April 24, 2024

අලුත් ආණ්ඩුව ගැන ජනපති මෛත්‍රී - අගමැති මහින්ද අතර විශේෂ සාකච්ඡාවක්! සන්ධානයේ 96දෙනා ඇතුළු එජාපයේ පිරිසකුත් එයි

එජනිස නායක, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැස්වීමක් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එම සාකච්ඡාවට ශ්‍රීලනිපයේ ප්‍රබලයින් ඇතුළු සන්ධානයේ මන්ත්‍රීවරුන් 96 දෙනාත්, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා සහ නව ආණ්ඩුවට එක්වීමට නියමිත එජාප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුත් සහභාගී වී තිබේ.

එහිදී ජනාධිපතිවරයා පවතින් තත්ත්වය සහ රජයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යන ආකාරය පිළිබඳව දීර්ඝව කරුණු පැහැදිලි කර ඇති අතර නව කැබිනට් මණ්ඩලය පත් කර ගැනීම පිළිබඳවද සාකච්ඡා කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පැවසී ය.

එම සාකච්ඡාවේ පළමු වටය ජනාධිපති කාර්යාලයේ උඩු මහලේ ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් 24 දෙනා අතර පවත්වා ඇති අතර පසුව සන්ධානයේ මන්ත්‍රීවරුන් 96 දෙනාත් එජාපයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනාත් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ පහළ මහලේ පවත්වා තිබේ.

විශේෂයෙන්ම එම සාකච්ඡාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇති නව ආණ්ඩුවට එක්වීමට නියමිත ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සහ එජාපයේ මන්ත්‍රීවැරු කිහිපදෙනෙකු එක්ව තිබේ.

එම සාකච්ඡාවේ ප්‍රධානත්වය ගෙන ඇත්තේ සන්ධානයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වන අතර අගමැතිවරයා සහ ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෙකු වන නිමල් සිරිපාල මහතාද එම සාකච්ඡාවේ ප්‍රධාන වේදිකාවේ මුලසුන ගෙන තිබේ.

Last modified on Saturday, 27 October 2018 21:20