April 19, 2024
Main

Main (651)

ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහතා පොලීසියට නියෝග කරයි.

ලීසිං සමාගම් එසේ වාහන අත්පත් කරගැනීමට පෙර පොලීසිය දැනුවත් කරන්නේ නැත. ඔවුන් පොලීසියට පැමිණිලි කරන්නේ වාහනය අත්පත් කරගැනීමෙන් පසුවය. බලහත්කාරී ලෙස කරන මෙවැනි පැහැරගැනීම් ඇතැම් විට බරපතල ප්‍රචණ්ඩත්වයට මුල් වී තිබේ. අත්පත් කරගැනීමෙන් පසු ලැබෙන පැමිණිලි නැවත දැනුම් දෙනතුරු භාර නොගන්නැයි ජනාධිපතිවරයා වැඩබලන පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී ඇත.

කොවිඩ් 19 ව්‍යාප්තිය සමග පීඩාවට පත් විවිධ කණ්ඩායම් වලට රජය ප්‍රදානය කළ සහන සමූහය යටතේ ත්‍රීවිල් රථ හිමියන් විසින් ගෙවනු ලබන ලීසිං ණය වාරික අයකරගැනීම මාස 6 කට අත්හිටුවනු ලැබීය. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් පසුගිය මාර්තු 23 වැනිදා නිකුත් කරන ලද 16/2020 චක්‍රලේඛයේ දෙවැනි වගන්තියේ ඒ බව පැහැදිලිව සඳහන් වෙයි.

එසේ තිබියදී ණය වාරිකය නොගෙවීම මත වාහන අත්පත් කරගැනීම රජයේ නියමය කඩ කිරීමක් වන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එබැවින් ණය වාරික නොගෙවීම මත වාහන අත්පත් කරගැනීමට ඉඩ නොතබන ලෙස ද එතුමා පොලීසියට දැනුම් දී තිබේ. 

ඉකුත් 09 වැනිදා කොල්ලුපිටිය තානාපති කාර්යාලය ඉදිරිපිට දී හා ලිප්ටන් වටරවුම අසලදී අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජීකයින් 53 දෙනාම රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසුව නිරෝධායනයට යැවීම සඳහා ලැයිස්තු සුදානම් කර තිබූ බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙයි.

මෙම ලැයිස්තු සකස් කර තිබෙන්නේ කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ දී වන අතර එම අවස්ථාවේ දී බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද එහි රැඳී සිටි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා එ්ෂියන් මිරර් වෙත ප්‍රකාශ කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් 53 දෙනා සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය ගොනු කළ චෝදනා මත ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාර වෙතැයි යන විශ්වාසය මත මෙම ලැයිස්තුව සැදූ බවද ඔහු පෙන්වා දෙයි.

එහෙත් අත්අඩංගුවට ගත් අය ඉදිරිපත් කර අධිකරණ විසින් 53 දෙනාම ඇප මත මුදා හරින ලදී.

මුදල් හා ජනමාධ්‍ය හිටපු ඇමැති මංගල සමරවීර මහතා සමඟි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත්වීමේ දේශපාලන ක්‍රියාදාමය නිසා සමඟි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුව කඩාකප්පල් වූ බව හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ අනුව දකුණු පළාතේම ඔවුන්ගේ ඡන්ද පදනමට එයින් බලපෑමක් වූ බව ද ඒ මහතා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ ක්‍රියාදාමය අවසන් මොහොත දක්වාම සමඟි ජන බලවේගයේ නායකයන් දැන සිටියේ නැතැයි ද ඉදිරියේ දී තවත් මෙවැනිම වූ දේශපාලන ක්‍රියාන්විත දැක ගැනීමට හැකි වනු ඇතැයි ද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

මහ මැතිවරණය එළඹෙන අගෝස්තු 05 වන දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මීට සුළු වේලාවකට පෙර සඳහන් කළේය.

ඒ මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවක දීය.

ජූනි මස 20 වන දින පැවැත්වීමට නියමිතව තිබු මහ මැතිවරණය, 2020 අගෝස්තු මස 5 වන දින පැවැත්වීමට සුදුසු බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති  මහින්ද දේශප්‍රිය, සාමාජික ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර හා සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් යන අය විසින් ඒකමතිකව තීරණය කළ බවද ඒ මහතා පැවසීය.

ඒ සඳහා වු ගැසට් නිවේදනය කොමිෂන් සභාවේ සාමාජිකයින් විසින් අත්සන් තබා රජයේ මුද්‍රණාධිපතිවරයා වෙත යැවු බවද මහින්ද දේශප්‍රිය මහතා හෙළි කළේය.

කටුනායක ගුවන් තොටුපොළේ දී සෞඛ්‍ය පරික්ෂණවලට සහභාගී නොවී එම ස්ථානයෙන් පිටව ගිය ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයා තානාපති කාර්යාලයේ අනුයුක්ත රාජතාන්ත්‍රිකයෙකු නොව හින්දු-පැසිෆික් ඇමෙරිකානු හමුදාවන් හී නිලධාරියෙකු බවට අනාවරණයක් අමාත්‍ය විමල් වීරවංශ මහතා කර තිබේ.

ඇමෙරිකානු තානාපති කාර්යාලයට ඔහු ගැන තොරතුරු ඉදිරිපත් කරන ලෙස අභියෝගයක් ද කළ අමාත්‍යවරයා එසේ කළහොත් අදාළ පුද්ගලයා ගැන තවත් කරුණු රැසක් හෙළිදරව් කිරීමට තමන් සුදානම් බවද වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

අදාළ තැනැත්තා කටුනායක ගුවන් තොටුපොළේ දී සෞඛ්‍ය පරික්ෂණ මඟ හැරියේ ඔහු හින්දු-පැසිෆික් හමුදා කණ්ඩයක සේවය කරන නිසා බවද වීරවංශ මහතා පේනවා දෙයි.

මීට පෙර ඇමෙරිකාවට එරෙහිව දැඩි විරෝධයක සිටි වීරවංශ මහතා මේ අවස්ථාවේ නිහඬව සිටින්නේ ඇයිදැයි සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනෙකු ප්‍රශ්න කර තිබුණි.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගය සමග එක්වූ සියලූ එජාප පළාත් පාලන මන්තී‍්‍රවරුන් පක්ෂ සාමාජිකත්වයෙන් සහ මන්තී‍්‍ර ධුරවලින්ද ඉවත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (08දා) තීරණය කර ඇත.

ඒ අනුව ඊට අදාළ සියලූම නීති කටයුතු කි‍්‍රයාත්මක කිරීමට සහ මැතිවරණ කොමිසමට ඒ පිළිබඳව නිල වශයෙන් දැනුම් දීමට පක්ෂයේ නීතිඥ මණ්ඩලයට බලය පැවරීමටද එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර තිබේ.

පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ සිරිකොත එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.

සමගි ජන බලවේගය මගින් නාමයෝජනා භාර දුන් ආසන සංවිධායකයින් වෙනුවට නව ආසන සංවිධායකයින් පත් කිරීමට ද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ තීරණය කර තිබේ.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂයේ උපදේශකයකු ලෙස පත්කිරීමට ද ඊයේ තීරණය කර ඇති අතර ඒ අනුව ඒ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයකු බවටද පත්වනු ඇත.

ඉදිරි මහ මැතිවරණයේ මෙහෙයුම් කටයුතු කිරීමට අදාළව හිටපු ඇමැති සාගල රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුතු නව පුද්ගල කමිටුවේ විශේෂ වාර්තාව රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත භාරදීමට ද ඊයේ කටයුතු කර තිබේ.

කෙසේ වුවත් පක්ෂයේ සභාපති ධුරය සහ නියෝජ්‍ය නායක ධුරය සඳහා ඊයේ දිනයේ ද කිසිවකු පත් කර නොමැත.

මහා මැතිවරණය අගෝස්තු 08 හෝ අගෝස්තු 20 යන දින දෙකෙන් එකකදී ස්ථීරවම පැවැත්වෙන බව මැතිවරණය කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

අගෝස්තු 08 වැනිදා ඡන්දය පැවැත් වුණහොත් 09 වැනිදා ඡන්දය ගණන් කොට 10 වැනිදා වනවිට ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කොට අවසන් කිරීමට නියමිත අතර අගෝස්තු 20 වැනිදා ඡන්දය පැවැත්වුවහොත් 21 ඡන්දය ගැන 22 දෙක ඡන්ද ප්‍රතිඵල නිකුත් කොට අවසන් කිරීමට නියමිතය.

අප්‍රේල් 25 හා ජූනි 20 යන දෙදිනම මහා මැතිවරණය පැවැත්වීමට නම් කර තිබුණද පවතින වසංගත තත්ත්වය හමුවේ එය කල් දැමීමට මැතිවරණ කොමිසමට සිදුවිය.

සතියක පමණක කාලයක් ඉක්මා තිබුණද සමගි ජන බලවේගයේ පිරිසකගේ එ.ජා.ප සාමාජීකත්වය අත් හිටුවන ලද ලිපි ලැබී නැතිබව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

සමගි ජන බලවේගයේ නායක පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 99 කට මෙසේ ලිපි නිකුත් කරනු ලැබුවේ එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයකට අනුව වෙන අතර එම ලිපි එහි මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ බව එ.ජා.ප ආරංචි මාර්ග සඳහන් කරයි.

එහෙත් මේ 99 දෙනාට ලිපි යැව්වේ කුමන ලිපිනවලටද යන්න දැන් ප්‍රශ්නයක් වී තිබේ.

සෞඛ්‍ය නීති පිළිපදිමින් පෙරහුරු මැතිවරණයක් හෙට (07) පෙරවරු 10 සිට දහවල් 12 දක්වා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්වේ.
 
ඡන්දදායකයින් 200ක් පමණ පිරිසක් මේ සදහා යොදා ගැනීමට නියමිතය.

සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යැමේදි මතුවිය හැකි ගැටලු හදුනා ගැනීම මේ වැඩපිලිවෙලේ ප්‍රධාන අරමුණ වේ.
 
දුරස්ථභාවය පවත්වාගෙන යමින් ,මුඛ ආවරණ හා විෂබීජහරණ  දියර භාවිතා කරමින් ජාතික හැදුනුම්පත් අතින් නොඅල්ලමින් යනාදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මේ මැතිවරණ පෙරහුරුව පැවැත්වීමට නියමිතය.

පසුගිය රජය විසින් 2019 වසරේදී විවිධ සේවාවන් ලබා ගෙන සැපයුම්කරුවන්ට නොගෙවූ මුදල රුපියල් බිලියන 240.7 ක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදී අනාවරණය කර ඇත.

එම මුදලින් බිලියන 196.6 ක් වර්තමාන රජය විසින් ගෙවා දැමූ බවද පැවැසූ අගමැතිවරයා තවත් බිලියන 44.1 ක් ගෙවිය යුතුව ඇතැයි ප්‍රකාශ කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

පොහොර සහනාධාරය සඳහා පෞද්ගලික සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 15 ක්, රජයේ පොහොර සමාගම්වලට බිලියන 08 ක්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී සහනාධාරය සඳහා රුපියල් බිලියන 45.8 ක්, වෛද්‍ය සැපයීම් සහ අනෙකුත් සෞඛ්‍ය සේවා සඳහා බිලියන 31 ක්, අධ්‍යාපන අංශ සේවා සඳහා බිලියන 01 ක්, අනෙකුත් අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සඳහා බිලියන 20 ක්, පුනරාවර්තන සේවා වෙනුවෙන් ගෙවීමට තිබූ බවද ඇමැතිවරයා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.