April 25, 2024
Main

Main (651)

ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවනු ඇති බවට මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස් විමට අනුව මෙරට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සදහා මුදල් අමාත්‍යාංශය විසින් මිල සූත්‍රයක් හදුන්වාදෙනු ලැබුවේය.

එම මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වන දින ඉන්ධන මිල සංශෝධනය කිරීම සිදු වේ.

ඒ අනුව මේ මාසය සඳහා වන ඉන්ධන මිල සංශෝධනය අද (10) දිනයේ සිදු කිරීමට නියමිතව තිබුණ ද ලෝක වෙළඳපොලෙහි ඉන්ධන මිල වෙනස් වී නොමැති බැවින් මේ මාසය සදහා ඉන්ධන මිලද සංශෝධනයක් සිදු නොවනු ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉන්ධන මිල සූත්‍රයට අනුව පසුගිය මාසයේදී ඉන්ධන මිල සංශෝධනය වූ අතර එහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6කින් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් 5කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 4 කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 8කින් ද ඉහළ දමනු ලැබුවේය.

අතීතයේ පරාක්‍රමබාංහු රජ දවසේදීත් ජනතාවට බදු පනවා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ඊයේ (07) අනුරාධපුරයේ පැවැති අලුත් සහල් මංගල්‍යට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“දෙවියන්ට පුද පූජා පැවැත්වීමේ සිරිත මිහිදු මහරහතන් වහන්සේගේ පැමිණීමත් සමග ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සහ ගමේ පන්සලට පුද පූජා පැවැත්වීම දක්වා වෙනස් වුණා. අතීතයේ ඒ ආකාරයට ශිෂ්ඨාචාරය පමණක් නොව ආර්ථිකයත් හැඩ ගැසුණා. ඒ හරහා විශාල ලෙස ආදායම් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. ඒ වගේම ඒ කාලයේ ජනතාවගෙන් බදු එකතු කිරීමත් සිදු කළා. ඒ හරහාත් විශාල ලෙස ලාභ ලැබුවා. වර්තමානයේ බදු පණවන විට ආණ්ඩුවට චෝදනා කිරීමට පෙර අතීතයේ රජ දවස පරාක්‍රමබාහු රජතුමාත්  බදු පැනවූ බව සිහිපත් කර ගත යුතුයි.”

අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම අද (05) පස්වරු 5.00ට සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මාර්තු  මස 05 වනදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මේ වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

දින 06ක් පුරා පැවති දෙවන වර කියවීමේ විවාදයෙන් පසු පසුගිය 12වනදා දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදු කෙරුණු අතර ඊට පක්ෂව ඡන්ද 119ක් සහ විරුද්ධව ඡන්ද 76ක් හිමිවූණි.

අයවැය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේ  වැය ශිර්ෂ කිහිපයක් පරාජයට පත් වු අතර  ඒ වෙනුවෙන් ඉදිරිපත් වු පරිපූරක ඇස්තමේන්තුව සම්පමත කර ගැනීමට අද නියමිතයි.

මේ අතර අයවැයට පක්ෂව එක්සත් ජාතික පෙරමුණ සමඟ දෙමළ ජාතික සන්ධානය  ඡන්දය ලබා දීමට නියමිතව ඇති අතර ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරන බවට ප්‍රකාශ කර තිබේ.

එහෙත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත .

අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මන්‍ත්‍රි කණ්ඩායම රැස් වී ඒ පිළබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් සුබවාදී තීරණයක් අපේක්ෂාවෙන් පසුවන බවයි.
 

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාන් විජේතුංග මහතා ගේ නම ජනමාධ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා විසින් යෝජනා කළද එම නම අනුමත කිරීම ජනාධිපතිවරයා විසින් දිගින් දිගටම කල් දමමින් සිටින බව වාර්තා වෙයි.

රූපවාහිනී සංස්ථා පනත අනුව එම ආයතනයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීමේ බලය ඇත්තේ ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයාටය.

ඒ අනුව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා විසින් ශාන් විජේතුංග මහතාගේ නම රූපවාහිනී සංස්ස්ථාවේ සභාපති ධුරය සඳහා පත් කිරීමට තීරණය කර, එම නාමයෝජනාව ජනාධිපතිවරයා විසින් පත් කරන ලද රජයට අයත් ව්‍යවසායයන් හි සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම පිණිස පත් කර ඇති කමිටුව වෙත යවා ඇති අතර, ශාන් විජේතුංග මහතාගේ නම එම කමිටුව විසින්ද අනුමත කර ඇත.


එම කමිටුවෙහි සාමාජිකත්වය දරන්නේ ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයෙකු සහ මුදල් අමාත්‍යංශයේ නියෝජිතයෙකි.

කමිටුව විසින් අනුමත කරන ලද විට එම නම් පත්කිරීම සඳහා අමාත්‍යවරයා වෙත ආපසු එවීම සාමාන්‍ය පටිපාටිය වන නමුත්, මෙම ලිපිගොණුව ජනාධිපතිවරයා විසින් රඳවා ගෙන ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරයි.

ශාන් විජේතුංග මහතා ජනමාධ්‍යවේදියෙකු ලෙස මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය ක්ෂේත්‍රයන්හි වසර 29 ක අත්දැකීම ඇති ප්‍රවීණ මාධ්‍යවේදියෙකි. ඔහු වර්තමානයේ ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.  

රුවන් විජේවර්ධන මහතා විසින් මින් පෙර ජාතික රූපවාහිනියේ සභාපති ධුරයට නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පත්කිරීමට තීරණය කර තිබිණි. එම නාම යෝජනාවද ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව විසින් අනුමත කරනු ලැබුවද, ගුණවර්ධන මහතා එම තනතුරට පත්කිරීමට තමන් විරුද්ධ බව ජනාධිපතිවරයා විසින් ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට දැනුම් දී තිබිණි. ජනමාධ්‍යවේදියෙකු වන ශාන් විජේතුංග මහතාගේ නම ඇමැතිවරයා විසින් යෝජනා කොට ඇත්තේ ඉන් අනතුරුවය.

සුදර්ශන ගුණවර්ධන මහතා ඔක්තෝබර් 27 දින දක්වා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ අතර, දින 51 ආණ්ඩු සමය තුළ ඔහු වෙනුවට වැඩ බැලීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් නාලක කලුවැව මහතා පත්කිරීමට ජනාධිපති ලේකම්වරයා කටයුතු කළේය.

ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අමාත්‍ය ධුරයට පත්වූ විගස රජයට අයත් මාධ්‍ය ආයතනවල නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අතර, සේවක මණ්ඩල සාමාජිකයන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ඡා කරන ලදී.

ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් සාරංග විජේරත්න මහතාගේ විසින් කරන ලදැයි කියන දූෂණ ක්‍රියා පිළිබඳව ජාතික රූපවාහිනී කාර්ය මණ්ඩලය විසින් ඇමැතිවරයා වෙත පැමිණිලි කර තිබුණු අතර දූෂිත ක්‍රියාමාර්ග ආරක්ෂා කිරීමට රූපවාහිනී සභාපතිනි ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද මහත්මිය ක්‍රියාකිරීම පිළිබඳවද සේවක අප්‍රසාදය පළ වී ඇත.

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දීමේ බක්මහ දිවුරුම වැඩසටහනේ ප්‍රධාන උත්සවය  අද (03දා) පෙරවරු 8.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චත්‍රරස්‍රයේදී ආරම්භ විය.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන් පාලනය කිරීම පොලීසිය ඇතුළු අනෙකුත් රාජ්‍ය අංශයන්ට පමණක්ම සිදු කළ නොහැකි බැවින් පවුල් සංස්ථාවේ සිට සමාජ සංස්ථාව දක්වා වූ පුළුල් ආකල්පීය වෙනසකින් හා සක්‍රීය දායකත්වයකින් යුතුව එම ව්‍යසනය පිටු දැකීමේ වැඩපිළිවෙළකට අවතීර්ණ වීමේ ප්‍රවිෂ්ටයක් ලෙස මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව සිදු කෙරෙන මෙම අවස්ථාව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කෙරිණි. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,  පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ද, ආරක්ෂක අංශ ප්‍රධානීන්, රාජ්‍ය සේවයයන් ඇතුළු විශාල පිරිසක් මෙම වැඩසටහන සඳහා එක්වූහ.

දිස්ත්‍රික්ක හතක් හරහා දිවෙන, අක්කර ලක්ෂ 12ක් අත්පත් කරගන්නා ඇමරිකානු නීතිය ක්‍රියාත්මක ‘ආර්ථික කොරිඩෝවක්’ ඉදි කිරීමේ ව්‍යාපෘතියට අදාළ සැලසුම් සකස් කෙරෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් නැමැති ඇමරිකානු රාජ්‍ය ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලය අරලියගහ මන්දිරය තුළ පවතින බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ලිඛිත සාක්ෂි සහිතව ඔප්පු කර සිටියේය.

මෙම කාර්යාලය අරලියගහ මන්දිරයේ ඇතුළත පිහිටුවා ඇති බව හැකිනම් ඔප්පු කර පෙන්වන ලෙසත් නැතිනම් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් පසුගියදා අමාත්‍ය සාගල රත්නායක මහතා අයවැය විවාදයේ දී විමල් වීරවංශ මහතාගේ කතාවට බාධා කරමින් අභියෝග කර සිටියේය. එම අභියෝගය බාරගත් විමල් වීරවංශ මහතා දංකොටුව සිත් රූ ශාලාවේදි පැවැති ‘රටට මොකද වෙන්නේ ?’ ජනහමුවට එක්වෙමින් මෙම කාර්යාලය අරලියගහ මන්දිරය තුළ වන බව පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂය යටතේ 2019 පෙබරවාරි 19 දාතම සහිතව ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ශ්‍රී ලංකා කාර්යාලයේ, ජාතික උපදේශක/ සම්බන්ධීකාරක ආර්. සිරිවර්ධන නැමැත්තා යැවූ නිල ලිපියක් ජනතාවට පෙන්වමින් විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කලේය. එම ලිපියෙහි ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ හි ශ්‍රී ලංකා කාර්යාලයේ ලිපිනය ‘දෙවන මහල, නව ගොඩනැගිල්ල, උතුරු පියාපත, අරලියගහ මන්දිරය, කොළඹ 03’ ලෙස පැහැදිලිව දක්වා ඇති බව විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

තමන් මේ බව ඔප්පුකර පෙන්නූ නිසා ජනතාව රැවටූ සාගල රත්නායක අමාත්‍යවරයා ජනතාවගෙන් සමාව ගෙන ඉල්ලා අස්විය යුතු බව ද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ, දැනට විනාශ කළ හැකි මත්ද්‍රව්‍ය එළැඹෙන 01 දා මාධ්‍යය ඉදිරියේ විනාශ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

තම රජය සමයේ නොරොච්චෝලය ඉදි කිරීම සඳහා බාර දුන් චීන ආයතනයට ලබා දුන්නේ නම් මෙවැනි ආකාරයට රට තුළ විදුලි අහේනියක් සිදු නොවන බව හිටපු ජනාධිපති  චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසයි.

ඊයේ (27) ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එතුමිය මෙලෙස සඳහන් කළාය.

රට තුළ ඇති විදුලි බලාගාර ගණනාවක් තම රජය සමයේ ආරම්භ කළ ඒවා බව හිටපු ජනාධිපති  චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පැවසීය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේදී කිසිදු නව විදුලි බලාගාරයක් ඉදි නොකළ බවත් නොරොච්චෝල විදුලි බලාගාරය තුට්ටු දෙකේ චීන ආයතනයකට ලබා දී විනාශ කළ බවත් එතුමිය පෙන්වා දෙයි.

නොරොච්චෝලය පසුගිය කාලය තුළ 38 වතාවක් බිඳ වැටී ඇති අතර 7 වතාවක් ගිනි ගෙන ඇති බව සඳහන් කරන හිටපු ජනාධිපතිනිය, නොරොච්චෝලේ විදුලි බලාගාරය රාජපක්ෂ යුගයේදී විනාශ කළ බව හිටපු ජනාධිපති  චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සඳහන් කළාය.

විදුලි අර්බුදයට මේ රජයේද වැරද්දක් ඇති බව හිටපු ජනාධිපති  චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය වැඩිදුරටත් පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඉදිරිපත් විය නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් දැනුම් දී ඇති බව පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු ඒෂියන් මිරර් වෙත පැවසීය.

එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීම සඳහා පක්ෂයේ ඒකමතික තීරණය වී ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් මන්ත්‍රීවරුන් මෛත්‍රීපාල සිරිසේන මහතාට අපේක්ෂකත්වය ලබා දීමට විරුද්ධ බව ද සඳහන් වේ.

එම ප්‍රකාශකයා සඳහන් කර තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන ඉදිරියේ දී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එක් සන්ධානයක් ලෙස ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව සාකච්ඡා ද සිදු වෙමින් පවතී. එම සාකච්ඡාවල ඉදිරි වටයේ සාකච්ඡාවන් එළැඹෙන අප්‍රේල් මාසයේ 10 වැනිදා ඇරඹීමට නියමිත බව ද වාර්තා වේ.

දැනට පවතින විදුලි කප්පාදුව තවත් දින 10ක් තුළදී සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අද (25) සිට දෛනික විදුලි කප්පාදුව සිදුකෙරෙන වෙලාවන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් දන්වා ඇත.

ඒ අනුව උදෑසන 8.30 සිට 11.30 දක්වාත්, පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වාත්, ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම අත්හිටවනු ඇති.

එමෙන්ම පස්වරු 2.30 සිට 5.30 දක්වාත්, පස්වරු 6.30 සිට 7.30 දක්වා හෝ පස්වරු 7.30 සිට රාත්‍රී 8.30 සහ රාත්‍රී  8.30 සිට රාත්‍රී 9.30  දක්වා විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

නොරොච්ච්ලේ විදුලි බලාගාරයේ ඇතිවූ බිඳවැටීම මෙන්ම මේ දිනවල පවතින අධික උෂ්ණ කාලගුණය නිසා විදුලි ඉල්ලුම 15%කින් පමණ වැඩිවීම ද මෙම විදුලි කප්පාදුවට බලපා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.

රටේම පවතින වායු සමීකරණ භාවිතය සීමා කිරීමට සහ දිනකට විදුලි බුබුළු දෙකක් භාවිතය අඩු කිරීමට හැකි නම් මේ තත්වයෙන් ගොඩ ඒමට හැකි බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් සඳුදා (අද) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් ඉන් අනතුරුව විදුලි කප්පාදුව සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම මේ වනවිට ස්වභාවික වායු බලාගාර (LNG) දෙකක් සහ මෙගාවොට් 194ක සූර්ය බලාගාර සඳහා අවසර ලබාදී ඇති බව පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී මෙවන් තත්වයක් ඇති නොවීමට වගකීමෙන් යුතුව කටයුතු කරන බවත් අවධාරණය කළේය.