March 29, 2024

කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීමේ අවදානමක් - ලොවපුරා මිලියන ගණනකට රැකියා අහිමිවෙයි Featured

චීනයෙන් දිනක් තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 78 දෙනෙකු වාර්තා වීමත් සමඟ එරට දෙවන කොවිඞ් නයින්ටීන් රැල්ලක් ඇතිවීමේ අවදානමක් හටගෙන තිබේ.

කෙසේ නමුත්, එයින් 74 දෙනෙකුම පිටතින් වෛරසය ආසාදනය වී පැමිණි අයයි. එමෙන්ම, සතියකට පමණ පසු වූහාන් නගරයෙන් ද කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම විශේෂත්වයක්.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පසුගිය වසරේ දෙසැම්බරයේ ආරම්භ වූයේ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයෙනි. චීනයේ මිය ගිය සංඛ්‍යාව 3277ක් ලෙස සටහන් වන අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව 81,000කට අධිකය.

කෙසේ නමුත්, පසුගිය සති කිහිපය තුළ චීනයේ නව කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව අඩුවීමක් දක්නට ලැබිණි. ඉන් අනතුරුව මෙලෙස විදේශයන් හි සිට පැමිණෙන චීන ජාතිකයන්ගෙන් ආසාදිත සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.

ලොව පුරා ජීවිත 16, 572ක් උදුරාගත් කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා මිලියන ගණනක කම්කරුවන්ට රැකියා අහිමි කර ඇත්තේ දැවැන්ත ආර්ථික හා සමාජ අර්බුදයක් නිර්මාණය කරමිනි.

මහජන සෞඛ්‍යයට ඇති තර්ජනයට අමතරව, ආර්ථික හා සමාජීය තත්ත්වයන් අඩපණ වීම තුළ මිලියන ගණනකගේ පැවැත්ම "කොරෝනා" විසින් උදුරා ගනිමින් සිටියි.

මෙම අර්බුදයට පිළියම් යොදන්නේ නැතිනම්, කොරෝනා ලොව පුරා මිලියන 25කගේ රැකියා අවස්ථා අහිමි කරනු ඇති අතර එය විශාල ගෝලීය ආර්ථික අර්බුදයක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

චීනයේ ආර්ථිකයේ සැලකිය යුතු කොටසක් වසා දැමීම සහ ගෝලීය සැපයුම් දාමය කඩාකප්පල් වීමත් සමඟ ආරම්භ වූ ආර්ථික හා සමාජ අර්බුදය දැන් අවන්හල්, සිල්ලර වෙළෙන්දන්, ගුවන් සමාගම්, රජයේ පාසල් සහ කර්මාන්තශාලා මෙහෙයුම් වසා දැමීම නිසා ලොව පුරා මෙම අර්බුදය පැතිර යමින් තිබේ.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) ප්‍රකාශ කර ඇත්තේ, වෛරසයේ බලපෑම, මිලියන ගණනක් දරිද්‍රතාවයට තල්ලු කර හරින බවයි.

ජනතාව සහ භාණ්ඩ ගමන් කිරීම සීමා වන වටපිටාවක එසේ සිදුවීමේ ඉඩ කඩ වැඩි බවත් දැනටමත් ලොව පුරා නිෂ්පාදන සමාගම් වලින්, හෝටල්, ගුවන් සහ සේවා සමාගම් වලින් සේවකයින් ඉවත් කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

Last modified on Tuesday, 24 March 2020 11:47