March 29, 2024
Main

Main (651)

ඉදිරි මැතිවරණය් වෙනුවෙන් ගොඩනැගෙන නව සන්ධානය සහ ලකුණ සම්බන්ධයෙන් ඇති අර්බුධය පිළිබද සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ හමුවක් හෙට (22) දින කොළඹ දී පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ඇතැම් සුළු පක්ෂ වෙන්ව තරඟ කිරීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙම රැස්වීම සූදානම් කර ඇති බව ඔවුන් පවසයි.

මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත් වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනය කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ විශාල ජනතාවක් සිටින බැවින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මහ මැතිවරණයට කුරුණෑගලින් ඉදිරිපත් වූ බවත්, ඒ අනුව මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනය කරන බවත් මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේදී එජාපයට හිමිව තිබූ ඡන්ද ප්‍රමාණය අඩු මට්ටමක පැවැති අතර එනිසා සජිත් ප්‍රේමදාස මහතාට කොළඹින් මහ මැතිවරණයට ඉදිරිපත් වන ලෙසද යෝජනා කර තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාද මෙවර මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට නියමිතය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසන්නේ ඉදිරි මහා මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අපේක්ෂා කරන බවයි.

සයින්දමරුදු වලට විතරක් නොව කල්මුණේ දෙමල ජනතාව ඉල්ලන ප්‍රාදේශීය සභාවද ඉක්මනින් ලබා දිය යුතු බව බොදුබල සේනා මහ ලේකම් පුජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි. 

කල්මුනේ දෙමල ජනතාවගේ මෙම ඉල්ලීම ඉතා සාධාරණ එකක් බවද උන්වහන්සේ සඳහන් කරයි.

කල්මුනේ දෙමළ ජනතාව වසර 30ක පමණ සිට මෙම ඉල්ලීම කරන බව සඳහන්  කරන උන්වහන්සේ ඒ සඳහා උපවාස හා සත්‍යග්‍රහද කළ බවද උන්වහන්සේ පෙන්වා දෙයි. 

සයින්දමරුදු ප්‍රදේශයට නගර සභාවක් දීම නිවැරදි තීන්දුවක් බව පෙන්වා දෙන උන්වහන්සේ ඉන් කිසිවෙකුත් කලබල විය යුතු නැති බවද ප්‍රකාශ කරයි.

කල්මුනේ මැතිවරණ කොට්ටාශයේ බහුතර මුස්ලිම් ජාතිකයන් වේ. 

වියත්තු ආවේ පොහොට්ටුවෙන් පස්සේ බවත් පොහොට්ටුව හදද්දී වියතුන් උගතුන් සිටි බවත් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පවසයි.

අලුත් වියතුන් අපිට අවශ්‍ය නැති බවත් වර්තමානයේ පවතින පාර්ලිමේන්තුවෙත් වියතුන් සිටියදී මේ රටෙ මේ තත්වයට පත් වී ඇති බවත් ඔහු අවධාරණය කරයි.

මන්ත්‍රීවරයා මේබව පැවසූවේ හිරු රූපවාහිනිය සමඟ වැඩසටහනට එක්වෙමිනි.

මාස දෙකකට ලබා ගන්නා ඇමැති ධුරයකට වඩා වසර පහක් සඳහා ලබාගන්නා ඇමති ධුරයක් වටිනා බව අවුරුදු පහක ඇමති ධූරයකින් රටට වැඩක් කරන්නට තමන් බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

එජාපයේ තිබෙන අර්බුදය දුරදිග යාමෙන් පසු මේවන විට සජිත් පාර්ශවය හදවත ලකුණින් නව සන්ධානයෙන් තරඟ කිරීමටත් එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් වෙනම තරඟ කිරීමටත් බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

මේ අතර එජාපයෙන් මහ මැතිවරණයට තරඟ කරන වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට මුදල් ලබා දීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි එජාප ආරංචි මාර්ග පැවසී ය.

ඒ අනුව එක් මන්ත්‍රීවරයෙකුට මූලික ප්‍රතිපාදනයක් ලෙස රුපියල් ලක්ෂ 25ක් බැගින් වූ මුදලක් ලබා දීමට කටයුතු කරන බවට රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) පාර්ලිමේන්තුවේ පැවැති සාකච්ඡාවකදී එජාප මන්ත්‍රී කණ්ඩායමකට දැනුම් දී තිබේ.

සංවිධාන කටයුතු ඇරඹීම සඳහා මෙම මුදල ලබාදී ඉදිරි කටයුතු සඳහාද ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා එම රැස්වීමේදී මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇතැයි එම ආරංචි මාර්ග පැවසී ය.

මෙම රැස්වීමට එජාප නායකයාට අමතරව අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, ආශු මාරසිංහ, රෝහිණී වීජේරත්න, මුජිබර් රහුමන් ඇතුළු පිරිසක් සහභාගී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පක්ෂය කුමන තීරණ ගත්තද, අද වන විට රට මුහුණ දී ඇති තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා ආදි ආනන්දීයයෙකු ලෙස තමන් ජනාධිපතිවරයාට සහය දක්වන බවට හිටපු අමාත්‍ය එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී කල ප්‍රකාශය මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වල දැඩි විවේචනයට ලක්ව තිබේ. 

රට ගොඩනැගීම සඳහා සියළුම ආනන්දීයයන්ට එකතුවන ලෙස ජනපතිවරයා ඇරයුම් කළ බවත් තමන්ද ආනන්දීයයෙකු වශයෙන් ජනාධිපතිවරයා කළ ඇරයුම පිළිගන්නා බවත් මන්ත්‍රීවරයා පැහැදිලි කර තිබේ.

පක්ෂ තුල දේශපාලන තීන්දු තීරණ කුමක් වුවත් රට වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගවලට සහය දක්වන ඔහු එහිදී පවසා තිබේ. එහෙත් පහුගිය ජනාධිපතිවරණ සමයේදී ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවේ සිට ප්‍රකාශ කරන ලද්දේ මහින්ද රාජපක්ෂ මහතා 2015 පරාජය වුයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියාකාරකම් නිසා බවත් ගෝඨාභය රාජපක්ෂ සිය අපේක්ෂකයාට අභියෝගයක් නොවන බවත්ය. 

මහින්ද රාජපක්ෂ මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ මහාමාර්ග අමාත්‍යවරයාව සිටියදී මෙන්ම ජනාධිපතිවරයා ලෙස වරාය හා මහාමාර්ග අමාත්යංශය තමා යටතේ තබා ගත් අවස්ථාවේ සැලකිය යුතු මහාමාර්ග රැසක ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ගත්තේ දයා ගමගේ මහතාට අයත් සමාගම් විසිනි. 

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී පෙර දැනුම් දීමකින් තොරව ඔහුගේ කාර්යාලය වෙත ඕනෑම අවස්ථාවක යෑමට දයා ගමගේ මහතාට හැකිව තිබු බව ප්‍රකට කරුණකි. 

මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වන මුවාවෙන් සිය ව්‍යාපාර කටයුතු වලට අවශ්‍ය සහයෝගය ලබා ගැනීම දයා ගමගේ මන්ත්‍රීවරයාගේ අරමුණ වී තිබෙන බව ප්‍රකට කරුණකි. 

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනගන සන්ධානයේ සම සභාපති ධූරය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා නොදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග සදහන් කළේ ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ඡන්ද සටන මෙහෙයවීම, පොදුජන පෙරමුණේ නායක, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සිදුකෙරෙනු ඇති බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මැතිවරණ සටන මෙහෙයවීමට එක්වනු ඇති අතර පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙයුම් කළමනාකරු වශයෙන් කටයුතු කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ ‌වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් එක්ව, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් නව සන්ධානයක් පිහිටුවා ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට දැනටමත් තීරණය කර තිබේ.

එම සන්ධානයේ එක් එක් පක්ෂවලට හිමිවන අපේක්ෂක සංඛ්‍යාව ආදි කරුණු ගණනාවක් පිළිබඳ ඉදිරි සති කිහිපය තුළ සාකච්ඡා කර තීරණය කෙරෙනු ඇතැයි වාර්තා ‌වේ.

මේ වන විට සිංගප්පූරුවේ සිටින බව පැවැසෙන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා හැකිනම් ලංකාවට ගෙන්වා ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

කොළඹ පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව පැවැසීය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට හෝ ගෙන්වා ගැනීමට වත්මන් රජය කටයුතු නොකරන බවත් ඔහු  ප්‍රකාශ කළේය.

එසේම මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවෙක් බවට පත්ව ඇති උදයංග වීරතුංග මහතාද හැකිනම් ලංකාවට ගෙන්වා ගන්නා ලෙස තමන් අභියෝග කරන බවත් ඔහු පැවැසීය.

ඉදිරි මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තනිව තරග කිරීමට සලස්වන ලෙස ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඒ සඳහා කටයුතු කරන ලෙස තමන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගෙන් සහ බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

සමීක්ෂණ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග රටෙන්ම දිනාගත හැක්කේ ආසන හතරක් පමණක් යයිද ඔහු සඳහන් කළේය.

පොළොන්නරුවේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

වත්මන් ආණ්ඩුවට ඇති  ඇති ලොකුම ප්‍රශ්නය බැසිල් රාජපක්ෂ බව මහාචාර්ය නලින් ද සිල්වා චෝදනා කරයි.

එසේම මේ වන විට ඇමරිකාවට ගොස් සිටින බැසිල් ලංකාවට නොඑන තරමට හොඳ බවත් ඔහු පවසයි. 

මහාචාර්ය නලින් ද සිල්වා මේ බව සඳහන් කළේ ඒෂියන් මිරර් අප සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

පොදුජන පෙරමුණේ උඩ සිටින උද්දච්ච කිහිපදෙනෙකු පාලනය ගෙන යාමට බාධා කරන බවටත් ඔහු එහිදී චෝදනා නැගූ අතර බැසිල් රාජපක්ෂ රටට ලොකු ප්‍රශ්නයක් බවත් පැවසීය.

ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප සහය නොගැනීමට සහ ශ්‍රීලනිපය වෙනුවට තමන්ගේ බලය පැතිරුණු පක්ෂයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය ඇතිව බැසිල් රාජපක්ෂ කටයුතු කරන බවත් ඔහු පැවසීය.

පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ, සංවිධාන එකතුව ගොඩනගන සන්ධානයේ මූලිකත්වය ගෝඨාභය ජනාධිපති ගත යුතු බවත් ඔහු පැවසීය.

මහාචාර්ය නලින් ද සිල්වා මෙහිදී මහින්ද රාජපක්ෂ අගමැතිවද විවේචනය කල අතර ඒ  19 ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමට විශාලම කාර්ය භාරයක් කළේ මහින්ද රාජපක්ෂ බව අමතක නොකල යුතු බව පවසමින්ය.

19 සංශෝධනය ගෙනා මෛත්‍රීපාල සිරිසේන පසුව ඒගැන කණගාටුව ප්‍රකාශකර නමුත් මහින්ද රාජපක්ෂ අඩුම තරමින් සිදුවූ අතපසුවිම  සම්බන්ධයෙන් මෙතෙක් කනස්සල්ලක්වත් පළකර නැතැයි මහාචාර්ය නලින් ද සිල්වා එහිදී පැවසීය.