April 25, 2024

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සම්පන්දන් චමල්ව නම් කරයි - මෛත්‍රී මහින්දව නම් කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතාගේ නියෝජිතයා ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජිතයින් 10 දෙනෙකුගෙන් සමන්විත වන අතර කතානායක, අගමැති සහ විපක්ෂ නායක ඊට නිල බලයෙන් පත්වෙති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ඇමැති මහින්ද සමරසිංහ මහතා මීට පෙර පත් කර තිබිණි.

අගමැතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟත්වයෙන් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් තිදෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්කල යුතු අතර එසේ පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය ජයන්ත ධනපාල, සෞදි ආරාබියේ හිටපු ශ්‍රී ලංකා තානාපති නීතිඥ ජාවෙඩ් ජුසුප් සහ කොළඹ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරුන් නම් කර තිබේ.

ව්‍යවස්ථා සභාවට පත් කෙරෙන අගමැතිවරයාගේ නියෝජිතයා ලෙස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියද පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙත් පක්ෂ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාද නම් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කෙරෙන සමාජිකයින්ගේ නම් කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යැවිය යුතු අතර ජනාධිපතිවරයා විසින් පත්වීම් කරනු ලැබේ.