April 24, 2024

"ගෝඨා එනවා කියලා මම කිව්වෙ නෑ - මටත් තාම ඉල්ලුමක් තියනවා" - බැසිල් Featured

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව තමන් කිසිවිටෙකත් ප්‍රකාශ කර නොමැති බව පොදුජන පෙරමුණේ නිර්මාර්තෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ තමන් සිදුකළ ප්‍රකාශය මාධ්‍ය විසින් විකෘති කර ඇති බවයි.
 
පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කළේ හිටපු ආරක්ෂක ලේකම්වරයා පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන බව බැසිල් රාජපක්ෂ මහතා පැවසූ බවයි.
 
එම මාධ්‍ය වාර්තාව සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා සතිඅන්ත පුවත්පතකට පවසා ඇත්තේ තමන් එවැනි ප්‍රකාශයක් කිසි විටෙකත් සිදුකර නොමැති බවයි.
 
'ඇත්තෙන්ම එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් විමසුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන්ගේ සහයෝගය ලබාදෙනවාද නැද්ද යන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ ඉඩක් තිබෙන බවත්, එසේ වුවහොත් තමන් සහයෝගය ලබාදෙන බවත් එයට පිළිතුරු ලෙස මම පැවසුවා. අපේ පක්ෂයෙන් ඉදිරිපත් වෙන ඕනම අපේක්ෂකයෙකුට සහයෝගය දීම පාක්ෂිකයන් ලෙස අපේ වගකීම. ඒ අනුව අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ වුනොත් මම ඔහුට සහයෝගය දෙනවා. ඒත් ඒකෙන් කියන්නෙ ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා කියලා නෙවෙයි. මේ ප්‍රකාශය තමයි මාධ්‍ය වැරදි විදියට ප්‍රචාරය කළේ. අපි තාම තීරණය කරලා නෑ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කවුද කියලා. ඒකට අපිට තව කල් තියනවා. අගෝස්තු 11 වෙනිදා පක්ෂ සමුළුවේදි ඒක ප්‍රකාශයට පත් කරනවා.'
 
පක්ෂයේ අපේක්ෂකයා පිළිබඳ තීන්දුව ගැනීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ සමග සිටින දේශපාලන පක්ෂ හා වෙනත් සංවිධාන සමග සාකච්ඡා කර අපේක්ෂකයා දිනවීම වෙනුවෙන් පුළුල් වැඩපිළි‍වෙළක් දියත් කරන බව බැසිල් රාජපක්ෂ මහතා අදාල පුවත්පතට වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
 
අපේක්ෂකයා සම්බන්ධයෙන් පවතින සාකච්ඡාවලදී තමන්ගේ නම සහ චමල්, ගෝඨාභය යන තම සොයුරන්ගේ නම් ද යෝජනා වී ඇති බවත්, විශේෂයෙන් දෙමළ හා මුස්ලිම් ජනතාව නියෝජනය කරන දේශපාලනඥයන් පිරිසක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි තමාගෙන් ඉල්ලා ඇති බවත් ඔහු පවසයි. කෙසේ වෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තමන්ට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ඔහු සඳහන් කරයි.
Last modified on Tuesday, 02 July 2019 10:48