April 20, 2024
Main

Main (651)

කවුරු ආවත් නාවත් තමන් මුස්ලිම් කොංග්‍රසයේ තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු සමග ආණ්ඩුවට සහාය දීමට යන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක නසීර් අහමඩ් මහතා පක්ෂ නායකත්වයට දැනුම් දී තිබේ.

මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක් වීම සඳහා කටයුතු කිරීම මේ වන විට පක්ෂ නායක රවුෆ් හකීම් මහතාට බරපතල ප්‍රශ්නයක් වී තිබේ.

සමගි ජන බලවේගය සංධානගත පාර්ශවයක් වුවත් පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තම පක්ෂය ස්වාධීන තීරණයක් ගන්නා බවද මුස්ලිම් කොංග්‍රසය ප්‍රකාශ කොට තිබෙන්නේ මෙම ප්‍රශ්නය නිසා ය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බලවේගය විරුද්ධ බව මේ වන විට ප්‍රකාශ කොට තිබේ. ඒ අනුව මුස්ලිම් කොංග්‍රසය ඒ පිළිබඳව ස්වාධීන තීරණයකට එළඹීම යනු ඔවුන්ගේ සහය 20 වෙනි සංශෝධනයට හිමිවෙන බව තහවුරු කිරීමකි.

මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හා සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් හැර ඔවුන් නායකත්වය දරණ පක්ෂවල මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය ආණ්ඩුවට ලබා ගැනීම සඳහා පොදුජන පෙරමුණ කටයුතු කරමින් සිටින බව ප්‍රකට කරුණකි.

නසීර් අහමඩ් මහතා මීට පෙර නැගෙනහිර මහ ඇමතිවරයාව සිටියදී ඔහුට හමුදා නිලධාරියකු ගරුසරු නොකිරීම මත එම හමුදා නිලධාරියාට දොස් පැවරීමේ සිද්ධියකට එවකට විශාල ප්‍රචාරයක් ද ලැබුණි.

රටට අවශ්‍ය වන්නේ 19 වෙනි ව්‍යවස්ථාවට පැලැස්තර ගසා ඉදිරිපත් කරන 20 වෙනි ව්‍යවස්ථාවක් නොව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බව පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේණාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කරයි.

ඕනෑම ආණ්ඩුවක් පළමු වසර හා වසර එකහමාර ඉක්මවා යන විට ආණ්ඩුවේ ජනප්‍රියත්වය හීන වන බැවින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට මේ සුදුසුම කාලය බවද උන්වහන්සේ පෙන්වා දෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාපති ධූරයට ගෙන ඒමටත් පොදුජන පෙරමුණ බලයට ගෙන ඒමටත් දැඩි කැප කිරීමකින් කටයුතු කළ උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන්නේ ආණ්ඩුවේ සිටින පරණ කට්ටිය සමග කටයුතු කිරීම ඉතා අසීරු බවය.

එනිසා නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා පාර්ලිමේන්තුවේ සිටින නව මන්ත්‍රීවරුන් සමඟ කැරැල්ලක් ගැසිය යුතු බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි.

විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කිසිඳු ගැටලුවක් ඇති නොවන බවට තමන්ට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) අරලියගහ මන්දිරයේදී පැවසීය.
 
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරුන් සහ පුවත්පත් කතුවරුන් අතර පැවති හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.
 
මෙම හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට මෙසේ පිළිතුරු ලබා දුන්නේය.
 
මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමාගේ මතය කුමක්ද ?
 
අග්‍රාමාත්‍යවරයා – ආණ්ඩුවක් වුණාම, ආණ්ඩුව ගන්න මතය තමයි මගේ මතය වෙන්නෙ. 20 වැනි සංශෝධනයට කිසි ගැටලුවක් වෙන්නෙ නැහැ.
 
මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්බන්ධව සිටින පක්ෂ විසින් කමිටු පත්කරලා තියෙනවා නේද ?
 
අග්‍රාමාත්‍යවරයා – හැම පක්ෂයකටම ඒ සම්බන්ධයෙන් කමිටු පත්කරන්න අයිතියක් තියෙනවා. නමුත් අවසානයේ අපි එක මතයකට එනවා. විසිවැනි සංශෝධනය ගැන අපි සියලු දෙනා සමඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමෙදි කතා කළා. මම දැක්කා විපක්ෂයත් කමිටුවක් පත් කරලා තිබුණා.
 
මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනයෙන් පසුව අග්‍රාමාත්‍යතුමා නාමික වෙනවා ද ?
 
අග්‍රාමාත්‍යවරයා – නෑ. නාමික වෙන්නෙ නෑ. අග්‍රාමාත්‍යතුමා අතේ තමයි ඒක තියෙන්නෙ.
 
මාධ්‍යවේදියා – ඉන්දීය අග්‍රාමාත්‍යතුමා සමඟ පැවැති සාකච්ඡාවේදී 13 වැනි සංශෝධනයට බලකළා කියලා මාධ්‍ය වාර්තා ඉදිරිපත් වුණා.
 
අග්‍රාමාත්‍යවරයා – දැනට තිබෙන ව්‍යවස්ථාව තමයි ක්‍රියාත්මක වෙන්නෙ. පළාත් සභා මැතිවරණය කල්දැම්මෙ කවුද ? ඡන්ද නොතියා හිටියෙ කවුද කියලා ඔබ දන්නවා. අපි කළේ නියමිත පරිදි ඡන්ද තියපු එක.
 
මාධ්‍යවේදියා – අලුත් ව්‍යවස්ථාවක් ගෙන එනවාද ?
 
අමාත්‍ය උදය ගම්මන්පිල මහතා – අමාත්‍ය මණ්ඩලය නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා. ඒ සඳහා ජනමත විචාරණයකට යන්න වෙනවා.
 
අග්‍රාමාත්‍යවරයා – මුළු ව්‍යවස්ථාවම වෙනස් වෙනවා නම් ජනමත විචාරණයකට යන්න අවශ්‍යයයි. හැබැයි අපට ඒ ජනවරම පැහැදිලිව ලැබිලා තියෙනවා.
 
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා – 19 ව්‍යවස්ථාව ඉවත් කළ යුතුයි කියලයි ජනවරම ලැබුණෙ. එය කෙටි කාලින විසඳුම. අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම දිගුකාලීන විසඳුම වෙනවා.
 
මාධ්‍යවේදියා – අග්‍රාමාත්‍යතුමා දේශපාලනයෙන් විශ්‍රාම යනවා කියලා ප්‍රවෘත්තියක් පළවෙලා තිබුණා ?
 
අග්‍රාමාත්‍යවරයා – දේශපාලඥයො කවුද විශ්‍රාම ගියේ ? මම විශ්‍රාම යන්නෙ නැහැ.
 
මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනය සම්මත වෙන්න දෙන්නෙ නැහැ කියලා එක පැත්තක් කියද්දි විස්සට විස්සක් ගන්නවා කියලා ආණ්ඩුවෙන් කියනවා.
 
අග්‍රාමාත්‍යවරයා – අපට තුනෙන් දෙකක බලයක් ජනතාව දී තිබෙනවා. පක්ෂවලට, පුද්ගලයන්ට තව තව මතවාද තියෙන්න පුළුවන්. ස්ථිර ලෙසම අපට තුනෙන් දෙක තියෙනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා.
 
මාධ්‍යවේදියා – විස්සට අත උස්සන්න ආණ්ඩුවට ගන්න මන්ත්‍රීවරුන්ට තනතුරු දෙනවාද ?
 
අග්‍රාමාත්‍යවරයා  – අපට 150 තියෙනවා. තනතුරුවලට එන මන්ත්‍රීවරුන් දැන් නෑ. මේකත් කියන්න උවමනායි. මම නම් 19 ට ඡන්දෙ දුන්නෙ නෑ.
 
අමාත්‍ය විමල් වීරවංශ මහතා – 20ට විරෝධය දක්වන්න පාර්ලිමේන්තු විරෝධයට ආපු නැති අය ගැන හෙව්වොත් කවුද අපට සහය දෙන්නෙ කියලා හොයා ගන්න පුළුවන් වෙයි.
 
මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනයට ඔබතුමා පත්කළ කමිටුවේ වාර්තාව සමාජගත නොකළේ ඇයි ?
 
අග්‍රාමාත්‍යවරයා  – ඒක මට බලාගන්න දීපු එකක්. (සිනාසෙයි) අවශ්‍ය සංශෝධන කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කළ හැකියි.
 
මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහත්වරු සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ.

සහරාන් හෂීම්ට නිදහසේ මෙරට තුළ ක්‍රියාත්මක වීමට පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් නොසැළකිලිමත් ක්‍රියාකලාපයන් හේතු වු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද ජනාධිපති කොමිසම හමුවේ පිළිගෙන තිබේ.

පාස්කු ප්‍රහාරයට පෙර සහාරාන්ගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වන “ආමි මොහිදින්“ අත්අඩංගුවට ගැනීමට හැකියාවක් උදාවු අවස්ථාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එම අත්අඩංගුවට ගැනීම සිදුකළේ නම් පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමටද ඉඩ තිබු බව එහිදි වැඩිදුරටත් සාක්ෂිදෙමින් ඔහු කියා සිටියේය.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සාක්ෂි ලබාදීම සඳහා ඊයේ (28) ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ සිව්වන දිනටය.

එහිදී, රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ 2017 මාර්තු මස 10 වන දින කාන්තන්කුඩි ආලියාර් මංසන්ධියේ ඇතිවු ගැටුම සම්බන්ධයෙන් සහරාන් හෂීම් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබියදිත් පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළේ මන්ද යන්නය.

එයට පිළිතුරු දෙමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේ අදාළ සැකකරුවන් ඒ වනවිට එම ප්‍රදේශයෙන් පළාගොස් බවත් ඔවුන් පදිංචි ස්ථිර ලිපිනයක් පිළිබඳ නොදැන සිටීම සහ ඇතැම් පුද්ගලයින් එම සැකකරුවන් සඟවාගෙන සිටීම මෙම අත්අඩංගුවට නොගැනීමට හේතු වූ බවත් ය.

එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ සහරාන් සමග සබඳතා පැවැත්වු ආමි මොහිදින් නැමැත්තා සැඟව සිටින ස්ථානය රාජ්‍ය බුද්ධි සේවය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩයස් නම් නිලධාරියාට පෙන්වා දී තිබියදීත් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර නොමැත්තේ මන්ද යන්නය.

"මේක හරි ව්‍යාකූල තත්ත්වයක්. ඔවුන් ඒ අවස්ථාවේ වහාම වරෙන්තුකරුව අත්අඩංගුවට ගත යුතුව තිබුණා. අත්අඩංගුවට ගැනීමෙන් පසු නීති කෘත්‍යයන් ඉටුකර ඔහුව තොරතුරුකරුවෙකු ලෙස භාවිතා කිරීම ගැටලුවක් නැහැ. නමුත් ඔවුන් ආමි මොහිදින් නැමැත්තාව තොරතුරුකරුවෙකු ලෙස භාවිතා කළායැයි වාර්තාවෙන්නේ සැකකරු අත්අඩංගුවට නොගත් පසුබිමක," යැයි පූජිත් ජයසුන්දර මහතා සක්ෂි ලබාදුන්නේය.

එහිදී, ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා විමසා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලද අවස්ථාවේ ආමි මොහිදින් අත්අඩංගුවට ගත්තානම් ඔහුගෙන් සහරාන් හෂිම්ගේ ත්‍රස්ත ජාලය පිළිබඳ  තොරතුරු අනාවරණය කරගෙන මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබුණා නොවේද යන්නය.

"ඔව් ස්වාමිනි, මට දැන් එහෙම හිතෙනවා. ආමි මොහිදින් සහරාන් සමග පවත්වා ඇති සම්බන්ධතාවය බලද්දි ඔහු අත්අඩංගුවට ගත්තානම් බොහෝ කරුණු හෙළිදරව් කරගන්න තිබ්බා. එහෙම හෙළිදරව් වුණානම් ඒ ඔස්සේ සහරාන් ඇතුළු අනිකුත් සැකකරුවන්වත් අත්අඩංගුවට ගෙන මෙවැනි ප්‍රහාරයක් සිදුවීම වළක්වා ගන්න තිබුණා," යැයි ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී, ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා පෙරළා විමසා සිටියේ සහරාන්ට නිදහසේ කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ නොසැලකිත්මත් ක්‍රියාකලාපය හේතුවුණා කියන එක ඔබ පිළිගන්නවාද යන්නය.

"ඔව් ස්වාමිනි, මම එක පිළිගන්නවා. සහරාන්ට නිදහසේ කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවුණා කියන එක," යැයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පිළිතුරු ලබාදුන්නේය.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටියේ අප්‍රේල් 09 දින රාජ්‍ය බුද්ධි සේවයෙන් සහ ජාතික බුද්ධි ප්‍රධානියා ඔබ වෙත යොමුකරන ලද ප්‍රහාරයක් පිළිබද පුර්ව දැනුවත් කිරීමේ විදෙස් බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ඔබ කුමන ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ ද යන්නය.

"ස්වාමිනි, මම ඒ ලිපියට FNA කියලා දාලා, මගේ යටතේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 04 දෙනෙක්ට යැව්වා. ඒ යැව්වෙත් පණිවුඩකරුවන් සිව්දෙනෙක්ගේ අතේ. මම එක නිශ්චිත වැදගත් තොරතුරක් ලෙස සැලකුවා. එකයි එහෙම කළේ, " යැයි පූජිත් ජයසුන්දර මහතා පිළිතුරු ලබාදුනි.

"ඇයි ඔබ FNA කියලා දැම්මේ. ඔබ පොලිස්පතිවරයා ලෙස ඊට වඩා වැඩියමක් සදහන් කළ යුතුව තිබුණා නේද..? ඇයි කළයුතු දේ පිළිබඳ උපදෙස් දීමක් සිදු නොකළේ," යැයි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙහිදි විමසා සිටියේය.

"ස්වාමිනි, FNA කියන්නේ For Necessary Action කියන එක. නමුත් සමහර අය මේක For No Action හැටියට අපහාසාත්මකවත් අරන් තිබ්බා. මේක නිශ්චිත තොරතුරක් විදේශ බුද්ධි අංශයකින් එවපු. නමුත් මීට අදාළව කිසිම තොරතුරක් අපේ රාජ්‍ය බුද්ධි සේවයෙන් සොයාගෙන තිබුණේ නැහැ. ඔවුන් මේක වගකීම් සහගත විදිහට නෙමෙයි එවලා තිබ්බේ. මොකද, ඉහත සඳහන් තොරතුර පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කරනවා," යැයි මේකේ සදහන් වෙනවා. ඒ කියන්නේ අවසානයක් නැහැ. නිලන්ත ජයවර්ධන ප්‍රමුඛ රාජ්‍ය බුද්ධි සේවයට තියෙන පහසුකම් හා වරප්‍රසාද එක්ක බලද්දි ඔවුන්ට නිරතවෙන්න තියෙන එකම වෘත්තීමය ක්ෂේත්‍රය තමයි බුද්ධි තොරතුරු කියන්නේ. එහෙම වටපිටාවක් තුළත් ඔවුන් මේකට කිසිවක් එකතු කර තිබුණේ  නැහැ. විදෙස් බුද්ධි තොරතුර විතරයි. නමුත් ඒ තොරතුර වැදගත්. මේක මට එද්දි Top Secret Eyes Only කියන එක ගහලා තිබ්බේ. Eyes Only කියන්නේ මගේ අවධානයට විතරයි කියන එක. නමුත් එක මගේ අවධානයට විතරක් යොමුවෙලා මදි නිසා තමයි ක්‍රියාත්මක විය හැකි මගේ යටතේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරින් 04 දෙනාට යැව්වේ. මෙවැනි දෙයකට ක්‍රියාත්මක විය යුතු ආකාරය ඔවුන් දන්නවා," යැයි පූජිත් ජයසුන්දර මහතා පැහැදිලි කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, "මට ස්වාමිනී ඒ වෙද්දි විස්තරාත්මකව උපදෙස් දීමට හැකියාවක් තිබුණේ නැහැ. ඒ වෙද්දි තිබ්බ දේශපාලන වටපිටාවත් එක්ක කතා කළේම සංහිදියාව ගැන. මට දේශපාලනිකව පීඩා ආවා. වැඩේ කෙරෙන්නත් ඕනේ. හැබැයි අනිත් පැත්තට චෝදනා එන්නත් පුළුවන්. ඒ නිසයි මම මේ ලිපිය මේ විදිහට මගේ පහළ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට යොමු කළේ. අනික මම මේ වෙලාව වෙද්දි රටේ නායකයා මාත් එක්ක තිබ්බ අමනාපකම් සහ ගැටලු ගොඩකින් පීඩා විඳලා හිටියේ. නමුත් ඒකෙන් කියවෙන්නේ නැහැ මම රාජකාරිය පැහැර හැරියා කියලා. මොකද රාජ්‍ය බුද්ධි සේවය හෝ කවුරුන් හෝ මට ත්‍රස්තවාදි ක්‍රියා ගැන තොරතුරු දිලා තිබුණේ නැහැ. කියලා තිබුණේ අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයින් අභිප්‍රේරණය කරනවා කියලා විතරයි," යනුවෙන් ජයසුන්දර මහතා වැඩිදුරටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසීය.

මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ප්‍රධාන සංශෝධන 4ක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

දැනට ඉදිරිපත් කර ඇති 20 වැනි සංශෝධනයට අඩංගු නොවන 7 වැනි උප ලේඛනයේ දිවුරුම හෙවත් “රටේ ඒකීයභාවය පිළිගන්නා“ යන කොටස නැවත ඇතුළත් කිරීම ඉන් ප්‍රධානම සංශෝධනයක් වන බව රජයේ ආරංචි මාර්ග පැවසීය. 

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සංඛ්‍යාව තිදෙනෙකු ලෙසත්, එහි මෙතෙක් සඳහන් නොවූ ඝණපූරණය සාමාජිකයන් දෙකක් ලෙසත්, නව වගන්තියක් ඇතුළත් කිරීමටත්, තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගැනීමටද නව සංශෝධන ලෙස ඉදිරිපත් කිරීමට සූදානම් වේ.

මැතිසබය තෝරාපත් කරගත් පසු එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන කාලය නිශ්චය කෙරෙන සංශෝධනය මෙම සංශෝධනවලට එක් කෙරෙන සිව්වැනි සංශෝධනය වේ.

දැනට ප්‍රකාශිත ව්‍යවස්ථා කෙටුම්පතෙහි සඳහන් වන්නේ මැතිසබය තෝරා පත්කර වසරකට පසු ජනාධිපතිවරයාට එය විසුරුවා හැරිය හැකි බවයි. එය යහපාලන රජය 19 වැනි සංශෝධනය ගෙන ඒමට පෙර ක්‍රියාත්මක වූ විධිවිධානයමය. එහෙත් එම කාලසීමාව වසරක් නොව වසර 2 1/2 ක් විය යුතු යැයි රජයේම ප්‍රබල පාර්ශ්ව ගණනාවක් සඳහන් කර ඇති බැවින් එම කරුණ සිව්වැනි සංශෝධනය ලෙස ඉදිරිපත් කිරීමට නියමිතය.

සෙසු වගන්ති සංශෝධනය කිරීමක් ගැන මෙතෙක් සාකච්ඡා වී නොමැත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයටත් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමටත් ප්‍රකාශ කර තිබුණේ පසුගිය ජනාධිතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් තමන් ජනතාවට පොරොන්දු වූ ලෙස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුලින්ම අහෝසි කළ යුතු බවය.

ඒ සඳහා රජයට ජනතාව මැතිසබයේ 2/3ක ජනවරමක් ලබාදී ඇති බැවින් තමන්ගේ එකම අරමුණ එම ජනතා අභිලාෂය ඉටුකිරීම බවත් ජනපතිවරයා ප්‍රකාශ කර තිබිණි. 

බන්ධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රැදවියන් 33 දෙනෙකු කඩිනමින් බූස්ස බන්ධනාගාරයට මාරුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර ආරංචි පැවසුවේ මාරු කිරීමට අවශ්‍ය රැදවියන් මේ වනවිට හදුනා ගනිමින් සිටින බවයි.

තවදුරටත් බන්ධනාගාර තුළ සිට විවිධ අපරාධ මෙහෙයවන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන පිරිස් පිළිබද අවධානයෙන් පසු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

බන්ධනාගාර තුළ සිට ජංගම දුරකතන භාවිත කරන රැදවියන් සම්බන්ධයෙන් ද තොරතුරු රැස් කරමින් සිටින අතර බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට හදුනා ගන්නා රැදවියන් එහි වෙන වෙනම සිරමැදිරිවල රඳවා තැබීමටයි තීරණය කර ඇත.

මේ වනවිටත් බූස්ස බන්ධනාගාරයේ සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රැදවියන් 46 දෙනෙකු මෙලෙස වෙන වෙනම රඳවා සිටියි.

වාරියපොල බන්ධනාගාරයේ සිටි ‘‘අඩා’’ නමින් හදුන්වන රැදවියාද මීට  දින කිහිපයකට පෙර බූස්ස බන්ධනාගාරයට මාරු කෙරිණි. ඒ, ඔහු එම බන්ධනාගාරයේ සිට විවිධ නීතිවිරෝධී කි‍්‍රයාවන් සිදුකරන බවට ලැබුණු තොරතුරු මතයි.

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සහ ආණ්ඩුවේ මැති ඇමැති ධුර දරන 35 දෙනෙකු ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මෙම මැති ඇමැතින්ගෙන් බහුතරය පසුගිය යහපාලන රජය නියෝජනය කළ හිටපු ඇමැතිවරු බවද වාර්තා වේ.

දූෂණය, අයථා ලෙස වත්කම් රැස් කිරීම සහ රජයේ මුදල් අවභාවිතය යන චෝදනා මෙකී මැති ඇමැති පිරිසට එල්ල වී තිබේ.

යහපාලන රජය යටතේ ප්‍රබල ඇමැතිධුර දැරූ තිදෙනකුට දැනටමත් අධි චෝදනා යටතේ නඩු පවරා ඇත. එසේම වත්මන් රජය නියෝජනය කරන මැති ඇමැතීන් තිදෙනකුටද නඩු පවරා තිබේ.

යහපාලන රජය කාලයේ විපක්ෂයේ ප්‍රධාන භූමිකාවක් නියෝජනය කළ පක්ෂයක ප්‍රබල මන්ත්‍රීවරයකුටද අල්ලස් දූෂණ චෝදනාවක් එල්ලකර ඇති අතර ඒ ගැනද මේ වනවිට පරීක්ෂණ අරඹා ඇතැයි වාර්තාවේ.

පසුගිය රජය කාලයේ රජයේ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් බංකොලොත් වන ආකාරයට ගනුදෙනු සිදුකළ හිටපු ඇමැතිවරුන් තිදෙනකුට දූෂණය යන වරදට අදාළව අද හෙටම නඩු පැවරීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කැරලි 12ක් පැමිණි බවත් ඒ සෑම කැරැල්ලකින්ම වික්‍රමසිංහ මහතාව බේරා ගත්තේ තමන් බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රථම වතාවට හෙළිදරව් කර තිබේ.

ඒ සෑම කැරැල්ලක් මැඩ පැවැත්වූයේ තමන් බවත් ඒ සෑම කැරැල්ල පිළිබඳවම තොරතුරු තමා ළඟ අදටත් තිබෙන බවද අබේවර්ධන මහතා අවධාරණය කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකකම්, උප නායකකම් ඇති කළේ හුදෙක් එම කැරලි මර්දනය කිරීමේ පටු අරමුණින් බවද අබේවර්ධන මහතා පෙන්වා දෙයි.

පක්ෂයට අනවශ්‍ය මෙම නියෝජ්‍ය නායක හා උප නායකකම් අහෝසි කරන ලෙස වරක් තමන් ඇතුළු පිරිසක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යෝජනාවක් සම්මත කර ඊට විසඳුම් ලබා දුන්න ද පසු කාලීනව යළිත් එම තනතුරු ඇති කිරීම පක්ෂයේ හානියට හේතු වූ බවද අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

තමන් හොඳින් කෙළෙහිගුණ දන්නා පුද්ගලයකු බවත් තමන් තුළ තියෙන දක්ෂතා පෙන්වීමට අවස්ථාවක් දුන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිසා තමා ඔහු වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.

ඒ නිසා තමන් අද දවසේ මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝජන කරන කඳවුරට ප්‍රතිවිරුද්ධ කඳවුර නියෝජනය කලත් එය නොසලකා හිටපු ජනපතිවරයා වෙනුවෙන් පෙනී සිටින බවද අවධාරණය කරයි.

තමාගේ දක්ෂතා වලින් බොහෝ දෙනෙකු ප්‍රයෝජන ගත්තා මිස තමන්ට වැඩ පෙන්වීමට අවස්ථාවක් ලබා නොදුන් බව පෙන්වා දෙන ගුණරත්න මහතා හිටපු ජනාධිපතිවරයා තමාට මධ්‍යම හා ඌව ආණ්ඩුකාර පදවි ලබා දෙමින් තම දක්ෂතා පෙන්වීමට අවස්ථාව ලබාදුන් බවද සඳහන් කරයි.

එහෙත් හිටපු ජනාධිපතිවරයාගෙන් උපකාර ගත් බොහෝ දෙනෙකු අද ඔහුව අමතක කර දමා තිබුනත් තමා හොඳින් කෙළෙහි ගුණ දන්නා කෙනෙකු බව ගුණරත්න මහතා වැඩිදුරටත් සටහන් කරයි.

වසර දෙකක කාලයක් කිසිදු සේවාවක් ඉටු නොකළ ව්‍යාපෘති කාර්යාල 05ක් වසා දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම කාර්යාල සඳහා රජයේ මුදල් රුපියල් කෝටි 25 කට අධික මුදලක් වියදම් කර ඇත. ඒ අනුව රජය එම ව්‍යාපෘති කාර්යාල පිළිබඳ තීන්දුවක් ගැනීමට රජය සූදානම් බව වාර්තාවේ.  

මෙම ව්‍යාපෘති කාර්යාලවලට අමතරව පසුගිය වසරේදී පමණක් ව්‍යාපෘති සම්බන්ධිකරණ ඒකකයක් පවත්වා ගෙන යාම සඳහා රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් රජයෙන් ලබා දී ඇති බව අනාවරණය වී ඇත.  

බස්නාහිර කලාපීය හා මහ නගර සැලසුම් ව්‍යාපෘතිය වහාම වසා දැමීමට දැනටමත් තීරණය කර ඇත. මෙම ව්‍යාපෘති කාර්යාලය සඳහා 2018 වසරේදී රුපියල් මිලියන 10.22 ක්ද 2019 දී රුපියල් මිලියන 19.04 ක්ද වැය කර ඇත.  

විද්‍යා හා තාක්ෂණ නගර ව්‍යාපෘති කාර්යාලය සඳහා වර්ෂ 2018 දී මිලියන 40.11 ක්ද 2019 දී මිලියන 48.22 ක් ද වියදම් කර ඇති බවත් සමුද්‍රීය නගර ව්‍යාපෘතිය සඳහා 2017 හා 2018 වර්ෂවලදී රුපියල් මිලියන 47.2 ක් ද, ගුවන් නගර හා පරිපාලන නගර ව්‍යාපෘතිය සඳහා 2018 දී රුපියල් මිලියන 80.7 ක් ද, 2019 දී රුපියල් මිලියන 29 ක් ද වැය කර ඇති බවත් වාර්තා වේ.  

මෙම සියලු ව්‍යාපෘති ගිය වසර දෙක තුළදී කිසිදු කාර්යයක් ඉටු නොකර කාර්ය මණ්ඩලවලට මුදල් වැය කිරීම පමණක් කර තිබෙන බව ද රජයේ ආරංචි මාර්ග පැවසීය.

බස්නාහිර කලාපීය හා මහ නගර සැලසුම් ව්‍යාපෘතිය ආරම්භ කර ව්‍යාපෘති කාර්යාල ආරම්භ කර තිබුණේ හිටපු මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික මහතාය.