April 19, 2024

ශ්‍රීලනිප 16 දෙනාගේ හුලං බහී! සැප්තැම්බර් 02වැනිදා දයාසිරි ශ්‍රීලනිපයේ බලය අල්ලයි?

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම මේවන විට දැඩි කළකිරීමකින් පසුවන බව “ඒෂියන් මිරර්“ වෙත වාර්තා වේ.

ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඒකාබද්ධයේ ඇතැම් තීන්දු තීරණ ගැන එම කණ්ඩායමේ ඇතැම් මන්ත්‍රීවරුන්ට එපා වෙන තැනට පත්ව තිබීමයි.

යහපාලන ආණ්ඩුවේ කටයුතු කළ මෙම කණ්ඩායමේ පිරිස වාසි ලබා ගැනීමේ අරමුණින් ඒකාබද්ධය සමඟ එක්වූ බවට ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් චෝදනා කරයි. මෙවැනි විවිධ චෝදනා කරමින් ශ්‍රීලනිපයේ 16 කණ්ඩායම අපහසුතාවයට පත් කරන තත්ත්වයට පත් කර ඇතැයි වාර්තා වේ.

මේ කාරණය තවත් උත්සන්න වී ඇති බව පැහැදිලි වන්නේ ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෙකු වූ හිටපු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා සිදු කළ ප්‍රකාශයත් සමඟයි. මන්ත්‍රීවරයා පවසන්නේ තමන්ට යම් ගැටලුකාරී තත්වයක් පවතින බවත් එනිසා ප්‍රශ්න තිබෙන බව පිළිගන්නා බවත් ඒවා විසඳාගැනීමට නොහැකි වුවහොත් දේශපාලනයෙන් ඉවත් වන බවත්ය.

කෙසේ වෙතත් ආ​ණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායම දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට සැලසුම් කර තිබූ ‘හෘද සාක්ෂියේ නිදහස’ සම්මන්ත්‍රණ මාලාවද මේ වන විට නතර කර දමා තිබේ.

එම මන්ත්‍රීවරුන් කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව සිටින බැවින් වෙනම රැස්වීම් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති නිසා මෙම පියවර ගත් බවත් මින් ඉදිරියට පවත්වන උද්ඝෝෂණ, රැස්වීම්, සම්මන්ත්‍රණ සියල්ලම පවත්වන්නේ මන්ත්‍රීවරුන් 69 දෙනාම එක්වූ ඒකාබද්ධ විපක්ෂය ලෙස බවත් 16 කණ්ඩායමේ ප්‍රකාශකයෙකු පෙන්වා දුන්නේය.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කණ්ඩායම හෘද සාක්ෂියේ නිදහස නමින් සංවත්සර මාලාවක් මාතරින් ආරම්භ කළ අතර එහි දෙවැන්න මාතලේ දිස්ත්‍රික්කයේදී පැවැත්විණි. ඉන් පසුව එහි කිසිදු සම්මන්ත්‍රණයක් නොපැවැත්විණි.

දයාසිරි තීරණාත්මක අවධියක

මේ අතර 16 කණ්ඩායමේ සිටි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා යළිත් ඇමැති පට්ටමක් ගෙන ආණ්ඩුවට එක්වීමේ සූදානමක් පවතින වාර්තා වේ. ඔහු මේ වන විටත් ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු රැස්වීමකට හෝ සාකච්ඡාවකට සහභාගී නොවන අතර තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කළ බව “ඒෂියන් මිරර්“ වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසීය. ආණ්ඩුවෙන් යළිත් ඇමැති ධූරයක් ලබා ගන්නැයි ඉල්ලීම් ලැබුණු බවද මන්ත්‍රීවරයා පිළි ගත්තේය.

කෙසේ නමුත් දයාසිරි මන්ත්‍රීවරයාගේ තවත් ප්‍රධාන ඉලක්කයක් වන්නේ ශ්‍රීලනිපයේ ප්‍රධාන තනතුරක් වන මහ ලේකම් ධූරය හිමිකර ගැනීමයි. ඒ සඳහාද ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිව තිබේ.

ඒ අනුව සැප්තැම්බර් 02 වැනිදා පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයේදී පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පත් කර ගැනීමේ සූදානමක් පවතින බව ශ්‍රීලනිප ආරංචි මාර්ග පැවසී ය.

පක්ෂය තුළ කල්ලි කණ්ඩායම් බෙදීම් නොමැති බවත් පක්ෂයේ තීරණය මත ඒකමතිකව මහ ලේකම් ධූරය තමාට හිමිවුවහොත් පක්ෂය වෙනුවෙන් වැඩ කටයුතු කරන බවත් දයාසිරි මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ශ්‍රීලනිපයේ මෛත්‍රී පාර්ශවයෙන් ඉඟියක් කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ජයසේකර මහතා පක්ෂයේ මහ ලේකම් ලෙස පත්කිරීමට තීරණය කළහොත් එයට විරෝධයක් නොමැති බවයි.

ඔහුට එම තනතුර දැරීමට දක්ෂතාවක් තිබෙන අතර ඔහු ගැන අපේ විශ්වාසයක් තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

දින 45ක් ඇතුළත පක්ෂයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමේ වැඩසටහන යටතේ දැනට පක්ෂයේ තාවකාලික මහ ලේකම්වරයා ලෙස කටයුතු කරනුයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතායි.

නීතිඥයකු ලෙස කටයුතු කරන දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සම්මේලනයේ හිටපු ලේකම්වරයෙකි. 1994දී විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරයෙන් ශ්‍රීලනිපයට එක් වූ ඔහු 1997දී ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්විය.

Rate this item
(6 votes)
Last modified on Monday, 23 July 2018 14:23