April 20, 2024

8 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිය අද Featured

08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

අද පෙරවරු 10 ට සභාවේ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරයා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් අද පැවැත්වීමට නියමිතව තිබූ  උත්මාචාර වැඩසටහන් රැසක් ජනපති නියමයෙන් අවලංගු කිරීම විශේෂත්වයකි. 

ජනාධිපතිවරයා සතු බලතල අනුව පසුගිය දෙසැම්බර් මස 02 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය වාර අවසාන කරනු ලැබුවේය.

ඒ අනුව අද දිනයේ අට වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ආරම්භ වීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භකිරීමේදී සාම්ප්‍රදායිකව සිදුකෙරනෙ අශ්වාරෝහකයින් පෙරටුකරගත් විශේෂ රථ පෙරහර සහ ත්‍රිවිධ හමුදා උත්තමාචාරය ඇතුළු ආචාර වෙඩිමුර 21 පැවැත්වීම ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අත්හිටුවා තිබීමද විශේෂත්වයකි.

පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින්,හිටපු ජනාධිපතිවරුන්,අග්‍රාමාත්‍යවරුන්,අගවිනිසුරුවරයා ,උපරිමාධිකරණ විනිසුරුවරුන්,හා නීතිපතිතුමා ඇතුළු 600කට අධික සම්භාවනීය අමුතත්තන් පිරිසක් සහභාගී වීමට නියමිතයි.

සභා වාරය ආරම්භයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි මුලසුන ගනු ලබයි. 

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සහ රැස්වීම කැඳවීම පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රකාශනය එහිදී පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් කියවීමට නියමිතයි. 

ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. 

1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවට පෙර මෙය රාජාසන කථාව ලෙස හැඳින් වූ අතර වත්මන් ක්‍රියාදාමය අනුව එය විවාදයකට බදුන් කිරීමක් හෝ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් සිදුකිරීමට ලක් කරන්නේ නොමැත. 

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තාවකාලිකව කල්තැබෙන අතර පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව තිබෙන්නේ පස්වරු 1.00ටයි.

මේ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරුවලට අදාළ පත්කිරීම් අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. 

අදාළ පත්කිරීම් හා පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ද රැස් වී තිබුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණි.

එහිදී පාර්ලිමේන්තුවේ නව සභා නායකයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත්,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් පත් කිරීමට තීරණය කර තිබේ.

මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සදහා ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා නම් කිරිමට ඊයේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය වී තිබුණි. 

Last modified on Friday, 03 January 2020 09:05