April 25, 2024

යහපාලන ආණ්ඩුවේ දූෂණ වංචා සෙවීමට ජනපතිගෙන් කොමිසමක්

2015 ජනවාරි මස 15 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබේ. 

එම කොමිසම මගින් 

  1. වංචා
  2. සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම
  3. දේපළ සාපරාධී පරිහරණය
  4. රැවටීම සහ බලය හෝ අධිකාරය
  5. රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම හෝ අවභාවිතය යන වැරදි සිදුකල දේශපාලනඥයන් හා රාජ්‍ය  නිලධාරීන්ට සම්බන්ධයෙන් මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීමට නියමිතයි.

අනතුරුව ඒවා කොමිෂම විසින් අපක්ෂපාතී, පුළුල් විමර්ශනයකට ලක් කල යුතු වේ.

එහිදී එම වරදවලට වගකිව යුතුව සිටි හෝ වගකිව යුතු වන පුද්ගලයන් හඳුනා ගැනීම හා සාක්ෂි එක් රැස් කිරීම ද මෙම කොමිෂන් සභාව හරහා සිදු වෙයි.

මෙම ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කටයුතු කරන අතර, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන, විශ්‍රාමික විගණකාධිපති පස්දුන් කෝරළේ ආරචිචිගේ පේමතිලක, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ලලිත් ආර්. ද සිල්වා, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එම්.කේ.ඩී. විජය අමරසිංහ යන මහත්ම මහත්මීන් එහි සෙසු සාමාජිකයෝ වෙති. 

කොමිසමේ පළමු අතුරු වාර්තාව මාස 03 ක් ඇතුළතත්, නිගමනයන් හා නිර්දේශයන් ඇතුළත් අවසන් වාර්තාව මාස 06 ක් ඇතුළතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කිරීමට උපදෙස් දී තිබේ.

Last modified on Thursday, 17 January 2019 15:09