March 29, 2024

රනිල්ට එරෙහි සටන යළි ඇවිලෙයි: ජනපති සටනට එජාපයෙන් අලුත් අපේක්ෂකයෙක්

2020 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනපති අපේක්ෂකයා පිළිබඳ මේවන විට එම පක්ෂය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.

විශේෂයෙන්ම එජාප මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු එජාපයේ රනිල් හිතවාදී පිරිසක් පක්ෂ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සැලසුම් සකස් කරමින් පවතී. ඒ අනුව "සිරිකොත" ගමට ගෙනයන වැඩපිළිවෙළ නමින් ව්‍යාපෘතියක්ද අකිල විරාජ් ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කර තිබේ. එහි පළමු හමුව පසුගිය සෙනසුරාදා (21) කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි. එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමේ දිස්ත්‍රික් සංවිධාන හමුවීම් සහ රැස්වීම් මාලාවක් ලෙස එය පැවැත්වීමට එජාප මහ ලේකම්වරයා කටයුතු කර තිබේ.

මෙම රැස්වීම්වලදී එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණවලදී ජයග්‍රාහී මාවතකට රැගෙන යෑම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමත්, ඒ සඳහා පක්ෂ සාමාජිකයන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමත් සිදුකෙරිණි. මීට අමතරව එජාපයේ ප්‍රාදේශීය නායකයන් සහ පාක්ෂිකයන් මුහුණ දෙන ගැටලු සහ අභියෝග හඳුනාගෙන ඊට අවශ්‍ය විසඳුම් කඩිනමින් ලබාගැනීමද සිදුවේ.

මේ අතර ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට විරෝධය පාමින් වෙනත් එජාප අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එජාප ප්‍රබලයින් කිහිපදෙනෙකුගේද සහය ඇතිව එජාප පසුපෙල මන්ත්‍රීවරු පිරිසක් මේ වනවිට වැඩපිලවෙලක් සකස් කර ඇති අතර ඒ අනුව යමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කර ඒ සඳහා සුදුස්සකු පත්කර ගැනීමට එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් දිය යටින් යන මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි එජාප ආරංචි මාර්ග පැවසී ය.

ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප ජනාධිපතිවරයකු පත්කර ගැනීමට ඇති අවස්ථාව අහිමිවන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව පසුපෙල මන්ත්‍රීවරුන් චෝදනා කරන අතර ඊට හේතුවී ඇත්තේ පක්ෂය තුළ පවතින අර්බුදකාරී තත්ත්වය මඟහැරවීම සඳහා ගෙන ගිය ප්‍රතිසංවිධාන ක්‍රියා පිළිවෙතට මුල් වී කටයුතු කළ පිරිසකට තනතුරු පිරිනමා ඔවුන් නිහඬ කිරීමට නායකත්වය පියවර ගැනීම බවයි.

පක්ෂය තුළ පවතින ඒකාධිපති ක්‍රියාකාරිත්වය මඟින් පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ ක්‍රියාකාරකම් අඩපණ කිරීමට දරන උත්සාහය වැළැක්වීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ප්‍රබල අභියෝගයක් ඇති කිරීම සඳහා මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉවත් නොවී තවදුරටත් නායකත්වයේ රැඳී සිටීමේ උත්සාහයක යෙදෙන්නේ නම් එක්සත් ජාතික පක්ෂය රැක ගැනීමේ ප්‍රබල සංවිධානයක් ගොඩනැංවීම හරහා මෙම අභියෝගය ගොඩ නැංවීමට පසුපෙළ මන්ත්‍රිවරු තීරණය කර තිබේ. එජාප නායකත්වය පාක්ෂිකයන් විසින් පිළිනොගන්නා බව පසුගිය පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල පැහැදිලිවම පෙන්නුම් කර ඇති බව පෙන්වා දී ඇති එම මන්ත්‍රිවරු ඉදිරි මැතිවරණවලදී මෙම ප්‍රතිඵලය තවත් වර්ධනය වී එජාප ඡන්ද පදනම දැඩි පසුබෑමකට ලක්වීම වැළැක්විය නොහැකි බවට අවධාරණය කර තිබේ.

එජාපයෙන් වෙන්වී ගොස් සිටින සියලු කොටස් සමඟ සාකච්ඡා කොට නායකත්වය වෙනස් කිරීම සඳහා සන්ධානගත වීම ඉදිරි මාස හය ඇතුළත සිදු කිරීමට එම මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

එජාපය ඇතුලේ කැපිලි - කෙටිලි

මෙම අර්බුදය ප්‍රසිද්ධ වේදිකාවට ගෙන එමින් පසුගියදා දිඹුලාගල පැවැති උත්සවයකදී එජාප ප්‍රබලයෙකු වන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අවධාරණය කළේ ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් එක්සත් ජාතික පක්ෂයෙන් අලුත් අපේක්ෂකයකු ඉදිරිපත් කළයුතු බවයි.

එහිදී මෙසේද සඳහන් කළේය.

“මේ පක්ෂයෙන් මටත් අසාධාරණකම් වෙලා තියෙනවා. මට ලැබිය යුතු තැන ලැබුණා නම් පොළොන්නරුව ජනතාවට පොලියත් එක්ක වැඩ කරලා දෙනවා. මේ ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න පුළුවන් එකම සාධකය වන්නේ ඉදිරි ජනාධිපතිවරණයට යූඑන්පී අලුත් අපේක්ෂකයකු අවශ්‍යම වෙනවා. බොහෝ දක්ෂ අමාත්‍යවරු අපි එක්ක ඉන්නවා. අන්න ඒ අයෙක් ඉදිරිපත් කළොත් අපිට දිනන්න පුළුවන්. මම ඒ ඇමැතිවරුන්ගේ නම් දැන් කියන්නේ නැත්තේ දරුණු කැපිලි, කෙටිලි එන නිසා. අපේ පාක්ෂිකයන්ට මීට වඩා සැලකිය යුතුයි. පාක්ෂිකයන්ට සාධාරණයක් වෙනකම් මම සටන් කරනවා. මගේ තනතුරු ගහලා ගියත් මම මේ පාක්ෂිකයන් වෙනුවෙන් සටන් කරනවා. මට මේ පක්ෂය ගැන විශාල කැක්කුමක් තියෙනවා. මගේ මුත්තණුවන් ගොඩ නඟපු පක්ෂයක් මේක. ඒත් මාව මේ පක්ෂයෙන් එළවලා දාන්න වැඩපිළිවෙළක් තිබුණා. ඒ වගේම එළවලා දැම්මා. යෝධයෙක් එක්ක හැප්පිලා තමා මට නැවත මගේ තැන ගන්න ලැබුණේ. මේ පක්ෂයේ සුදුසු කෙනාට තැන දෙනකම් මම සටන් කරනවා.

ඒ වගේම පොළොන්නරුවට මේ පාක්ෂිකයන්ට කරන අසාධාරණයට එරෙහිව මම සටන් කරනවා. මට කැබිනට් ඇමැතිකමක් නොදුන්නට මම අමනාප නැහැ. ඒ වගේම පොළොන්නරුවේ ඉන්න අනිත් අපේ මන්ත්‍රිවරුන්ට කැනට් ඇමැතිකම් දුන්නත් මගේ තරහක්, වෛරයක් නැහැ. හැබැයි මේ ජනතාවට කරන අසාධාරණයට මම කැමැති නැහැ. මා එක්ක ඊර්ෂ්‍යාව, තරහා නිසා මට කැබිනට් ඇමැතිකමක් නොදී ජනතාවගෙන් පළිගන්නවාට මම විරුද්ධයි. මම මේ පක්ෂයෙන් තනතුරු නොදුන්නා කියලා පක්ෂය අතහැරලා යන්නේ නැහැ.“ යැයි එජාපයේ ඇතුළාන්තය වසන්ත සේනානායක ඇමැතිවරයා හෙළි කළේය.

එජාපෙන් අකිලට විරෝධය

මේ අතර යහපාලන ආණ්ඩුවේ එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂයක නායකයෙකු වන ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කොළඹ පැවැති උත්සවයකදී සඳහන් කළේ අනාගතයේදී එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් සෑදිය නොහැකි බවයි.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ ක්‍රියා කලාපයන් පිළිබඳ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ගනේෂන් මහතා පැවසූවේ,

“කොළඹ ජනතාවට ඡන්දය ඕන. පළාත් පාලන මැතිවරණ පැවැත්වුණා. දැන් පළාත් සභා මැතිවරණය අවශ්‍යයි. ඡන්දය ඉල්ලන්නත් අපි ලෑස්තියි. ඡන්දය දෙන්නත් ජනතාව ලෑස්තියි. ඡන්දය කාටද වුවමනා නැත්තේ හොයලා බලන්න. මහින්ද මහත්තයා බලවේග පෙරමුණු හදන එක හොඳයි. බලවේග හදන්න හදන්න රටට හොඳයිනේ. ඉල්ලීම් 200ක් ඉල්ලුවොත් හම්බ වෙන්නේ 100ක් කියලා අපි දන්නවා. ඒකනේ ඉල්ලීම් 200ක් ඉල්ලන්නේ. දේශපාලනය ගැන මම හොඳට දන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට එන එකට ඒකාබද්ධයේම අය කැමැති නෑනේ. විශේෂයෙන් කුමාර වෙල්ගම, වාසුදේව මන්ත්‍රිවරු වගේ බැසිල් රාජපක්ෂ මහතාත් කැමැති නෑනේ. රාජපක්ෂ මහත්තයාගේ සහෝදරත්ව බැඳීම හොඳයි. ඒකට ගරු කරනවා මම. අකිල විරාජ් ඇමැතිවරයා දැනුයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයට ආවේ. එයාට කතා කරන්න ඉඩ දෙන්නකෝ. කමක් නැහැ කතා කරලා එයාට තමන්ගේ පක්ෂය ඉහළට ගෙන එන්න ඕනනේ. එක්සත් ජාතික පෙරමුණ නැතිව එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් හදන්න බැහැ. එක්සත් ජාතික පෙරමුණට පුළුවන්. මේක එක්සත් ජාතික පක්ෂයේ නායකයා දන්නවා. හැබැයි එකේ පොඩි පොඩි ළමයින් ඒව දන්නේ නැහැ. පොඩි ළමයි කියන දේවල් ගණන් ගන්න එපා.“ යැයි අකිලට තරවටුවක් කරමින් මනෝ ගනේෂන් අමාත්‍යවරයා කියා සිටියේය.

Rate this item
(12 votes)
Last modified on Tuesday, 24 July 2018 16:00