April 24, 2024

මොන සහන නැති වුවත් රජය "මරණ දඬුවමට" බෙල්ල තියයි? මෛත්‍රීගේ තීරණය ආපසු හරවන්න ප්‍රබල ඇමැතිවරයෙක් වැඩ

ජී. එස්‌. පී. ප්ලස්‌ හෝ මොන සහන නැති වුවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන් සිදුකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

පසුගිය දිනවල මේ පිළිබඳව විවිධ රාජ්‍ය නිලධාරීන් කැඳවා සාකච්ඡා පවත්වා ඇති බවද ඉදිරියේදීත් කමිටු පත්කර වැඩිදුරටත් සාකච්ඡා පවත්වමින් යන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලබන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කර මරණ දඬුවම නියම වී සිටියදී යළිත් වරක්‌ මත් ජාවාරම් කළ පුද්ගලයන්ට පමණක්‌ බවද රටේ පවතින තත්ත්වය පිළිබඳව සලකා බලා මෙම තීරණය ගත් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු පුද්ගලයන් මේ වන විට හඳුනාගෙන ඇති බවද නීති අංශවලින් අවශ්‍ය තොරතුරු රැස්‌කරමින් සිටින බවද ඇමැතිවරයා කියා සිටියේය.

එමෙන්ම බන්ධනාගාර තුළ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට සහාය දුන් නිලධාරීන් පිළිබඳවද තොරතුරු ලබා ගනිමින් සිටින බවද ඔවුන්ට එරෙහිව ද දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවෙතත් මීට පෙර ජනාධිපතිවරයා ගත් ඇතැම් තීන්දු මෙන්ම මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේ තීන්දුවද සතියක් ඇතුලත හකුලා ගැනීමට ජනාධිපතිවරයාට සිදුවී ඇත. “ජනාධිපතිවරයාගේ තීන්දුවට ජාත්‍යන්තර වශයෙන් පවා අද විරෝධයක් ගොඩනැගිලා. එම විරෝධය පිටුපස්සේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයම තමයි. විදේශ සබඳතා තිබෙන ප්‍රබල ඇමැතිවරයෙක් තානාපති කාර්යාල කිහිපයකට කතා කරලා වැඩේ කරලා තියෙනවා“ යැයි රජයේ ප්‍රකාශයෙකු පැවසී ය.

ඒ අනුව ජාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම් හමුවේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේ තීරණය හකුලා ගන්නට ජනාධිපතිවරයාට සිදුවී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ කුමන අන්දමේ විරෝධතා මතුවුව ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීමේ කටයුතු ඉදිරියටම කි‍්‍රයාත්මක කරන බවයි.

මරණ දඬුවමේ යෝජනාව විසිවෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇති නමුත් දේශීය හා විදේශීය වශයෙන් එල්ල වී ඇති බලපෑම් හමුවේ එම තීරණය ක්‍රියාත්මක නොවනු ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්නැයි යුරෝපා සංගමයත් බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් නවයක තානාපති කාර්යාලත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් පසුගිය සතියේ ඉල්ලීමක් ද කර තිබිණි.

මේ අතර මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට ලබා දෙන ජී.එස්.පී. බදු සහනය නතර කරන බව ද යුරෝපා සංගමය රජයට දැනුම් දී තිබූ බව වාර්තා පළවිය.

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ ද මේ වන විට බෙදීමක් ඇතිවී තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 10 වැනිදා පැවැති කැබිනට් රැස්වීමේ දී තීරණයක් ගෙන තිබිණි. මරණ දඬුවමට ලක්ව බන්ධනාගාරවල සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කරන බව ජනාධිපතිවරයා මහනුවර දී ද ප්‍රකාශ කර තිබිණි.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදිකරුවන් වී මරණ දඬුවමට නියම වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුවක් තමාට එවන ලෙස ජනාධිපතිවරයා අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මියට දැනුම් දී තිබූ අතර මරණ දඬුවමට ලක්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 18 දෙනකුගේ නම් ලැයිස්තුවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණ ඇමැතිවරියට මේ වන විටත් යවා ඇත.

Last modified on Thursday, 26 July 2018 16:12