March 29, 2024

කොරෝනා ආසාදනය වීම සීමා කරන්න ‘දුම් ඇල්ලීම‘ පිළිබඳ තීරණය කරයි Featured

වෛරසය ආසාදනය වීම සීමා කර ගැනීම සඳහා ඖෂධීය ශාක පත්‍ර යොදාගෙන දුම් ඇල්ලීම පිළිබඳව කොවිඩ් 19 සඳහා වන පර්යේෂණ කණ්ඩායම ඒකමතිකව තීරණයක් ගෙන ඇති බව එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

"වෙනිවැල් ගැට හා කොත්තමල්ලි ගැන විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය කරන ලද පරීක්ෂණ දැන ගන්න ලැබුණා. බැක්ටීරියා ආසාදනය සඳහා කොත්තමල්ලිවල ඇති වටිනාකමත් වෛරස් ආසාදනයන් සඳහා වෙනිවැල්ගැටවල තියෙන ප්‍රයෝජනයත් පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. කොවිඩ් 19 සඳහා පර්යේෂණ කණ්ඩායමක් පත් කරලා තියෙනවා..එහි ප්‍රධානත්වය දරන්නේ මම. එම කමිටුව ඒකමතිකව තීරණය කළා දුම් ඇල්ලීමේ ඇති වැදගත්කම පිළිබඳ.“

“චීනේ අය උණුවතුර බීමත් දුම් ඇල්ලීමත් විවිධ ක්‍රමවලට පාවිච්චි කරනවා අපි දකිනවා. ඒ නිසා එහි වටිනාකම තහවුරු කරන්න අපි දැනට පර්යේෂණ ගණනාවක් ආරම්භ කරලා තියෙනවා. එතෙක් පර්යේෂණ කණ්ඩායමක් ලෙස ඒකමිතිකව තීරණය කළා ඖෂධීය කොළ වර්ග යොදා නිවසේ සිට සිදු කරන දුම් ඇල්ලීම. එහිදී ඇස් ආරක්ෂා කරගෙන ඉරියව්ව පවත්වා ගැනීම ඉතාම වැදගත්." යැයි වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වැඩිදුරටත් පැවසී ය.

Last modified on Tuesday, 07 April 2020 14:26