April 24, 2024

මුඛ ආවරණ පැළදීම අත්‍යාවශ්‍ය නැත්නම් කළ යුත්තේ කුමක්ද? Featured

කොරෝනා වෛරසයෙන් බේරෙන්න මුඛ ආවරණ පළඳින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මුලින් ප්‍රකාශ කළ ද මේවන විට ප්‍රකාශ කරන්නේ මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බවයි. මේ හේතුවෙන් ජනතාව කළ යුත්තේ කුමක්ද යන්න ප්‍රශ්නකාරී තත්වයකට මුහුණ දී තිබේ. කොරෝනා වෛරසයයෙන් ආරක්ෂා වීම සඳහා මුඛ ආවරණ පැළඳිය යුතුද? නැද්ද? මේ ගැන සොයා බැලීමට අප තීරණය කළේය.

මුඛ ආවරණ පැළදිය යුතුද? නැද්ද? යන්න පිළිබඳ නිවැරදි වැටහීමක් නොමැති තවත් සැලකිය යුතු පිරිසක් සිටින බව ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන අදහස් සහ මාධ්‍ය වාර්තා දෙස බැලීමේදී පෙනී යයි. නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා වඩාත් සුදුසු පියවර ලෙස මුඛ ආවරණ පැළඳීම යෝග්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පළමුව පෙන්වා දෙනු ලැබූ නමුත් මේ වනවිට එය දෑත් පිරිසිදුව තබා ගැනීමත් සමාජ දුරස්ථභාවය ඇති කර ගැනීමත් දක්වා වෙනස් වී තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ මග තොටදී මුඛ ආවරණ පැළඳීමට තරම් අවශ්‍යතාවක් නොමැති බව ද දැන් සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කරති. මේවන විට වෙළඳ පොළ තුළ මුඛ ආවරණවල හිඟයක් දක්නට ලැබෙනු අතර ඒවායේ මිළ පාලනයට මැදිහත් වන්නට ද රජයට සිදුවිය.

කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇති අයෙක් පොදු ස්ථානවලට හෝ ජනාකීර්ණ ස්ථානවලට යන්නේ නම්, මුඛ ආවරණයක් පැළදීම වඩාත් සුදුසු බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර මහතා පසුගිය ජනවාරි 27 වැනිදා රජයේ නිල පුවත් අඩවියට ප්‍රකාශ කර තිබිණි. මීට අමතරව, ලෙඩරෝගවලින් ආරක්ෂාවීම පිළිබඳ සමාජ ජාල ඔස්සේ සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දෙන පාර්ශව ද මුඛ ආවරණ පැළදීමේ වැදගත්කම හා ඒවා නිවැරදිව පළදින ආකාරය ගැන ජනතාව දැනුවත් කිරීමට පළමුව පියවර ගෙන තිබුණි. මේ වන විට ඔවුන් ද මුඛ ආවරණ භාවිතයට වඩා දෑත් පිරිසිදුව තබා ගැනීම හා වෙනත් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම වඩාත් යෝග්‍ය බව ප්‍රකාශ කරයි.

මුඛ ආවරණ හිඟයක්

මුඛ ආවරණයක් පැළඳීම තමන්ට රෝග බෝවීම වළක්වා ගැනීමට මෙන්ම අන් අයට තමන්ගෙන් රෝග පැතිරයාම වළක්වා ගැනීමට ඉවහල්වන ආරක්ෂිත උපක්‍රමයකි. එබැවින් කොරෝනා වෛරසය ආසාදිත චීන කාන්තාවක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වීමත් සමගම මුඛ ආවරණ සඳහා ඉල්ලුම එක්වරම ඉහළ ගියේය. ඒ තුළින් මුඛ ආවරණවල හිඟයක් රටපුරා ඇති වූ අතර ඇතැම් වෙළෙන්දෝ අධික ලාභයක් ලැබීම සඳහා ඒවා වැඩි මිලට අලෙවි කරන්නට විය.

වැඩි මිළට අලෙවිය වැළක්වීම සඳහා රජය මුඛ ආවරණ සදහා පසුගිය ජනවාරි 29 වෙනිදා උපරිම සිල්ලර මිලක් නියම කළේය. මේ අතර ප්‍රමාණවත් මුඛ ආවරණ වෙළඳපොළට කඩිනමින් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය දේශීය නිෂ්පාදකයන් තිදෙනෙකුට දැනුම් දී තිබිණි. ඒ අවස්ථාවේදී නිෂ්පාදකයින් ප්‍රකාශ කර ඇත්තේ අමුද්‍රව්‍ය වැඩි වශයෙන් ගෙන්වන්නේ ද චීනයෙන් බැවින් එකවර නිෂ්පාදනය වැඩි කිරීමේ ගැටලුවක් ඇති බවය.

මුඛ ආවරණයක වැදගත්කම

Image result for how to face mask

මුඛයෙන් හා නාසයෙන් ශරීරයට ඇතුළු වන වෛරසයන්ගෙන් ආරක්ෂා වීමටත් ආසාදිත තත්ත්වයකට පත්වූ පසු තමාගෙන් බාහිර පරිසරයට වෛරසය මුදා හැරීම පාලනයටත් මුඛ ආවරණ භාවිතා කරනු ලබයි. හුස්ම ගැනීමේදී වාතයේ ඇති වෛරස් අංශු සියයට 95ක් හෝ සියයට 99ක් අතර ප්‍රමාණයකින් නාසයෙන් ශ්වසන පද්ධතියට ඇතුළු වීම වැළැක්වීමට මෙම මුඛ ආවරණවලට හැකියාව තිබේ.  බැක්ටීරියා, වෛරසය හා විෂබීජ මගින් ඇතිවන බෝවන රෝග පාලනයට පමණක් නොව වායූගෝලීය දූෂණයන්ගෙන් ආරක්ෂා වීමටද මුඛ ආවරණ භාවිතා කරනු ලබයි. බොහෝ විට අප මුඛ ආවරණයක් පැලදීම පිළිබදව අවධානය යොමු කරන්නේ අවදානම් සහගත තත්වයකදී පමණයි. නමුත් වායුගෝලීය දූෂණය ඉහළ මට්ටමක පවතින බොහෝ රටවල මිනිසුන් මුඛ ආවරණ පැලඳීම ඉතා සුලභව දක්නට ලැබෙන කාරණයක්.

මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් නෑ

Image may contain: 1 person, text that says 'සාමාන්‍ය ජනතාව එදිනෙදා ජීවිතයේදී කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීමට මුබ ආවරණ පැළැඳීම මේ අවස්ථාවේදී අවශ්‍ය නොවේ -වසංගත රෝග විද්‍යා අංශය- අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ පණිවුඩයක්'

කෙසේ වෙතත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් මෙරටින් හමුවීමත් සමග මුඛ ආවරණ පැලඳීම ගැන විවිධ අදහස් පලවිය.

“සමස්ත ලංකාවේම ජනතාව මුඛ ආවරණ පැලඳිය යුතු තත්ත්වයකට රට පත්වෙලා නැහැ. ඒත් අවධානයෙන් සිටීම හොඳ දෙයක්. විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයන් ගැබිනි මවුවරුන් මුඛ ආවරණ පැලඳීමට කටයුතු කරනවානම් හොඳයි. ඒත් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. ජනතාව මුඛ ආවරණ පැලඳිය යුතු නම් ඒක සෞඛ්‍ය අංශ විසින් දැනුවත් කරාවි. ඒත් තාම එහෙම තත්ත්වයක් නැහැ. හැබැයි අපි කියන්නේ නැහැ මුඛ ආවරණ පලඳින්න එපා කියලා. අපි කියන්නේ සමස්ත ජනතාවටම මුඛ ආවරණ පැලඳිය යුතු තත්ත්වයේ අවදානමක් රට තුළ නැහැ කියලා විතරයි.“ යනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් කිසිඳු ප්‍රකාශයක් තවමත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින්ම මහජනතාවට නිවේදනය කර නොමැති බවත්, මිනිසුන් ඒවා පැළඳිය යුතු සෞඛ්‍යමය කරුණු සහ නිවැරදිව මුඛ ආවරණ පළඳින ආකාරය පිළිබඳව හරි හැටි නොදැන පැළඳීම මඟින් සෞඛ්‍යමය ගැටළු මතුවිය හැකි බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය සඳහන් කළාය.

එසේ මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් තවමත් නැතැයි ද ඇය අවධාරණය කර සිටියාය.

දැන් අවශ්‍ය සමාජ දුරස්ථභාවයයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ සමාජීය වශයෙන් කොරෝනා වෛරසයේ පැතිරීමක් නොමැති බැවින් මුඛ ආවරණ පැළදීම අත්‍යාවශ්‍ය නොවන බවයි.

ආහාර ලබාදෙන ස්ථානවල හා ඇතැම් රජයේ කාර්යාලවල මුඛ ආවරණ නොමැති පාරිභෝගිකයින් ඇතුළු කර ගැනීමට මැලි කමක් දක්වන බවට හෙළි වී ඇතැයි ද වෛද්‍යවරයා කියා සිටියේය.

මුඛ ආවරණ පැළඳීම වැඩිවීම තුළ සමහර වේලාවට කළ යුතු ඇතැයි දේ අමතක කරන බවත් ඇතැම් විට මුඡ ආවරණ නොමැති වීමට හැකියාවක් ඇති බවත් එනිස මේ අවස්ථාවේදී මුඛ ආවරණ භාවිතා නොකල යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

මුඛ ආවරණ නොමැති ජනතාව බැංකු, වෙළෙඳ ස්ථාන, රජයේ කාර්යාලවලට ඇතුළු කර නොගන්නා තත්වයක් ඇතිව තිබෙන බවත් එය වැරදි තත්වයක් බවත් පෙන්වා දෙන අනිල් ජාසිංහ මහතා කළ යුත්තේ එම ආයතනය සමාජ දුරස්ථභාවය ඇති කර ගත හැකි මට්ටමේ වැඩපිළිවෙලක් සකස් කිරීම බවද කියා සිටියේය.

නමුත් යම් පුද්ගලයෙක් මුඛ ආවරණයක් පළඳින්නේ නම් එසේ නොකළ යුතු යැයි තමා නොකියන බවත් වෛද්‍යවරයා මෙහිදී කියා සිටියේය.

තවමත් ශ්‍රී ලංකාව තුළ සමජියමය මට්ටමින් වෛරසය පැතිරීමක් දක්නට නොමැති බැවින් එසේ මුඛ පළඳනා පැළඳීමේ දැඩි අවශ්‍යතාවයක් නොමැති බවත්, අවශ්‍ය වන්නේ අනුගමනය කළ යුතු අත්‍යවශ්‍ය සෞඛ්‍යමය පුරුදු තවදුරටත් අනුගමනය කිරීම බවත් අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

යම් හෙයකින් මුඛ ආවරණ පැළඳීමේ දැඩි ව අවශ්‍යතාවය පවතින්නේ නම් එවිට ඒ බව ප්‍රකාශ කර සිටින බව ද හැකි තරම් සමාජ දුරස්ථභාවය ඇති කිරීමට කටයුතු කිරීම මඟින් මෙම රෝගය ජනතාව අතර පැතිරීම වැළක්වීමට හැකි බව ද ඔහු අවධාරණය කළේය.

මුඛ ආවරණ දැමීමට වඩා නොදැමීම සුදුසුයි

මුඛ ආවරණ පළදිනවාට වඩා යහපත් සෞඛ්‍ය පුරුදු සඳහා යොමු විය යුතු බවත් මුඛ ආවරණය මේවන විට තමන්ගේ මතයට අනුව ක්‍රියාත්මක වන බව පෙනී යන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් මුඛ ආවරණ පැලදිය යුතු යැයි ජනතාවට නිර්දේශ කර නොමැති බවත් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික හෙද පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය පැවසුවාය.

එසේ දැන්වුවහොත් පමණක් මුඛ ආවරණ පැලඳිය යුතු බවත් නමුත් අනාරක්ෂිත පසුබිමක සිටීනම් මුඛ ආවරණ පැලඳිම සිදුකළ හැකි බවත් සඳහන් කරන සොයිසා මහත්මිය මුඛ ආවරණ දැමීමට වඩා නොදැමීම සුදුසුවන්නේ ඇතැම් අය මුඛ ආවරණ පැලදීමෙන් පසු පහලට හෝ ගෙල ප්‍රදේශයට වැටෙන ලෙස එල්ලෙමින් තිබෙන නිසා බව කියා සිටියාය.

එනිසා අනවශ්‍ය බිෂබීජ ගහණයක් ඔබේ මුවට නාසට ලංකර ගැනීම සිදු කරගන්නා බවත් එනිසා සරල සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යා යුතු බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

කෙසේ වෙතත් මෙම රෝගයෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් ජනතාවටද විශාල වගකීමක් පැවරෙන අතර, රෝගය වැළඳීමේ අවදානම අවම කරගැනීමට ජනතාව අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුය. ජනතාවට කිව යුතු වන්නේ තමාගේ ආරක්ෂාව තමා සතු වීමත් තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව මේවන විට රටේ සෞඛ්‍ය ආරක්ෂාවට බලපාන බැවින් තමන්ට හැකි පරිදි නිවසින් බැහැරට යන අවස්ථාවක මුඛ ආවරණ පැලදීමට හැකිනම් එය කාගේත් සෞඛ්‍යයට හිතකර බවය.

 

 

Last modified on Wednesday, 25 March 2020 17:58