March 29, 2024

“ජනබලය“ ගැන පොලිස් ඇමැතිගේ පොරොන්දුව බොරුවක් වෙයි - පොලිස් ස්ථාන 03කින් කළ ඉල්ලීම් අධිකරණය ඉවත දමයි (VIDEO)

September 04, 2018

කිසිම උද්ඝෝෂණයක් නැවැත්වීමට කිසිම උසාවි නියෝගයක් ගෙන නැති බව රාජ්‍ය පරිපාලන හා නීතිය,සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් හෙට කොළඹ සිදු කරන “ජනබලය“ උද්ඝෝෂණය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

උද්ඝෝෂණ නැවැත්වීමට පොලීසිය විසින් උසාවි නියෝග ගෙන ඇතැයි විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කළේ ය.
මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, මෙසේ පැවසී ය. ''අපි ඉඩ දෙනවා වැදගත් විදියට හැසිරෙන්න. කියලා ගස්සා ගන්න අවශ්‍ය වෙලා. අපි ගහන්නේ නෑ. පොලීසිය විසින් කිසිම තහනම් නියෝගයක් අරන් නෑ''යනුවෙන් සඳහන් කළේය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට(05) දිනයේ පැවැත්වීමට නියමිත විරෝධතාවයට අදාලව පොලිස් ස්ථාන 03 ක් මඟින් සිදුකල ඉල්ලීම් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

කුරුඳුවත්ත, වැලිකඩ සහ කොල්ලුපිටිය යන පොලිස් ස්ථාන මඟින් මෙම විරෝධතාවයට අදාල වාරණ නියෝග ලබා ගැනීම සඳහා අදාල ඉල්ලීම් සිදුකර තිබිණි.

විරෝධතාකරුවන් කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශයට ඇතුළු වීම වලක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස කොල්ලුපිටිය පොලිසිය සිදුකල ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

විරෝධතාකරුවන් කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශයට ඇතුළු වුවහොත් සාමාන්‍ය ජනතාව සහ විරෝධතාකරුවන් අතර ගැටුමක් ඇති විය හැකි බවට පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර තිබිණි.

යම්කිසි ආකාරයක ගැටුමක් ඇති වුවහොත් පොලීසියට පවතින බලතල අනුව ක්‍රියා කිරීමේ හැකියාවක් පවතින බව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් කර ඇති අතර ඒ අනුව පොලීසිය සිදුකල ඉල්ලීම මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවස අවට මාර්ගවල රැඳී සිටිමින් උද්ඝෝෂණය කිරීම වළක්වා ලීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පොලිසිය විසින් කල ඉල්ලිම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද ප්‍රතික්ෂේප කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් හෙට දින ජනාධිපතිවරයාගේ සිය නිල නිවස අවට මාර්ගවල රැස් වී උද්ඝෝෂණය කරමින් පන්දම් දල්වා ජනාධිපතිතුමාට පිටතට පැමිණීමට නොහැකි වන පරිදි උද්ඝෝෂණය කිරීමට සූදානම් බව කුරුඳුවත්ත පොලිසිය අධිකරණය වෙත ඉල්ලීමක් කරමින් සඳහන් කර තිබේ.

යම් පුද්ගලයෙකු ජනාධිපතිවරයා ගේ නිවස වැටලීමට සූදානම් වන්නේ නම් එය රාජ්‍ය විරෝධී කටයුත්තක් බව එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලීසියට පෙන්වා දී ඇත.

එවැනි රාජ්‍ය විරෝධී ක්‍රියාවක නිරතවන පුද්ගලයින්ව අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එසේ නොකොට අධිකරණය හමුවට පැමිණ පොලීසිය මෙවැනි ඉල්ලීම් කිරීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවන බවද කියා සිටියේය.

මෙම චෝදනාව සනාථ කිරීම සඳහා පොලිසිය විසින් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීමක් සිදුකර නොමැති බව ද සඳහ මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

පොලීසිය විසින කරුණු ලබන මෙම ඉල්ලීම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බැවින් එය ප්‍රතික්ෂේප කරන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.

පොලිසිය විසින් කළ මෙම ඉල්ලීමේ වග උත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, වාසුදේව නානායක්කාර ,දිලුම් අමුණුගම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු එකොළොස් දෙනෙකු නම් කර තිබුණි.

වැලිකඩ පොලීසියේ ඉල්ලීමත් ඉවතට

හෙට දින වැලිකඩ පොලිස් වසම තුළ මහජන සාමය කඩවන ආකාරයෙන් උද්ඝෝෂණ පැවැත්වීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා වැලිකඩ පොලිසිය විසින් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද ප්‍රතික්ෂේප කළේය.

හෙට දින වැලිකඩ පොලිස් වසම තුළ මහජන සාමය කඩවන ආකාරයෙන් උද්ඝෝෂණ පැවැත් වීමට සූදානමක් පවතින බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවත් මේ හේතුවෙන් මෙයාකාරයෙන් මහජන සාමය කඩවන ආකාරයෙන් උද්ඝෝෂණ පැවැත්වීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් වැලිකඩ පොලිසිය අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණි.

ඒකාබද්ධ විපක්ෂයේ “ජනබලය“ උද්ඝෝෂණය ගැන රාජ්‍ය පරිපාලන හා නීතිය,සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය පහතින්,

Last modified on Tuesday, 04 September 2018 20:32