April 19, 2024

යහපත් රටක් හදන්න 18 -19 සංශෝධන අවලංගු කළ යුතුයි Featured

රට යහපත් රටක්  ලෙස ගොඩනැගීම සඳහා  18 වන සංශෝධනයත් 19 වන සංශෝධනයත් යන  දෙකම අවලංගු  කළ යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹදී  පැවැසීය.

පසුගිය වසර හතරහමාරක කාළය තුළ ආණ්ඩුවේ කටයුතු  පිළිබඳ ආපසු හැරී බැලීමක්  සිදුකළ යුතුව ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා වත්මන්  අණ්ඩුව නරක් විමට  ප‍්‍රධානතම හේතුව 19 වන සංශෝධනය බවත් එම සංශෝධනය ඉදිරිපත් නොවුනේ නම්  මේ ආණ්ඩුව  හොද ආණ්ඩුවක් විමට ඉඩ තිබූ බවත් සඳහන් කළේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති  ජාතික නිවාස සංවර්ධන අදිකාරියේ 40 වැනි සැමරුම් උත්සවයට එක්වෙමිනි.

මෙම අවස්ථාව සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, නිවාස ඉදිකිරීම් සහ  සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එහිදි වැඩිදුරටත් අදහස් පළ කළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

‘‘ගරු අග‍්‍රාමාත්‍යතුමනි, මේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වසරක්   සමරනවා වගේම  අපේ ආණ්ඩුවට  දැන් අවුරුදු හතරහමාරක් ගතවෙනවා. මැතිවරණයකට යන්න තියෙන්නේ තව මාස  හතරක පහක කාලයක් පමණයි.

ඒ නිසා  මේ අවුරුදු හතරහමාරක කාළ සීමාව තුළ ආණ්ඩුවක් විදියට අපි හරියට  කරාද වැරදුනාද කියලා සොයා බැලිය යුතුයි.  මේ ආණ්ඩුවේ කටයුතු  පිළිබඳ ආපසු හැරී බැලීමක් දැන් තියන්න වෙලාව  ඇවිත් තියෙනවා.

මේ කාළය තුළ ආණ්ඩුව නරක් විමට  ප‍්‍රධානතම හේතුව තමයි  19 වැනි සංශෝධනය.   19 වැනි සංශෝධනය ආවේ  නැත්නම් මේ ආණ්ඩුව  හොඳ ආණ්ඩුවක් විමට ඉඩ තිබුණා.

මේ  රටේ ජනතාව අතර විශාල චෝදනාවක් තියෙනවා  අගමැතිතුමයි මමයි දෙපැත්තට අදිනවා කියලා. මේ දෙපැත්තට අදින තත්වය ඇති වුණෙත්  19 වන සංශෝධනය නිසයි.

18 වන සංශෝධනය  තනිකරම ආඥාදායක ඒකාධිපති ක‍්‍රමයක් ඒක ඉතාම  නුසුදුසුයි.  18 වන සංශෝධනය අහෝසි කිරීමට තමයි අපි ආණ්ඩුවක් හැදුවේ.

ඒත් 19 වන සංශෝධනයෙන්  මේ  රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. එක නායකයෙක් නැතිව ගියා.  මේ සංශෝධනයෙන් ජනාධිපතිත්  අගමැතිත් දෙපැත්තට අදින ක‍්‍රමයක් ඇතිවුනා.  ඒකෙන් රටටත් ආණ්ඩුවටත් විශාල අලාභයක් සිද්ධ වුණා.  18 වන සංශෝධනය ඒකාධිපතියි, 19 වන සංශෝධනයෙන්  රට අස්ථාවර වෙනවා.  රට අරාජිකයි කියලා මිනිස්සු  අපිට කියන්නේ මේ 19 වැනි සංශෝධනයෙන් ඇතිවූ තත්වය නිසයි.  19 වන සංශෝධනය ඇති නොවුණා නම් මේ  අවුරුදු හතරහමාරක කාලය මිට වඩා විශිෂ්ඨට ජයග‍්‍රාහී සිව්වසරක් වීමට ඉඩ තිබුණා" යැයිද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එහිදී පැවැසීය.

Last modified on Sunday, 23 June 2019 18:54