April 25, 2024

අද පාර්ලිමේන්තුවේ මොකද වුණේ? අමාත්‍යවරුන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාව සම්මතයි : සම්පුර්ණ වීඩියෝව සහ විස්තරය (VIDEO)

November 30, 2018
  • පාර්ලිමේන්තුව දෙසැම්බර් 05 වැනිදා 10.30 තෙක් කල් තැබෙයි.
  • ඇමැතිවරුන්ගේ සහ ඇමැති කාර්ය මණ්ඩලයේ වියදම් කපා හැරීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 122කින් සම්මත විය.
  • යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව එක ඡන්දයක්වත් නොලැබිණි. ඒ අනුව එම යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වූ බව කතානායක කරු ජයසූරිය මහතා නිවේදනය කළේය.
  • ඇමැතිවරුන්ගේ සහ ඇමැති කාර්ය මණ්ඩලයේ වියදම් කපා හැරීම සම්බන්ධයෙන් ඉලෙක්ට්‍රෝනික් ක්‍රමයට ඡන්ද විමසීම ඇරැඹේ.
  • විජිත හේරත් මහතා - ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීම් දෙකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අනුමත කළා. ඒ පත්වීම තවම කරලා නෑ. ඒ ගැන දැනුම්වත් කරන්න.
  • කතානායකවරයා - ඒ ගැන ජනාධිපතිතුමා දැනුම්වත් කරලා තිබෙනවා.
  • කරුණාරත්න පරණවිතාන මහතා - "ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් මහරෑ අටවපු මේ ආණ්ඩුව අපි හැදින්වුවේ ජුන්ටා ආණ්ඩුවක් හැටියට. අපි එය විශ්වාස භංගයකින් පැරැද්දුවා. එය කතානායක නිවේදනය කළා. ජනමාධ්‍ය තවමත් අගමැති, ඇමැතිවරුන් ලෙස පාවිච්චි කරනවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් පැත්තකට දාලා තමයි නීති විරෝධී ක්‍රියාදාමය කරගෙන යන්නේ. එහි හොර සභාපතිට අපි කියන්න ඕනෑ මන්ත්‍රී වරප්‍රසාද කඩ කිරීම ගැන පාර්ලිමේන්තුවට ගෙන්වන බව."
  • රංජිත් මද්දුම බණ්ඩාර මහතා - "පොලිසියේ දෙදෙනාගෙන් එක් අයෙක් ගාල්ලේ සිංහල. තවත් නිලධාරියෙක් දෙමළ. ඔවුන් මරා දමා ඔවුගේ රිවෝලර් ගෙනිහින් තිබෙනවා. එක පොලිස් නිලධාරියෙකුගේ අතකුත් කපලා තිබෙනවා. මේවගේ අපරාධයක් පහුගිය කාලයේ වුණේ නෑ. දේශපාලනය කරන සංඝරත්නය කිව්වා රට ආරක්ෂා කරන්න රාජපක්ෂ ගේන්න කියලා. ආරක්ෂක මණ්ඩල ප්‍රධානියා රිමාන්ඩ් කළේ සිරිසේන- රාජපක්ෂ හොර ආණ්ඩුවෙන්. මේ ළමයි 11 දෙනා අතුරුදන්වීම ගැන ප්‍රථම පැමිණිල්ල කරලා තිබෙන්නේ 2011දි එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ. මේ ළමයි 11 දෙනා කොළඹ හිටපු ළමයි. ඒ පරීක්ෂණ අනුව තමයි ත්‍රිවිධ හමුදා ප්‍රධානියා අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. බොහෝ අය කෑ ගැහුවා රාජපක්ෂලා ගේන්න. ඔවුන් කිව්වා මහවිරු දින තියන්න දෙන්නේ නෑ කියලා. මේ පාර 38 පොළක මහවිරු උත්සව තියලා තියෙනවා. දේශපාලනය කරන ස්වාමීන් වහන්සේලා මේවට උත්තර දෙන්න. ස්වාමීන් වහන්සේලා වතුර ගහලා එළෙව්වේ මේ මාසයේදිම තමයි."
    "අමාත්‍යංශයේ මුදල් පාලනය කරන වගකීම තියේනනේ අමාත්‍යංශ ලේකම්වරුන්ට. අමාත්‍යවරුන්ට සහ අමාත්‍ය කාර්ය මණ්ඩලයට ගෙවන මුදල්වල වගකීම තියෙන්නේ ලේකම්වරුන්ට. අද ඇමැතිවරු නෑ නියෝග දෙන්න. අමාත්‍යංශ ලේකම්වරුන්ට කියනවා පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයෙන් ආණ්ඩු පරාජය කර ඇති නිසා ඇමැතිවරුන්ගේ වාහන ගෙන්වා ගන්නා. රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න. නමුත් ඇමැතිවරුන්ට සහ කාර්ය මණ්ඩලයට එපා. මුදල් අමාත්‍යංශයේ ලේකම්ට සහ නිලධාරීන්ට කියනවා ගම් පෙරලියේ නවත්වපු වැඩ පටං අරගන්න. පාර්ලිමේන්තු විකාශය නැවැත්වීම සාපරාධී විශ්වාස කඩකිරීම යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්."
  • නලීන් බණ්ඩාර මහතා - "ඊයේ මඩකලපුවෙදි සිදුවීමක් වෙලා තිබෙනවා. පොලිසියේ දෙදෙනෙක් ටී 56 ගිනි අවියකින් වෙඩි තියලා ඝාතනය කරලා තිබෙනවා. ඊයේ පෙරේදාත් විනයගමූර්ති මුලදිරන් මහතා ට්විටර් පනිවිඩයක් නිකුත් කරලා තිබ්බා ‘මම මඩකලපුවේ කරුණා අම්මාන් බව මතක තියා ගන්න.‘ කියලා. මේ සිද්ධි අතර සම්බන්ධයක් තිබ්බෙනවද කියලා සොයා බැලිය යුතුයි. සංහිඳියාව නැති කරන්න කරුණා අම්මාන් වගේ ත්‍රස්තවාදියෙක් යොදාගෙන මේ හොර ආණ්ඩුව කටයුතු කරනවාද කියලා ප්‍රශ්නයක් තිබෙනවා."
  • "ආවා කල්ලි රතිඥයක් පත්තු කරද්දිත් වීරවංශලා රට ගිනි තියන්න හැදුවා කොටි සංවිධානය නැගිටලා කියලා. දැන් වීරවංශලා, ගම්මන්පිලලා කතා කරන්නේ නෑ. දැන් පොලිස්පතිතුමෙක් ඉන්නවද නැද්ද අපි දන්නේ නෑ. ජනාධිපතිවරයා මැදිහත් වෙලා රටේ ඇතිවෙලා තිබෙන තත්ත්වය නැති කරන්න. මහවිරු සමරු තිස් ගණනක් තිබ්බා. අපි ඉන්න කාලේ තිබ්බා නම් වීරවංශලා, ගම්මන්පිලලා රට ගිනි තියනවා කොටි නැගිටලා කියලා. නමුත් අපි එහෙම ගිනි තිබ්බේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති ලෙස කටයුතු කරන කරුණා අම්මාන් කලින් වගේ වැඩ කරන්න පටන් ගන්නවද කියලා ප්‍රශ්නයක් තිබෙනවා මේ තර්ජනයත් එක්ක."
  • කතානායකවරයා - "මේ සම්බන්ධයෙන් මම ජනාධිපතිවරයා දැනුම්වත් කරන්නම්. ආරක්ෂක ලේකම්වරයාටත් කියන්නම් පැහැදිලි කිරීමක් කරන්න කියලා."
  • එම්.ඒ.සුමන්තිරන් මහතා - "ඔක්තෝබර් 26න් පස්සේ උද්ගතව ඇති තත්ත්වය ගැන අපිත් කතා කරන්න අවශ්‍යයි. කරුණා අම්මන් නිදාගෙන ඉඳන් දැන් ආයේ කතා කරන්න පටං අරගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන් දෙදෙනකු මිය ගිහින් තිබෙනවා. අපිට ඇත්තටම බරපතල සැකයක් තිබෙනවා එක්වරම නව ජීවයක් ඇතිවූ පුද්ගලයන් ගැන. මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ ඔක්තෝබර් 26න් පස්සේ. ඊපීඩීපී කණ්ඩායමත් දැන් පුණර්ජීවය වෙලා තියෙනවා. යාපනයේ යම් පහරදීමක් වෙලා තිබෙනවා. ඇමැති කෙනෙක් කියා ගන්නා කෙනෙක් දැන් කියනවා මම ආයෙත් ඇවිත් ඉන්නේ කියලා. එය දෙමළ චිත්‍රපටයක කියමනක්. එය ජනතාව බියවැද්දවීමට ගන්නා කියමනක්. මේ සම්බන්ධයෙන් උචිත ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මම කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා."
  • කතානායකවරයා - "ගුවන්විදුලිය පක්ෂග්‍රාහීව ක්‍රියා කළ බව තේරුණා. ඒ ගැන දැනුම්වත් කළා. ගුවන්විදුලි සංථාවට අපි මුදල් ගෙවනවා. සභාපතිවරයා පාර්ලිමේන්තුවට අපහාසයක් කරන බව පේනවා. මේ ගැන ලේකම්තුමාත් දැනුම්වත් කළා."
  • මන්ත්‍රීවරයෙක් - "ගුවන් විදුලියට පාර්ලිමේන්තුවෙන් මුදල් ගෙවනවා මෙය සජීවීව දෙනවට. නමුත් ඔවුන් දින කිහිපයක සිට එය නතර කර හැරලා තිබෙනවා."
  • කතානායකවරයා - "මම ඒ ගැන අවධානය යොමු කරවන්නම්."
  • පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තවමත් අගමැති ලෙස මහින්ද රාජපක්ෂගේ නමයි තිබෙන්නේ.
  • එස් එම් මරික්කාර් රීති ප්‍රශ්නයක් මතු කරයි.
  • කතානායකවරයා - "ඔක්තෝබර් 27 සිට මම ක්‍රියා කළේ ප්‍රජාතන්ත්‍රවාදීව නීති රීති අනුවයි. මම ක්‍රියා කළේ බහුතර මතය අනුව. ගැසට් නිවේදනය අනුව ක්‍රියා කළ ක්‍රියාවත් සත්‍යයි. ගැසට් නිවේදනය අනුව කටයුතු කරන ලෙස මම නිලධාරීන්ට උපදෙස් දුන්නා. හැබැයි ජනාධිපතිට පැහැදිලි කළා ජනාධිපතිගේ ක්‍රියාව වැරදි බව. විශ්වාස භංගයෙන් පස්සේයි මම කිව්වේ ඒ ආණ්ඩුව පිළිගන්නේ නෑ කියලා."
  • පාඨලී චම්පික රණවක මහතා - "ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට ප්‍රධාන බලතල දෙකක් පැවරෙනවා. එකක් තමයි නීති සම්පාදනයේ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවට පමණයි. ඒ වගේම රාජ්‍ය මූල්‍ය බලතල පාර්ලිමේන්තුවට පවරලා තිබෙනවා. විශ්වාස භංගය සම්මත වුණා පස්සේ රාජ්‍ය මූල්‍ය පාලනය කිරීමේ සෘජු බලතල පාර්ලිමේන්තුවට පැවරිලා තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්න මහින්ද රාජපක්ෂ මහතාට කිසිම බලයක් නෑ. මුදල් විෂය භාර ඇමැතිවරයකු නැති තත්ත්වයක් නැති තත්ත්වයක් තුළ අයවැය දෙපාර්තමේන්තුවට අදාල වරෙන්තුව දෙන්න කිසිම හැකියාවක් නෑ. එහෙම හැසිරෙනවා නම් නීතිය හා ජනතාවගේ පරමාධිපත්‍ය හෑල්ලු කිරීමක්. කතානායකතුමා අපක්ෂපාතීව ක්‍රියා නොකිරීම නිසා අර්බුද ඇතිවුණ බව සමහරු චෝදනා කරනවා. ඔක්තෝබර් 26 රාත්‍රී ජනාධිපතිවරයා අගමැති ඉවත් කරලා, අලුත් අගමැති කෙනෙක් පත් කරලා ගැසට් නිවේදනයක් කළා. ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය නීති විරෝධී යැයි අපි ඔබව හමුවෙලා කිව්වා. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පිළිගත්තා. අගමැති ලෙස ඔහුට පහසුකම් දෙන්න කතානායක ලෙස ඔබ කටයුතු කළා. අපි ඊට විරුද්ධ වුණා. අපි ශිෂ්ඨ සම්පන්න නිසා ඔබට මිරිස්කුඩු ගහන්නවත් වෙනත් බලපෑම් කිරීමටවත් ගියේ නෑ."

    මහින්ද නීති විරෝධී බව අපි කියද්දියි ඔබ ඔහුට පහසුකම් දුන්නේ. මහින්ද අගමැති නෙමෙයි කියලා ඔබ බාර ගත්තේ විශ්වාස භංගයෙන් පස්සෙයි. ඒ නිසා ඔබ අපක්ෂපාතියි කියා කාටවත් චෝදනා කරන්න බෑ.  අපි මුල් තීරණයට එකඟ නොවුණත් අපි ශිෂ්ඨ සම්පන්නව හිටියා වගේ අනිත් පැත්තේ අයට කටයුතු කරන්න බැරි වුණා.ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති තැනැත්තා අගමැති ලෙස පත් කළ යුතු බව ව්‍යවස්ථාවේ තිබෙනවා. මේ මතය ජනාධිපතිගේ අභිමතය අනුව ගන්නා තීරණයක් නෙමෙයි. මේ මතය කියන්නේ ජනාධිපතිගේ පුද්ගලික අභිමතය නොවෙයි. අග්‍රමාත්‍යවරයා ඉවත් කිරීම පිළිබඳ ඉතා පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. ඉවත් කිරීම ගැන ඉතාම පැහැදිලි ව්‍යවස්ථා ප්‍රතිපාදනයක් තිබෙනවා. හතර පාරක් විශ්වාසය භංග වුණු පුද්ගලයා ගෙදර නොයන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නය. මේ නිසා ආර්ථික බලපෑම් රැසක් ඇති වෙලා තිබෙනවා.  දැනටමත් රජයේ සුරකුම්පත්වල තිබෙන ධනය සීඝ්‍රයෙන් එළියට ඇදගෙන යනවා. සංචාරක ව්‍යාපාරයට බලතගතු හානියක් වෙලා තිබෙනවා. අපේ පොලී අනුපාත සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.  ආර්ථික වැඩපිළිවෙළවල් රැසක් නවත්වලා තිබෙනවා. මාසෙක දේශපාලන කුමන්ත්‍රණය නිසා රුපියල් බිලියන 617ක බලපෑමක් ලබන අවුරුද්දේ ඇති වෙන්න පුලුවන්. එන්න තිබ්බ ආයෝජන නතර වුණා."

  •  මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රීවරු අද දිනයේත් පාර්ලිමේන්තුව වර්ජනය කරති
  • රංජිත් මද්දුම බණ්ඩාර  මහතා - පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව මම ස්ථිර කරනවා.  
  • පාඨලී චම්පික රණවක මහතා  - යෝජනාව කියවයි.

  • කතානායක - අදට නියමිත න්‍යාය පත්‍රය අනුව පළමු කාර්ය. යෝජනාව ඉදිරිපත් කිරීම.
  • වේත්‍රධාරියා විසින් සෙංකෝලය තැම්පත් කරනු ලැබීමෙන් පසු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව මීට ටික වේලාවකට පෙර ආරම්භ විය.
  • පාර්ලිමේන්තුව අද (30) යළි  උදෑසන 10.30 ට රැස්වීමට නියමිතය.
  • කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තුව ඊයේ රැස්වූ අතර එය අදට(30) දක්වා කල් තැබීය.
  • පාර්ලිමේන්තුවේ සම්පුර්ණ වීඩියෝව පහතින්,
Last modified on Friday, 30 November 2018 12:21