිරීම සහ ඊට අදාළ ක්‍රියාවලි විධිමත් කිරීම ඇතුළු මූලාරම්භයන් ක්‍රියාකාරි ආර්ථිකය වැඩිදියුණු කිරීමට පහසුකම් සපයයි. ආයෝජන ප්‍රවර්ධනය සඳහා ප්‍රාග්ධන වෙළෙඳපොළ දිරිගැන්වීම් රාශියක් හඳුන්වා දෙනු ලැබේ.

ශක්තිමත් ආර්ථික පුනර්ජිවනයක් සඳහා වේදිකාව සැකසීමට රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය අතර හවුල්කාරිත්වය අවශ්‍ය වේ. විවිධ ක්ෂේත්‍රවල අපගේ සියලු ප්‍රවේශයන් කේන්ද්‍රීය දැක්මක් මත පදනම්ව පැහැදිලි අරමුණු හා ක්‍රියාකාරී සැලසුම් ඔස්සේ මෙහෙයවනු ලබන බවට අප සහතික විය යුතුයි. රාජ්‍ය හා පෞද්ගලික අංශය විසින් ගනු ලබන සියලුම ප්‍රවේශයන් අපගේ වර්ධන මාවත තහවුරු කිරීමට දායක විය යුතුය.

මෙම සන්දර්භය තුළ, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් රජයේ අවධානයට යොමු කිරීමේ අරමුණින් කර්මාන්ත වෘත්තිකයින් 70කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් ආර්ථිකය ශක්තිමත් කිරීමේ රාමුවක් සකසා ඇති බවට මම දැනුවත්ව සිටිමි. මම මේ ප්‍රවේශය අගය කරන අතර, මේ ලේඛනය අධ්‍යයනය කර බැලීමට බලාපොරොත්තු වෙමි. වටිනාකම් උත්පාදනය කිරීමේ යෝජනා සඳහා සෑමවිටම රජයේ ප්‍රමුඛ අවධානය ලැබෙනු ඇත.

මේ දෙදින තුළ, සමුළුවට සහභාගීවන කථිකයන්, විද්වත් මණ්ඩල සාමාජිකයන් සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පෙලේ ප්‍රවීණයන් සැබවින්ම ජනතා කේන්ද්‍රීය ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීම සඳහා නිර්මාණශීලි මාර්ගෝපදේශ ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරමි.

එක්ව සහයෝගයෙන් වැඩ කිරීමෙන් ශ්‍රී ලංකාවේ අනාගතයට ප්‍රයෝජනවත් පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට ‍අපට පිළිවන. අවසාන වශයෙන්, අපට එක්ව සහයෝගයෙන් ජය ගැනීමට හැකි බවට මා තුළ ඇති මහත් සහ අවංක විශ්වාසනීය හැඟීම යළිත් වරක් ඔබට සහතික කිරීමට කැමැත්තෙමි.“

තමන්ට පාර්ලිමේන්තුව එන්නැයි ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ආරාධනා කර ඇතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

නමුත් පාර්ලිමේන්තුවට යාමට තමන් කැමැතත්ක් නැති බවද පාර්ලිමේන්තු ආවද නාවද ආර්ථිකය ශක්තිමත් කරන බවද ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍යතාවයක් වුනොත් පැමිණීමට සිදු වන බවත් දැනට එවන් තත්ත්වයක් නැති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ දිවිනගුම අරමුදල් අවභාවිත කලේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමෙන් පසු කොළඹ විහාරස්ථාන කිහිපයකට ගොස් ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

මිල්ලනිය සහ මොරොන්තුඩුව පොලිස් ස්ථානවලට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම පොලිස් ස්ථාන දෙක තාවකාලිකව වසා දැමූ බව වාර්තා වේ.

පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනා ඇතුළු පොලිස් නිලධාරීන් 100කට ආසන්න ප්‍රමාණයක් නිරෝධායනට ලක් කළ බව ද පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා පැවසීය.

කොස්තාපල්වරුන් දෙදෙනාම පානදුර බුද්ධි කොට්ඨාසයට අනුක්තව සේවය කරන අතර මීට දෙදිනකට පෙර සිදුකළ පී සී ආර් පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් දෙදෙනාට වයිරසය ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වී තිබූ බව පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම කොස්තාපල්වරුන් දෙදෙනා, මීට පෙර ආසාදිත තත්ත්වයට පත්වූ පානදුර කොට්ඨාස බුද්ධි අංශයේ පොලිස් සැරයන්වරයකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සමඟ වාහන ජාවාරමක තොරතුරු අනාවරණය කරගැනීමට ගොස් තිබියදී මෙම වයිරසය ආසාදිත වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.

හෙට (30) උදෑසන 5 සිට තවත් ප්‍රදේශ කිහිපයක හුදකලාභාවය ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා හුදකලා කර තිබෙන කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ ප්‍රදේශය හා මට්ටක්කුලිය යන ප්‍රදේශවල හුදකලාභාවය මෙලෙස ඉවත් කෙරේ.

අනෙකුත් ප්‍රදේශ තවදුරටත් හුදකලා කර ඇතැයි ද ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම හා මීගමුව යන පොලිස් ප්‍රදේශවල ද හුදකලාභාවය හෙට උදෑසන ඉවත් කරන බව හමුදාපතිවරයා පැවසීය.

හුදකලා බව තවදුරටත් ක්‍රියාත්මක ප්‍රදේශ,

  • මෝදර පොලිස් වසම
  • බ්ලුමැන්ඩල් පොලිස් වසම
  • කොටහේන පොලිස් වසම
  • ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම
  • ආදුරුප්පු වීදිය පොලිස් වසම
  • වේල්ලවීදිය පොලිස් වසම
  • කෙසෙල්වත්ත පොලිස් වසම
  • මාළිගාවත්ත පොලිස් වසම
  • දෙමඩගොඩ පොලිස් වසම
  • මරදාන පොලිස් වසම
  • කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම
  • බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරි වසම

 

ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා බව තවදුරටත් පවතින ප්‍රදේශ,

  • පෑලියගොඩ
  • කැලණිය
  • වත්තල

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,

“මට්ටක්කුලියේ රන්දිය උයන නිවාස සංකීරණය, ෆර්ගියුසන් පාරෙන් දකුණු ප්‍රදේශය තවදුරටත් හුදකලා කිරීමට කටයුතු කරනවා මට්ටක්කුලිය විවෘත කරත්. ඒත් එක්කම මේ වන විට හුදකලා නොකර තිබෙන වැල්ලම්පිටිය ප්‍රදේශයේ ලක්සඳ සෙවණ නිවාස සංකීරණයත් සාලමුල් ග්‍රාම නිලධාරී වසම, විජයපුර ග්‍රාම නිලධාරී වසම තවදුරටත් හුදකලා කිරීමට ලක්කරනවා. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ මේ වන විට තිබෙන සෙසු ප්‍රදේශ තවදුරටත් හුදකලාවට ලක්කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කය ගත්තහම මේ වන විටත් හුදකලා ප්‍රදේශවන මීගමුව හා රාගම පොලිස් ප්‍රදේශ හුදකලාභාවයෙන් ඉවත් කරනු ලබනවා. ඒ අනුව තවදුරටත් වත්තල, පෑලියගොඩ, කැලණිය පමණක් ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා කිරීමටත් කටයුතු කරනවා. ලංකාවේ ඊට අමතරව අක්කරපත්තුව, අටලුගම හා අකුරණ හුදකලා කර තිබෙනවා. එම ප්‍රදේශ තවදුරටත් හුදකලාව පවත්වාගෙන යනු ලබනවා. ඊට අමතරව දැනට හුදකලා කර ඇති ප්‍රදේශ බදාදා වන විට විශ්ලේෂණය කර ඉවත් කිරීමේ හැකියාවක් පවතිනවා.“