April 16, 2024
Main

Main (651)

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව නව තනතුරුවලට පත්කරන පුද්ගලයන් අතරින් තමන් විසින් නම් කරනු ලැබ තිබෙන්නේ “එකම එක තනතුරක්” පමණක් බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ නීතිය හා සාමය රැකීමේ වගකීම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ට පැවරීම තමන් මෙතෙක් පවරා දී ඇති එකම වගකීම බව ද සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා දඹුල්ලේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් අවධාරණය කළේය.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා එම ප්‍රකාශය කළේ ඔහු ජනාධිපති පදවියට පත්වීමෙන් පසුවත් අගමැති ධූරයේ කටයුතු කරන්නේ තමන් බවට අගමැති රනිල් වික්‍රමසිංහ කොළඹ අරලිය ගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කිරීමෙන් අනතුරුවය.

තමන් ජනාධිපතිධූරයට පත්වුවහොත් රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත්කරන්නේ ද, නැද්ද යන ප්‍රශ්නයට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස තවමත් නිසි පිළිතුරක් ලබාදී නොමැති අතර ඔහු මේ පිළිබඳව විමසූ මාධ්‍යවේදීන්ට අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළේ මෙම මැතිවරණය ජනාධිපතිවරයා පත්කිරීමේ ජන්ද විමසීමක් මිස අගමැතිවරයෙක් පත්කරගැනීමේ ජන්දයක් නොවන බවය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාසට සහය දක්වන දේශපාලකයන් කිහිපදෙනෙකුම සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ නව අගමැතිවරයෙකු පත්කරන බවට හැඟෙන ප්‍රකාශ සිදුකර තිබුණි.

හරි ටිවී ආයතනය සමග මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සජිත් ප්‍රේමදාස පිහිටුවන නව ආණ්ඩුවේ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ ද යන ප්‍රශ්නයට මෙවන් පිළිතුරක් ලබා දුන්නේය.

“සජිත් ප්‍රේමාදාස පැහැදිලිවම ඔහුගේ කතා කිහිපයක සඳහන් කළා ඔහු පිහිටුවන ආණ්ඩුව අළුත් ආණ්ඩුවක් වෙනවා කියලා,” සජිත් ප්‍රේමදාස ගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානියකු වන තිස්ස අත්තනායක පැවසීය.

“ඔහු කියනවා මගේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ කිසිදු දූෂිතයෙකුට ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒත් එක්කම ඔහු කියනවා මම මිනිස්සු බලාපොරොත්තු වන ආණ්ඩුවක් ලෙස මේක පරිවර්තනය කරනවා කියලා. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් ඔහු මොකක්ද කරන්න යන්නේ කියලා. මිනිස්සු බලාපොරත්තු වෙනවා අළුත් ආණ්ඩුවක් අළුත් වැඩපිළිවෙලක්.”

“සජිත් ප්‍රේමදාස ජනපති ධූරයක් යටතේ ඊළඟ අගමැති වශයෙන් පත්වනු ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතරයේ සහයෝගය ඇති පුද්ගලයා යි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඒ බව පැහැදිලිව සඳහන්. අනාගත රජයක අගමැති දූෂිත හෝ අකාර්යක්ෂම පුද්ගලයකු නොවනු බවට අපි සහතික වෙමු,” යනුවෙන් සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානියකු වන හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකාර් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණි.

උඩරට ජනතාව ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාසට විජයග්‍රාහී ජයග්‍රහණයක් ලබා දී සජිත් ප්‍රේමදාස ජනාධිපති වූ විට අගමැති පදවිය උඩරටට ලබාදීම අවශ්‍ය යයි පැහැදිළිව ප්‍රකාශ කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පසුගිය (27) වැනිදා මහනුවරදී පැවැත්වුණු ජනරැළියක් අමතමින් සඳහන් කර තිබේ.පසුගිය (27) වැනිදා මාධ්‍ය හමුවක් අමතමින් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය අජිත් පී පෙරේරා පැවසුවේ සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා වූ පසු පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ඉන් බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ඇති පුද්ගලයා අගමැති ලෙස පත්කරන බවය.

තමන් බලයට පත්වුවහොත් අගමැතිධුරය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශයට පත්කර තිබේ.

ජනාධිපතිධුරයට පත්වූ වහාම අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත්කරනවා දැයි ගෝඨාභය රාජපක්ෂගෙන් ඔහු සහභාගි වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළත් එයට ඔහුගෙන් පිළිතුරු නොලැබුණි. 19 වැනි සංශෝධනය යටතේ ජනාධිපතිවරයෙකුට අගමැතිවරයා ඉවත්කළ නොහැකි බව නීතිවේදීන්ගේ මතය වී තිබෙ.

කෙසේ නමුත් එම මාධ්‍ය හමුවේදී ගෝඨාභය රාජපක්ෂ පිළිතුරු ලබා නොදුන් ප්‍රශ්නයට පිළිතුරක් දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේ නව ජනාධිපතිවරයෙක් පත්වූ පසු අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ද යළි දිවුරුම් දිය යුතු බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තු බල තුලනයේද වෙනසක් ඇතිකර මහින්ද රාජපක්ෂ අගමැති ධුරය සඳහා පත්කරන බවයි.

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම අහෝසි කිරිමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ වසන්ත සේනානායක මහතාගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරිමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ද වසන්ත සේනානායක මහතා ඉවත් කිරිමට පියවර ගෙන ඇති බව අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා සදහන් කළේය. 

වසන්ත සේනානායක මහතා පසුගියදා ප්‍රකාශයක් කරමින් පැවසුවේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් සහ ජනාධිපතිවරණයෙන් පසුව ආණ්ඩු බලය මෙහෙයවන පිරිස සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවයි.

පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේක්ෂකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් පැන නැගුණු පුරවැසිභාවය සහ ජාතික හැඳුනුම්පත් යන ප්‍රශ්න රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ මැදිහත් වීමෙන් විසදා දුන් බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ. 

දකුණු පළාත නියෝජනය කරන මෙම අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟද ඉතා සමීප සබඳකමක් තිබේ. 2010 මහ මැතිවරණයේදී රාජපක්ෂ කඳවුරට එක්වීමට කැමැත්ත පළ කර තිබුණද එය සමාජගත වීමත් සමඟම සිය අදහස වෙනස් කරගත් එම ඇමතිවරයාව එම ජන්දයේදී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. 

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට කෙරෙහි දැඩි අප්‍රසාදයකින් පසුවන මෙම ඇමතිවරයා මේ වන විටත් රාජපක්ෂ කඳවුර සමඟ සාකච්ජා වල නියැලෙමින් සිටින බව ද වාර්තා වේ. 

පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉතාමත්ම සමීප ඇමතිවරයෙකු පැමිණෙන බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිරන්තරයෙන් කරන ප්‍රකාශය පිළිබඳව සමාජයේ දැඩි අවධානයක් යොමු වී තිබේ.

එම අමාත්‍යවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට ඉතාමත් කිට්ටු වරාය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා බවට තොරතුරු ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ කටයුතු සඳහා සාගල රත්නායක මහතා මේ වන තුරුත් කිසිදු සක්‍රීය දායකත්වයක් සපයා නොමැත. 

සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය දීමට රනිල් වික්‍රමසිංහ මහතා එකඟවීම පිළිබඳව සාගල රත්නායක මහතා සිටින්නේ දැඩි කළ කිරීමකිනි. 

මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනාගෙන් සාගල රත්නායක මහතා එක් අයෙකු වන අතර අන් දෙදෙනා වන මංගල සමරවීර සහ බුද්ධික පතිරණ යන මහත්වරුන් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වීමෙන් කටයුතු කරන බව දකින්නට තිබේ. මේ නිසා යම් හෙයකින් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළ හොත් තමන්ගේ දේශපාලන අනාගතය දැඩි බලපෑමකට ලක් වන බැවින් සාගල රත්නායක මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට සූදානමින් සිටින බව වාර්තා වේ. 

ගම්පහ දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී රවුෆ් හකීම්, මංගල සමරවීර, රවී කරුණානායක, රිෂාඩ් බදියුදීන් , තලතා අතුකෝරල යන ඇමතිවරුන් ඇතුළු සමස්ත ආණ්ඩුවටම බිම වැටෙන්නට ප්‍රහාරයක් එල්ල කරන ලදී. 

ලන්සා මන්ත්‍රීවරයා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ දැඩි බාධා කිරීම් වලට හා ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දෙමින් විනාඩි 45ක පමණ වෙලාවක් කළ කතාවෙන් ආණ්ඩුව දැඩි අපහසුතාවයට පත් විය.

රවුෆ් හකීම් අමාත්‍යවරයා අප්‍රේල් 21 පාස්කු ඉරු දින ප්‍රහාරයේ මහ මොලකරු වන සහරාන් හෂීම් සමඟ පැවැත්වූ සම්බන්ධතාවයත් ඔවුන්ගේ සහය මත නැගෙනහිරින් ලබා ගත් ජන්ද පිළිබඳවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සම්බන්ධයෙන් සහරාන් හෂීම්ට කළ බලපෑම් පිළිබඳවත් ලන්සා මන්ත්‍රීවරයා කරුණු හෙළිදරව් කරන ලදී. එම කරුණ ඔහු දෙමළ බසින් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි. 

රවුෆ් හකීම් අමාත්‍යවරයා සහරාන් සහ ඔහුගේ සොහොයුරා යන ත්‍රස්තවාදීන් දෙදෙනා සමඟ පැවැත්වූ සබඳතාවයන් මත පාස්කු ප්‍රහාරය පිලිබඳ කරුණු සොයා බැලීමට කථානායකවරයා පත් කළ විශේෂ තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට රවුෆ් හකීම් මහතාට සදාචාරාත්මක අයිතියක් නැති බවද ලන්සා මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දෙන ලදී. 

ලන්සා මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කලේ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිලිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාවේ වාර්තාව සභාගත කිරීම සම්බන්ධයෙන් පැවැත්වූ විවාදයට එක්වෙමිණි.

රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් යන අමාත්‍යවරුන්ට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම් ඇමතීමෙන් වැලකී සිටින ලෙස මැතිවරණ සංවිධායක කමිටු ඉල්ලීමක් කර තිබේ.

එම අමාත්‍යවරුන් දෙදෙනාට තමන්ගේ දේශපාලන බල කඳවුරු වල පමණක් එනම් රවුෆ් හකීම් මහතාට නැගෙනහිර පළාතෙත්, රිෂාඩ් බදියුදීන් මහතාට පුත්තලම දිස්ත්‍රික්කයේ පමණක් රැස්වීම් අමතන ලෙස සංවිධායක කමිටුව ඉල්ලීමක් කර තිබේ. 

රවුෆ් හකීම් හා රිෂාඩ් බදියුදීන් යන අමාත්‍යවරුන් දෙපළටම ඉස්ලාම් අන්තවාදීන් සහ ත්‍රස්තවාදීන් සමඟ සබඳකම් පැවැත්වීම පිලිබඳ බරපතල චෝදනා එල්ල වීම සංවිධායකවරුන්ගේ මෙම තීරණයට හේතු වී තිබේ. 

එක්සත් ජාතික පාක්ෂිකයන්  ඡන්දය  දී පත්කර ගත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙනත් පක්ෂයක් බදාගෙන එක්සත් ජාතික පක්ෂයට  වින කරන නිසා එක්සත් ජාතික පක්ෂයේම පුද්ගලයෙක් ජනාධිපති තනතුරට පත් කරගෙන පක්ෂයේම  අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත්කරගැනීමට එක්සත් ජාතික පාක්ෂිකයින්  වගකීම ගත යුතුයැයි වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

ඌරුබොක්ක පස්ගොඩ පැවති පක්ෂ  ක‍්‍රියාකාරින් දැනුවත් කිරිමේ රැස්විමකදි  ඔහු මේ බව පැවසීය.

එහිදි තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පසුගිය කාල සිමාවේ හුඟාක් වැඩ කළා. වැඩ කරගෙන යනකොට නොයෙක් බාධා ආවා. ගංවතුරක් ආවා. නියඟයක් ආවා. කුණු කන්දක් කඩා වැටුණා. දින පනස් දෙකක් ආවා. පාස්කු ප‍්‍රහාරය ආවා. ඒ වගේ ගොඩාක්  බාධක ආවා. අපි එකතු වෙලා පත්කර ගත්තු අපේ ජනාධිපතිතුමා ගිහින්  පක්‍ෂයක් බදාගත්ත එක තමයි ලොකුම බාධාව වුණේ. ඒ පක්‍ෂය බදාගෙන ඒකට නැවත පණ දෙන්න උත්සාහ කරපු වෙලාවේ තමයි අපිට බාධා එන්න පටන් ගත්තේ. එක්සත් ජාතික පාක්‍ෂිකයන් තමයි ඡන්දේ දිලා එතුමා පත් කරගත්තේ අන්තිමට හිරිහැර විදින්න සිදුවුණෙත් එක්සත් ජාතික පාක්‍ෂිකයන්ටම තමයි. කොච්චර කකුලෙන් ඇද්දත් අපි රටේ සංවර්ධනය ඉලක්ක කරගෙන ලොකු වැඩ කොටසකුත් කළා. කොච්චර අමාරු වුණත් මහින්ද මහතා  සහ චන්‍ද්‍රීකා මහත්මිය  පාලනය කළ විසි අවුරුදු කාලයට වඩා වැඩි සංවර්ධනයක් පසුගිය අවුරුදු හතර හමාර තුළ  සිදු කෙරුණා. පාරවල් හැදුවේ නැති වුණාට නෙවෙයි පාක්‍ෂිකයෝ තරමක්  හිතේ අමාරුවෙන් ඉන්නේ.  ඒ අයගේ සමහර පුද්ගලික ප‍්‍රශ්න අපිට බලන්න බැරිවුණාට. අපේම ජනාධිපති කෙනෙක් ආවාම ඒ ප‍්‍රශ්න සියල්ල විසඳන්ට බැරි වුණත් බොහෝ ප‍්‍රශ්න විසඳන්නට පුළුවන් වෙයි. දේශපාලන පළිගැනීම් වලට ලක්වූ අයට විසඳුම් ගේන්න යෝජනා කැබිනට් එක දක්වා අපි ගෙනාවා."

"නමුත් එතනදි නතර වුණා. අපේම ජනාධිපති කෙනෙක් ආවොත් කැබිනට් මණ්ඩලය තමයි වෙනස් වෙන්නේ. එහෙම වුණොත් මේ හිරවුණ තීන්දු තීරණ ගන්න පුළුවන් වෙනවා. දැන් බලන්න රක්‍ෂිත නොවන ඉඩම්වල අයිතියක් නැතුව පරම්පරා ගණනක් ජීවත්වන අය ඉන්නවා. ඉඩමක අයිතිය කෙනෙකුට ඉතාම වැදගත්. ඒ අයිතිය දෙන්න අපි ඉඩම් පනත ගෙනාවා. හතර පස් වතාවක් කැබිනට් එක තුළ  කතා කළා. ජනාධිපතිතුමත් කැමති නොවුණ නිසා අපට සම්මත කරගන්න බැරිවුණා. ඒක බලපෑවේ යූඇන්පී කාරයාට විතරක් නෙවෙයි. සමස්ත ජනතාවටම ඒක බලපෑවා. මෙන්න  මේ නිසයි අපි කියන්නේ අවුරුදු විසි පහකට පස්සේ අපි අපේ ජනාධිපති කෙනෙක්, අපේ අගමැති කෙනෙක්, අපේම කැබිනට් මණ්ඩලයක් පත් කරගෙන ඉදිරියට යමු කියලා. ඊට පස්සේ අපේම පළාත් සභාවකුත් අනතුරුව අපේම ප‍්‍රාදේශීය සභාවලූත් පත්කරගෙන ඉදිරියට යායුතුයි.  මේ යාන්ත‍්‍රණය අපේ පක්‍ෂය සතුව තිබ්බා නම් වැඩකටයුතු නිම කරන්න පහසු වෙනවා. නිහඬව සිටි එක්සත් ජාතික පක්‍ෂිකයන් සජිත් මහත්තයා ආවත් එක්ක දැන් අපිත් එක්ක යළි සම්බන්ධවෙලා  තියෙනවා. එක කණ්ඩායමක ඡන්ද වලින් කාටවත් දිනන්න බෑ. පොහොට්ටුවේ ඡන්දවලින් ගෝඨාභය මහත්තයට දිනන්නත් බෑ. යූඇන්පී ඡන්ද වලින් සජිත් මහත්තයට දිනන්නත් බෑ. අපි මැද ඉන්න අයයි දිනාගන්න  ඕනෑ”  යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉතාමත්ම සමීප මන්ත්‍රීවරයෙක් නුඳුරේදීම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

 එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ඉදිරි දින කිහිපය ඇතුළත එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයන් කිහිප දෙනෙක් අපිට සහයෝගය දක්වන්න කථා කරගෙන යනවා. රනිල් වික්‍රමසිංහ මහතාට ඉතාම සමීප කෙනෙක් සමග සාකච්ඡා කරගෙන යන්නේ. ඒ සාකච්ඡා අවසන් වූ විගස අපිට බොහෝ දුරට හෙළි කරන්න පුළුවන් වෙයි.”

ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා කිසි දිනක යුද බිමට නොගිය බවත් ඔහු කිසිදිනක තමන්ට යුද්ධය වෙනුවෙන් උපදෙස් නොදුන් බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප‍්‍රකාශ කළේය.

එදාත් ඔහුට යුද්ධය නොතේරුණු බවත් අදත් එය එසේම බවත් පැවසූ ෆොන්සේකා මහතා හමුදාව ලක්ෂ පහක් යැයි ඔහු පසුගිය දිනක කී නමුත් ත‍්‍රිවිධ හමුදාව හා පොලිසිය එක්ක ගෙන බැලූවත් එහි සිටියේ ලක්ෂ තුනක් පමණක් යැයි ද කියා සිටියේය.

තමන් යුද හමුදාපතිවරයා ලෙස යුද්ධය මෙහෙය වූයේ භූමිය අල්ලා ගැනීමට නොව සතුරන් මරා දැමීමට යැයි ද එසේ නොවුනේ නම් භූමිය අල්ලා ගෙන ඉදිරියට යද්දී ත‍්‍රස්තවාදින් යළි එම භූමින් අල්ලා  ගන්නා බව කී ෆීල්ඞ් මාෂල්වරයා ත‍්‍රස්වාදින් 35,000  ක් සිටි බවත් එයින් 23,000 ක් මරා දමා අනෙක් 12,000 කට ආසන්න පිරිස අත් අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කළ බවත් සඳහන් කළේය.

සරත් ෆොන්සේකා මහතා මේ අදහස් පළ කළේ වෝක්ෂෝල් වීදියේ පිහිටි සජිත් පේ‍්‍රමදාස මහතාගේ කාර්යාලයේ දී ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සෙබළුන් කිසිවිටෙකත් ටයි කෝට් ඇඳි අයෙකුගේ අණ නොපිළිපදින්නේ යැයි ද ඔවුන් නිරන්තර පිළිගන්නේ නිල ඇඳුම් ඇඳි අයෙකුගේ අණ පමණක් යැයි ද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් ආරක්ෂක ප‍්‍රශ්න රටේ පවතින්නේ යැයි ද එහෙත් ඒවා දේශපානයට යොදා ගත යුතු නැතැයි ද කී ෆොන්සේකා මහාතා කිසිවිටෙකත් ආරක්ෂාව හා දේශපාලනය පටලා ගත යුතු නැතැයි ද කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවත් ඔහුට කරන්නට වන්නේ ආරක්ෂක ලේකම් තනතුරේ වැඩකටයුතු යැයි ද ඒ සඳහා අගමැතිවරයා අණ දෙනු ඇතැයි ද ඊට හොඳම උදාහරණය වන්නේ දැනටමත් ඔහු අයියාගෙන් අසා පිළිතුරු දීම යැයි ද හෙතෙම සඳහන් කළේය.

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ධූරයට පත්වූ පසු තමන්ට ආරක්ෂක ඇමැතිකම දුන්නත් නැතත් එක්සත් ජාතික පාක්ෂිකයෙකු ලෙස තමන් එම පක්ෂය ජයග‍්‍රහණය කරවීමට බැදී සිටින්නේ යැයි ද ඇමති ධුරය ලැබුණොත් කිසිදු අවස්ථාවක කිසිදු අන්දමකින් රටේ භෞමික අඛණ්ඩතාවයට හානිවන අන්දමේ සිදුවීමක් වන්නට ඉඩ නොතබන්නේ යැයි ද කී ෆොන්සේකා මහතා   ජාති කුල ආගම්භේද හෝ පළාත් භේද නොතකා සියලු දෙනා රකින්නේ යැයි ද පැවසීය.

නීතිය හා සාමය ගැන කථා කරද්දී අදත් මත්ද්‍රව්‍ය උවදුර ගැන කථා නොකරන බව පැවසු මන්ත‍්‍රීවරයා කිසිදු නායකයකු සද්භාවෙයන් ඊට අත නොගැසූ බවත් වත්මන් පාලකයා පවා ඒ පිළිබඳව කථා කළේ දේශපාලන වාසියක් වෙනුවෙන් බවත් එල්ලා මැරීම ගෙනැවිත් ඔහු උත්සාහ කළේ දේශපාලනය වෙනුවෙන් ජීවිත හතරක් බිලිදීමට වුවත් එම පිරිස ගේ වාසනාවකට ඔවුන් බේරුණු බවත් සඳහන් කළේය.

අද සිටින පාතාලය පවා වැඩ පටන්ගත්තේ ඉකුත් පාලන සමයේ බව පැවසූ ෆොන්සේකා මහතා තමන් ආරක්ෂක ඇමැති ධූරය ලැබුණොත් පාතාලය අනිවාර්යයෙන්ම තුරන් කර දමන බවද කියා සිටියේය.

හමුදාවන්හි වසර 22 ක සේවයෙන් පසු විශ‍්‍රාම ගන්නා පිරිස වෙනුවෙන් රක්නා ලංකා ආරක්ෂක සේවය ආරම්භ කළ නමුත් හිටපු ආරක්ෂක ලේකම්වරයා නියෝග කර තිබුණේ එහි රැකියාවක් ලබාගන්නට නම් ප‍්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වරයාගෙන් ලිපියක් ලබාගෙන පැමිණිය යුතු බව යැයි ද ඔහු ප‍්‍රකාශ කළේය.

එවකට රතුපස්වල සිද්ධියට දුන් නියෝග ක‍්‍රියාත්මක කළ නිලධාරින් සිරගත වූ බව ද හලාවත ඇන්ටනි, කටුනායක රොෂේන් වැන්නන්ට වෙඩි තැබූ අය සිරගත වූ බවද එකී නියෝග නිකුත් කළ තැනැත්තන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවද හෙතෙම කියා සිටියේය.

ටී එන් ඒ සංවිධානයේ යෝජනා ගැන අදහස් දැක්වූ ෆොන්සේකා මහතා එම යෝජනා දෙස බැලීමට සිදුව ඇත්තේ රටේ ජාතික සමගිය සංහිදියාව හා සමගිය යන කරුණු සමඟ යැයි ද බලය බෙදීම රටේ ඒකීය භාවයට හානි නොවන පරිදි යැයි ද කී මන්ත‍්‍රීවරයා යලි ත‍්‍රස්තවාදයක් නොඑන්නට නම් එවැනි යෝජනා දෙස බැලිය යුතු යැයි ද කීය.

මෙම මාධ්‍ය හමුවට යුද හමුදා මුලස්ථානයේ හිටපු මනෝවිද්‍යා අධ්‍යක්ෂ මේජර් ජනරාල් උපුල් විතානගේ සහ 55 වන සේනාංකයේ හිටපු නියෝජ්‍ය සේනාධිපති මේජර් ජනරාල් නිශ්ශංක රනවන යන මහත්වරු ද සහභාගී වූහ.-*----------------------------------------

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලැබී තිබේ.

මේ වන විට කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු සිය සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බව සඳහන් කළේය.

දින 52 ආණ්ඩුවේද විජයදාස රාජපක්ෂ මහතාගේ සහාය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන්නේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට එක්ව තිබේ.

මෙම මාධ්‍ය හමුවේදී මන්ත‍්‍රීවරයා එක්සත් ජාතික පක්‍ෂයට දැඩිව දෝෂාරෝපණය කලේය.

ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ද මෙම අවස්ථාවට එක්ව සිටිති.