April 25, 2024

ජවිපෙ ගෙනා 20, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබූ 20 වැනි සංශෝධනයේ ඇති 38 න් 36 ක් ජනමත විචාරණකින් සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) පැවැසීය.

ඒ අනුව 20 වැනි සංශෝධන පත්‍රයේ ජනපති බලතල අහෝසි කෙරෙන සියලුම වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීරණය කර ඇත.

පනත් කෙටුම්පතේ නාමය දැක්වෙන පළමු වගන්තිය සහ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර පරස්පරතාවයක් ඇති වුවහොත් සිංහල භාෂා පාඨය බලගැන්විය යුතු බව දැක්වෙන අවසන් වගන්තිය වන 38 වගන්තිය පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

මෙම 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් වලට අදාල තීන්දුව කතානායකවරයාට යවා ඇති බව දක්වමින් නියොජ්‍ය කතානායකවරයා එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

Last modified on Wednesday, 10 October 2018 11:32