April 20, 2024
Main

Main (651)

ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා තවමත් කාලය ජනාධිපතිවරයා වෙත පවතින බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා දඹුල්ල ප්‍රදේශයේ රාජකාරි සංචාරයක දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින් ඊයේ (17 ) ඔහු මේ බව සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාව ඉදිරි දින දොළහක් දහතුනක් ඇතුළත ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැවින් නීතිය අනුව එය ප්‍රමාද කිරීමේ හැකියාව පවතින එකම ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය බවත් එයට යොමු කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට පමණක් පවතින බවත් ඔහු පෙන්වාදුනී. ජනාධිපති එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීම සඳහා කටයුතු කිරීමක් පෙනෙන්නට නොමැති බව කිර්ති තෙන්නකෝන් කියා සිටියේය.

මැතිවරණයක අන්තිම මොහොත දක්වා අපේක්ෂකයන් ඉදිරිපත් නොකිරීම එක්සත් ජාතික පක්ෂයේ අදක ඊයෙක තිබුණු ප්‍රශ්නයක් නොවන බවත් එය දිගින් දිගටම පැවැති ප්‍රශ්නයක් බවත් ඔහු පෙන්වාදුනී.

මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය ජනපති ධුරකාලය සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදී තිබෙන බවත් එය අවභ්‍රමණය කිරීමට හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හා සත් පුද්ගල සාමාජික සංඛ්‍යාවකින් යුතු නඩු තීන්දුවකින් පසුව බවයි ඔහු පෙන්වා දෙන්නේ. මෙම අවස්ථාවේදී එවැන්නක් සිදුවන බවක් පෙනෙන්නට නැති බවද හෙතෙම කීවේය. ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම මත විමසීම සිද්ධ කරන්නට හැකියාව පවතින බවද සදහන් කළේය .

කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ මතය විමසීම හරහා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක් යටතේ ජනාධිපති අපේක්ෂකයා තේරීම සිදුකරනු ඇතැයි තමන් විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

අද (17) උදෑසන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

එහිදී මාධ්‍ය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකත්වය තමන්ට හිමිවනු ඇති බවට තමන්ට පූර්ණ විශ්වාසයක් පවතින බවයි.

මුදල් ඇමතිවරයාගේ අනුදැනුමකින් තොරව ඉකුත් කාලයේදී සුරාසැල් බලපත්‍ර 84ක් අලුතින් නිකුත් කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබේ.
 
2017 වසරේදී සුරාසැල් බලපත්‍ර 10ක්ද 2018 වසරේදී සුරාසැල් බලපත්‍ර 74ක්ද අලුතින් නිකුත් කර තිබෙන බවට තොරතුරු හෙළි වී ඇතැයිද මුදල් අමාත්‍යංශය කියයි.

නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවත්වනු ලබන සාකච්ඡා ලබන සතිය වන විට අවසන් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේම අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ මස අවසන් සතිය වනවිට ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කරනු ඇතැයි බලාපොරොත්තු වන බැවින් දෙපාර්ශවය අතර සාකච්ඡා අවසන් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ද වාර්තා වේ.

මේවනවිට දෙපාර්ශවය අතර සාකච්ඡාවට අටක් පවත්වා ඇති අතර එම සාකච්ඡාවන් හිදී ප‍්‍රතිපත්තිමය කරුණු 25කට අධික සංඛ්‍යාවකට දෙපාර්ශවයම එකඟතාවය පළකර තිබෙන බවද වාර්තාවේ.

එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ නව සන්ධානයේ ලංඡනය ලෙසට යොදා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අකමැත්ත ප‍්‍රකාශ කිරීමත්, වෙනත් ලකුණක් යොදා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අකමැති වීමත් හේතුවෙන් සාකච්ඡා සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකිව තිබෙන බවද පැවසේ.

කෙසේ වෙතත් අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඉදිරි සති කිහිපය ඇතුළතදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

ඊට අමතරව එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයන් හා අනෙකුත් දේශපාලන පක්‍ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා කඩිනමින් අවසන් කරන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් විසින් තම පක්‍ෂයේ නියෝජිතවරුන්ට දැනුම් දී ඇති අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් යුතු කමිටුවක් ද පත්කර ඇතැයි වාර්තා වේ.

අසීරු සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත් නායකයා ලෙස එළඹෙන ජනාධිපතිවරණය ජයගත හැකිනම් ඊට ඉදිරිපත් වන බවත් එය කළ නොහැකි නම් පිටව යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) පැවසීය.

වයස අවරුදු 70 වන තෙක් ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ  තනතුරු රැසක් දැරූ තමාට දේශපාලනෙන් විශ්‍රාම ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවේ යැයිද අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කලේ බියගම සහ කැලණිය මැතිවරණ කොට්ඨාසවල එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජික පිරිසක් කොළඹ අරලියගග මන්දිරයේ දී හමුවූ අවස්ථාවේදීය.

හොඳම පාසල ළඟම පාසල ව්‍යාපෘතීය යටතේ පාසල් ගොඩනැගිලි විවෘත කිරීමේ උත්සව සඳහා මන්නාරමට පිටත්ව යාමට පෙර අරලියගහ මැදුරේදී ඉහත හමුව පැවැත්විණි.

පක්ෂයේ නායකයන් එකා පිට එකා මැරී වැටෙද්දී පක්‍ෂ නායකත්වය බාර ගනිමින් අසීරුම කාලයේදී ක්‍රියා කළ ආකාරය එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජිකයන්ට සිහිපත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය වැටුණු සෑම අවස්ථාවකදීම එය ගොඩගත් ආකාරය ද සිහිපත් කර සිටියේය.

පක්‍ෂ නායක ලෙස පක්ෂයත් පක්ෂයේ මුලිකත්වයෙන් පිහිටුවන සන්ධානයත් දිනවීම සිය යුතුකම බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා එළඹෙන ජනාධිපතිවරණයේ දී ඉහත වගකීම ඉටු කළ නොහැකි නම් පිටව යෑම තමාට කිසිඳු ගැටළුවක් නොවේ යැයිද සඳහන් කර සිටියේය.

එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉතා ධනාත්මක ශුභවාදී සාකච්ඡාවක් කළ බවත් කෙටි කලක් ඇතුළත  සුභවාදී ප්‍රතිපලයක් ලැබෙනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත්ප්‍රේමදාස මහතා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර  කොළඹ අරලියගහ මන්දිරයේ දී ඊයේ රාත්‍රී පැවැති සාකච්ඡාවෙන් පසු අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරියට යාම තම එකම අරමුණ බව කී සජිත් ප්‍රේමදාස මහතා මෙවැනි සාකච්ඡා වට කිහිපයක්ම ඉදිරි දින වලදී  පැවැත්වීමට අදහස් කරන බවද පැවසීය.

සාකච්ඡාවේ සියලු කතා හෙළි කළ නොහැකි වන්නේ ප්‍රතිවාදීන්ට එයින් යම් වාසියක් අත්වන නිසා බව කී සජිත් ප්‍රේමදාස මහතා බුදුබව ලබන්නත් පෙරුම් පුරන්නට අවශ්‍ය වූ බවත් තමන් උකුස්සෙක් රාජාලියෙක් නොව සද්දන්ත ඇතෙක් බවත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ධනාත්මක මතයක සිටින බව ද ඉතා කෙටි කලකින් සුබවාදී ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කීය.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණ ජය ගැනීම සඳහා වන මැතිවරණ උපක්‍රමද මෙහිදී සාකච්ජාවට බඳුන් වී ඇති අතර අපේක්ෂකයා කව්රුන් වුවද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කලයුතු බවට වැඩි දුරටත් සාකච්ජා වී තිබේ.

මරණ තර්ජන තිබුණද මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප‍්‍රතිපත්තිය ආරම්භ කිරීමට තමන්ට හැකි වු බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ගාල්ල දිස්ත‍්‍රික් ඖෂධ ව්‍යයසායකයින්ගේ සංගමයේ තෙවන වාර්ෂික මහ සභා උත්සවය ගාල්ල ජෙට්වින්ග් ලයිට් හවුස් හෝටලයේදී අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විනි. 

නව නිලධාරී මණ්ඩලයක් තෝරාපත් කරගැනීමේ අවස්ථාවේදී පසුගිය වසරේ නිලධාරී මණ්ඩලයම නිතරගයෙන් මෙවරත් තේරී පත් වීම විශේෂත්වයක් විය. 

එහිදී පසුගිය වසරේ ඔවුන්ගේ සංගමයේ කටයුතු ඇගයීම සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඇගයීමද සිදුවිය.

ඒ අවස්ථාවේ දී අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍යවරයෙක් ලෙස නොව පුද්ගලයෙක් ලෙස ගත් කල තමාගේ ජීවිතයම අභියෝගයක් වූ බවයි. 

මේ වන විටත් ශරීරය තුළ බෝම්බ කෑලි 4 ක් සහිතව ද ශක්තිමත් ව තමන් පෙරට යන බවත් මේ රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් පසු තමන් හමුවේ වූ විශාලම අභියෝගය වූයේ ඖෂධ මිල අඩු කිරීම බවත් අමාත්‍යවරයා පවසයි. 

මහාචාර්ය සේනක බිබිලේගෙන් ශිල්ප ගන්නටත්, ශිල්ප වලින් ඔබ්බට ගොස් ඔහුගේ ගමන් මගේ සගයෙකු වන්නටත්, එතුමන්ව නිහඩ කළද එතුමන්ගේ හඩ නිහඩ වන්නට නොදී එය යථාර්තයක් බවට පත්කරමින් ඖෂධ ප‍්‍රතිපත්තිය එළි දකින විට බිබිලේ මැතිණිය පවසා සිටියේ ‘‘රාජිත ඔබ මගේ ස්වාමියා නැවත ඉපැද්දුවා’’ යන වදන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

‘‘මේ වැඩේට අතගහන්න එපා’’ කියූ පිරිස අතරින් තම්නට එල්ල විය හැකි ජීවිත තර්ජන ගැන සලකා අවංකව කියූ අතලොස්සක් ද ඖෂධ ප‍්‍රතිපත්තිය ගෙනඒම වැලැක්වීමට අවශ්‍ය වූ කඩාකප්පල්කාරී වැඩි පිරිසක් ද විය. 

මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප‍්‍රතිපත්තිය ආරම්භයත් සමඟ කඩිගුලක් සේ ඇවිස්සුනු මේ පිරිස මට පහර පිට පහර එල්ල කරන්නට වු බවත් නමුත් තමන් මෙයට ප‍්‍රබලම අවිආයුධ වලින් සන්නද්ධ වු බවත් එම අවි ආයුද වන්නේ එම කරුණු සඳහා අවශ්‍ය දත්ත සියල්ල තමන් සතුව තබාගෙන සිටි බවද ඔහු පැවසීය. 

එහිදා වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

"ඒ අවස්ථාවේ තවදුරටත් මට අභියෝග කිරීමට නොහැකි වූ ඔවුන්ට ශ‍්‍රී ලංකාවේ ඖෂධ ප‍්‍රතිපත්තිය ඉදිරියේ දණ නමන්නට වුනා. ඉන් අනතුරුව ඔවුන්ට කළහැකි කාර්යය වූයේ ඖෂධ හිඟයක් මවා පෑමයි.  එහි දී වෙළෙඳපොල ඒකාධිකාරය බිඳහෙලමින් ගුණාත්මක ඖෂධ වලට මෙරට වෙළෙඳපොල විවෘත කරන්නට මට හැකි වුනා. මේ වැඩපිලිවෙල ක‍්‍රියාත්මක කරගෙන යන ගමනේදී මට එරෙහිව අවි අමෝරාගෙන නැගී සිටි පිරිස අතරේ මා වෙනුවෙන් කථා කරමින් මේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න උදව්කළ යොවුන් ව්‍යාපාරිකයින් පිරිසක් සිටියා.  ඔවුන් තමයි සමස්ත ලංකා ඖෂධ ව්‍යාවසායකින්ගේ සංගමය. ඒ නිසා ඔබලා එදා මට කළ උපකාරය මා සිහිපත් කරන්නේ ද ඉතා කෘතවේදී ලෙසනි.  ඖෂධ ඒකාධිකාරය බිඳහෙලමින් සාමාන්‍ය මිනිසුන්ගේ නිදහස් සෞඛ්‍ය රැකගන්නට විද්‍යාත්මක හා යථාර්ථවාදී ක‍්‍රමවේදයකට මේ සියල්ල කළමණාකරනය කරන්නට මට හැකි වුනා.  මුලින්ම ඖෂධ 48 ක මිල අඩු කළා. හැමෝම කිවුවේ දැන් ඉතින් මේ වැඩේ ඉවරයි කියලා. නමුත් විශේෂඥ වෛද්‍ය කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප‍්‍රියදර්ශනී ගලප්පත්ති කළ පර්යේෂණ වලින් තහවුරු වූයේ ඖෂධ 48 ක මිල අඩු කිරීමෙන් පසු ගුණාත්මක ඖෂධ භාවිතය නොසිතූ ලෙස ඉහළ ගිය බවයි. විවිධ ඖෂධ 7% 8% 10% මට්ටමින් වැඩිවුනා.  සියල්ල යථාර්තවාදී ලෙස විසඳුනා. සියලූදෙනාටම අසාධාරණයක්නොවන ලෙසටද, ව්‍යවසායකයන් හා වෙළෙඳ පොල කඩා නොවැටෙන ලෙසටද මේ සියල්ල කළමණාකරනය කරන්නට මට හැකිවුනා.  ඖෂධ 48 ක මිල අඩු කිරීම නිසා පාරිභෝගික ජනතාවට වසරක් තුළ අත්වූ ලාභය වන්නේ රු.මි. 4000 කි. මේ තුළින් රෝග නිවාරණයට සහ රෝග පාලනයට විශේෂම පෙළඹවීමක් ඇතිවුනා. ශ‍්‍රී ලංකාවේ ආයු අපේක්‍ෂාව වන අවුරුදු 78 ට මේ අනුව ඉදිරියේදී 80, 82 දක්වා වර්ධනය වීමට නියමිතයි. දෙවන වටයේ ඖෂධ 25 ක මිල නියාමනය කරනු ලැබුවා. රු. 280,000 ක් වූ පිළිකා ඖෂධය රු. 150,000 ක් දක්වා අඩු කරන්නට මට හැකි වුනා. ඔබ දන්නවාද මේ ඖෂධ කුමක්ද කියා. මේ තමයි අසරණ පිළිකාරෝගීන්ට ලබාදෙන විශේෂ ඖෂධය."

"මම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වෙනකොට පිළිකා රෝගියෙකුගේ ජීවිත අපේක්‍ෂාව තක්සේරු කරලා තිබුනේ රු. ලක්‍ෂ 15 කට. මිනිස් ජීවිතයකට මිලක් දෙන්න පුළුවන්ද? කාලයක් තීරණය කරන්න පුළුවන්ද? එහෙම කරන්න නම් මම වගේ මිනිහෙක් මේ සෞඛ්‍ය අමාත්‍යංශ පුටුවේ වාඩිවෙලා ඉඳලා මොකටද? ඒ නිසා මම තීරණය කළා පිළිකා රෝගීන්ට ජීවිත කාලයටම නොමිලේ ප‍්‍රතිකාර කරන්න.  එදා ලක්‍ෂ 15 න් පස්සේ ඔවුන්ට දුන්නේ වේදනා නාශක පමණයි. ඔවුන් මිය යන හැටි සජීවීව බලන් ඉන්න සිදුවුනා. හැබැයි අද ලක්ෂ 500ට වඩා වියදම් කරපු තනි රෝගීන් දහස් ගානක් ඉන්නවා. එදා රුපියල් 2,80,000 ඉන්ජක්ෂන් එකෙන් සමහර වෛද්‍යවරුන්ට කෙලින්ම රු. 1,00,000 ක් ලැබුනා.  මාත‍්‍රා 10 ක් නියම කරන කොට රු ලක්‍ෂ 10 ක් ඒ වෛද්‍යවරයාගේ සාක්කුවේ. මම නැවැත්තුවේ ඒ ඔවුන් කරපු වැඩේ. ඒ නිසා ඔවුන් මාත් එක්ක තරහ වෙන එක සාධාරණයි. මට වෛර කරන එක සාධාරණයි. හැබැයි එහෙම කියලා ඔවුන්ට තවදුරටත් අසරණ රෝගීන්ගේ ජීවිත බිල්ලට ගන්න මම ඉඩතියන්නේ නැහැ. මොන මාර හමුදාව ආවත් මම බය නැහැ. අද පිළිකාවෙන් මිසක් පිළිකාවට බෙහෙත් නෑ කියලා රෝගීන් මැරෙන්නෙ නැහැ. 95% ක් මිනිස්සු රජයේ රෝහල් වලින් ප‍්‍රතිකාර ගන්නවා. මුදල් හිමි 5% පෞද්ගලික අංශයෙන් ප‍්‍රතිකාර ගන්නවා. ස්ටෙන්ට් එක නොමිලේ දෙන්න පටන් ගත්තම මිනිස්සු බලා ඉඳිද්දි මැරෙන එක නැවතුනා. මම එද්දි 3% ස්ටෙන්ට් දාලා තිබුනෙ. ඉතිරි 97% රජයේ රෝහල් වල බයිපාස් ලයිස්තුවේ ඉඳලා මිය ගියා. එදා රෝගීන් 6 ක් ආවොත් 5ක් මැරෙණවා. අද 6 ක් ආවොත් එක්කෙනෙක්වත් මැරෙන්නෙ නැති තත්වයට පත්කරන්න අපිට හැකිවුනා. හොඳම උදාහරණය කල්මුණේ රෝහල. මේ වෙනකොට කිසිම රෝගියෙක් මිය ගිහින් නැහැ. ටෙනෙක්ටප්ලේස්, ස්ටෙන්ට් නිසා කිසිකෙනෙක් මිය ගිහින් නැහැ."

"මට ලැබෙන චන්ද වලක්වන් ඔවුන්ට හැකිවේවි.  නමුත් මට ලැබෙන පින නවත්වන්න කාටවත් හැකියාවක් නැහැ. අක්ෂිකාච, හියරින් ඒඩ්, කොක්ලියර් ඉම්ප්ලාන්ට් නිසා අද සතුටින් ඉන්න ඇස් පේන කන් ඇහෙන මිනිස්සු ප‍්‍රමාණය දරුවන් ප‍්‍රමාණය දකින විට මම ඒ සතුට අද භුක්ති විඳිනවා. රුධිර පිළිකාවලට ප‍්‍රතිකාර නැතුව කී දෙනෙක් මැරුණද. බෝන්මැරෝ ට‍්‍රාන්ස්ප්ලාන්ට් බෑ කියලා කිවුවා. විෂබීජ නිවාරණ කුටි දෙකක් හදලා 2017 ඇට මිදුළු බද්දය පටන් ගත්තා. මේ වෙනකොට කිසිම දෙනෙකුට ජීවිත හානියක් සිදුවෙලා නැහැ. ඒ වෛද්‍යවරු මාව මුණගැහිලා තවත් කුටි තුනක් ඉල්ලූවා. මම වහාම තවත් රුපියල් මිලියන 300 ක් දුන්නා. මම එනකොට අවුරුද්දකට වකුගඩු බද්ධ කලේ 40යි. දැන් ඒක 400 කට වැඩි කරන්න මට හැකිවුනා. අග්නන්‍යාෂ ද්විත්ව බද්ධය, හෘද බද්ධය ලංකාවේ අපි ඉතා සාර්ථකවම ක‍්‍රියාත්මක කරනවා. මේ රටේ තාම කරන්න බැරිවුනේ මට පෙනහලු බද්ධය විතරයි. මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය සියලූම පහසුකම් දුන්නා. නොබෝ දිනකින්ම පෙනහලු බද්ධය ආරම්භ වෙනවා. දුම්කොළ සමාගම් එක්ක මට ලොකු සටනක් කරන්න සිදුවුනා. අවුරුදු 134 ක් පැරණි සමාගම මේ නීති රීති ටික දැම්මොත් ලංකාව අතෑරල යනවා කියලා මට බොහොම නරක විදියට ප‍්‍රතිචාර දැක්වුවා.  හැබැයි ඉස්සරහට තියපු අඩිය පස්සට ගන්න කෙනෙක් නෙමේ මේ රාජිත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්වැටි නිවාරණය වෙනුවෙන් දමා ඇති කොන්දේසි 22 න් 21 ක්ම මම මේ වන කොට ලංකාව තුළ කි‍්‍රයාත්මක කරනවා. මට තාම කරන්න බැරිවුනේ තනි සිගරට්ටුව විකුණන එක නතර කරන්න විතරයි.  ඒකත් මම ඉක්මනටම කරනවා. පැණී බීම සහ සීනි වෙනුවෙන් මම වර්ණ සංකේත ක‍්‍රමය හඳුන්වලා දුන්නා. මේ ආකාරයට මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාවේ චිරස්ථිතිය වෙනුවෙන් මේ අවුරුදු තුනහමාරක වැනි සුළු කාලය තුළ මම බොහේ දේ කළා. තවත් බොහෝ දේ කළ යුතුයි. කළ හැකියි. ඒ වෙනුවෙන් මම ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග වලදී ඔබලාගේ උදව් මට අවශ්‍ය වෙනවා. ඒ මේ රටේ මිනිස්සු වෙනුවෙන් යහපතක් කරන්න. මෙවැනි සංවිධාන තවතවත් ශක්තිමත් විය යුතුයි. ඔබේ එකමුතු කම තියාගන්න. ජේසුතුමා පාවදුන්නේ ළඟම හිටිය කෙනෙක් වගේ මේවා කඩා කප්පල් කරන අය මේ අතරම ඉන්න පුළුවන්. ශක්තිමත්ව නොනැවති අවදියෙන් පෙරට යන්න."

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට සමස්ත ලංකා පුද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද, ගාල්ල දිස්ත‍්‍රික් ඖෂධ ව්‍යවසායකින්ගේ සංගමයේ සභාපති පියල් අබේසිරි ගුණවර්ධන මහතා ඇතුළු සාමාජිකයන් මෙන්ම මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි ඖෂධ ව්‍යවසායකින්ගේ සංගම් නියෝජිතයන්ද සහභාගි වූහ.

ඉදිරි ජනාධිපතිවරණය සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්ව කැමැත්තෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති ධූරය අපේක්ෂකත්වය ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු වන බව විශේෂ සංවර්ධන ඇමති වී.රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.

තලවාකැලේ ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිපයක් ජනතා අයිතියට පත්කිරිමේ අවස්ථාවට එක්වු අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මෙසේද පැවසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය. 

"එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වලට බය නෑ.තවම ජනාධිපතිවරණය ට නාමයෝජනා කැදවලා නෑ .නාමයෝජනා කැදවන අවස්ථාවේ දී අපි හොදට දුවන අශ්වයෙක් ඉදිරිපත් කරනවා. තවම එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයෙක් තීරණය කරලා නෑ.ප්‍රශ්නයක් තියෙනවා තමයි .මම හිතන්නේ අපේ නායකතුමා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා එයාගේ ස්වකැමැත්තෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාට අවස්ථාව ලබාදෙයී කියලා අපි බලාපොරොත්තු වෙනවා.ජනතාවගේ ඉල්ලීම ඒක වන නිසා ඒ ඉල්ලිම ඉටුකරයී කියලා අපි බලාපොරොත්තු වෙන්නේ ලොකෙන්ම එහෙම නැත්තං ලංකාවෙන්ම හොදම නායකයා විදියට අපි පිළිඅරගෙන තියෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව.ඒ නිසා පක්ෂය කැඩෙනවට එතුමා ඉඩ තියන්නෑ.මේ පක්ෂය ආරක්ෂා කරගැනීමට ඒ තීරණය ගනියි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහෙම අවස්ථාවක් ආවොත් ශ්‍රිලංකා නිදහස් පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දෙයිද කියලා නිෂ්චිතව කියන්න බෑ.සමහරවිට උදව් කරන්න පුළුවන්.සමහර විට ඒ පක්ෂයෙන් අපේක්ෂකයෙක් දාන්න පුළුවන්.ඒ නිසා ඒව ගැන දැන් කතාකිරිම සුදුසු නෑ කියලයී හිතන්නේ."

(ක්‍රීෂාණ්තන්)

මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඇතැම් විට තමන් තරග නොකරනු ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන් ඉවත් කිරීම පිළිබඳව ගැටලුවක් නොමැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවැසීය. 

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ‍මේ බව පැවැසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් හිතින් ගතින් ඉන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් සමග, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් සමග. අපේ පක්ෂයට ඕන කම තියෙනවානම් අපිව අයින් කරන්න කිසි ගැටලුවක් නෑ. අපිව ඉවත් කරපු දෙන් ඒක වෙනම කාරණයක්.  මන්ත්‍රීකම දේශපාලනය කරන්න තීරණාත්මක සාධකයක් කියලා අපි හිතන්නේ නෑ. ලබන සැරයේ අපි සමහරවිට තරග කරන්නෙවත් නැතිවෙයි. නමුත් අපේ දේශපාලනයේ යුග මෙහෙවරක් පංති යුතුකමක් අපිට ඉටු කරන්න තිබෙනවා. ඒක අපි ඉටුකළා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට ගිය එක මම කරපු දේශපාලන වරදක්.”

ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත්වන්නේ නම් තමන් ඔහුට සම්පූර්ණයෙන් සහය දක්වන බව කැබිනට් නොවන ජනමාධ්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (05) පස්වරුවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

කුරුණෑගල පැවති රැළියට සහභාගී නොවුණේ ඇයිද යන්න මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් රුවන් විජේවර්ධන මහතා පැවසුවේ පැවති රාජකාරී නිසා රැළියට සම්බන්ධ වීමට අවස්ථාවක් නොලැබුණු බවයි. 

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා පමණක් නොව කරු ජයසූරිය මහතා හෝ රනිල් වික්‍රමසිංහ මහතා හෝ අපේක්ෂකත්වයට ඉදිරිපත් වුවහොත් ඔවුන් ඕනෑම කෙනෙකුටද සම්පූර්ණයෙන් සහය දක්වන බව අමාත්‍යවරයා කියාසිටියේය. 

පුද්ගලයා පිළිබඳව නොව පක්ෂය ලෙස ඉදිරපත් කරන ඕනෑම කෙනෙක් ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බව හෙතෙම අවධාරණය කළේය.