April 19, 2024

"එදා ෆොන්සේකා මහතා යුද හමුදාවට අණ නොදුන්නේ නම් අද කථා කිරීමටවත් නිදහසක් නැති වේවි" - මහේෂ් සේනානායක Featured

වසර 38ක් සේවය සේවා කාලයකින් අනතුරුව විශ්‍රාම යන මොහොතේ තමා රට වෙනුවෙන් සිදු කල මෙහෙවර පිළිබඳ සෑහීමකට පත් වෙන බව හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.

ඊයේ (26) මහනුවර ශ්‍රී දළඳා මාලිගය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

පසුගිය කාලය පුරා යුද හමුදාව කෙරෙහි මෙන්ම තමන් කෙරෙහි ජනතාව තැබූ කැමැත්ත සම්බන්ධයෙන් ස්තූතිය පිරි නමන බවද පැවසු හිටපු යුද හමුදාපතිවරයා, මෙය සිංහල බෞද්ධ රටක් බවත්, එහි ඉන්නේ ශ්‍රී ලාංකීක නැමති පවුල බවද පැවසීය.

මේ රටේ ජීවත් වෙන සිංහල, මුස්ලිම්, හින්දු යන ඕනෑම අයෙක් මේ පවුල තුළ සිටිය හැකි බවත් පැවසු හිටපු හමුදාපති වරයා, සිංහල ජනතාව සෑම විටම පවුලක තාත්තාගේ කාර්යභාරය ඉටු කළ යුතු බවත්, තාත්තා නිරන්තරයෙන් පවුලේ සෙසු සාමාජිකයින් රැක ගත යුතු බවත් සඳහන් කළේය.

විශ්‍රාම ගියත් තමාට තවමත් රටට සේවය කිරීමට ශක්තිය හා ජවය ඇති බවත් පැවසු මහේෂ් සේනානායක මහතා, නිරන්තරයෙන් තමා රටේ ඉදිරි කටයුතු සඳහා එකතු වෙන බවත් පැවසීය.

දේශාපාලනයට එන්න අවස්ථාවක් හිමි වුවහොත් එවැනි තීරණයක් ගන්නේ දැයි මෙහිදී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කර සිටියේය.

එයට පිළිතුරු දෙමින් හිටපු හමුදාපතිවරයා පවසා සිටියේ, දේශපාලනයට එන්නේ නැතුව ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් වැඩ කළ හැකි බවයි.

 “දේශයට වැඩක් කරනවා නම් මම එතැන“ යනුවෙන්  ද පැවසු සේනානායක මහතා, පක්ෂයකට බැඳී සේවය කිරීම එයින් අදහස් නොකරන බවද පැවසීය.

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියට ජනාධිපතිවරයා ගෙන්වීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.

එයට පිළිතුරු දෙමින් හිටපු හමුදාපතිවරයා පවසා සිටියේ, රටේ පුරවැසියෙක් ලෙස ජනාධිපතිවරයා එයට ඉදිරිපත් විය යුතු බවයි.

බැරෑරුම් කාල රැසක හමුදාපති ධූරයේ සිටීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු හමුදාපතිවරයා පවසා සිටියේ, යුද හමුදාව ජනතාවගේ බවත් කිසිවිටෙකත් යුද හමුදාව පක්ෂයක් නියෝජනය නොකරන බවත් ය.

හමුදාවේ විනය තුළින් තමා සියලු අභියෝගවලට සාර්ථකව මුහුණ දුන් බවත් වැඩිදුරටත් පැවසු මහේෂ් සේනානායක මහතා, තමාට ඇති ජවය අනුව ඕනෑම මොහොතක රට වෙනුවෙන් සේවය කිරීමට කැමති බවත් ඒ ගැන ජනාධිපතිවරයාට දන්වා ඇතැයි ද පැවසීය.

තානාපති සේවයට යෑමට බලාපොරොත්තු වන්නේ ද යන්න පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.

එවිට මහේෂ් සේනානායක මහතා කියා සිටියේ, යුද හමුදාපතිවරයෙක් කොහොමත් තානාපති ධූරයක් බවයි.

මේ අතර, ෆීල්ඩ් මාර්ෂල් තනතුර ද අදහස් දක්වමින් එතුමා කියා සිටියේ, තමාට එවැනි තනතුරක් දැරීමට තමාට සුදුසුකමක් නොමැති බවත් යුද්ධයක් ඇති විටෙක සිටින හමුදාපතිවරයෙකුට එය පිරිනැමෙන අතර, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එම තනතුර ලැබිය යුතු බවත් කියා සිටියේය.

එදා සරත් ෆොන්සේකා මහතා යුද හමුදාවට අණ නොදුන්නේ නම් අද කථා කිරීමට ඇති නිදහස උදා නොවෙනු ඇතැයි ද පැවසු ඒ මහතා, රටේ නැවතත් යුද්ධයක් ඇති නොවේවා යන්න තම ප්‍රාර්ථනය වන බවත්, එනිසා නැවත වතාවක් ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් අවශ්‍ය නොවන බවත් පැවසීය.

Last modified on Tuesday, 27 August 2019 10:16