April 25, 2024

තිස්සගේ දේශපාලන ආගමනය දෙසැම්බරයේ - ජනාධිපතිවරණයේ තීරණාත්මක බලය ගන්න තිස්ස අලුත් පක්ෂයක් හදයි

ඉදිරි ජනාධිපතිවරණයේදී රටේ තීරණාත්මක බලවේගය ලෙස කටයුතු කිරීමට නව පක්ෂයක් ගොඩනගන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතා අවධාරණය කළේය.

වසර තුනහමාරක පමණ කාලයක් රටේ දේශපාලන හැසිරීම පිළිබඳව තමා දැඩි අවධානයෙන් සිටි නමුත් රටේ ජනතාවට අවශ්‍ය පරිදි කිසිදු පක්ෂයක් වෙනස් නොවූ බව පෙන්වා දෙන අත්තනායක මහතා තමා එක්සත් ජාතික පක්ෂය සමග දීර්ඝ කාලයක් කටයුතු කළ නමුත් අද වන විට එක්සත් ජාතික පාක්ෂිකයන් විශාල ලෙස කලකිරීමට ලක්ව ඒ අයගේ බලා‍පොරොත්තු බිඳ වැටී ඇතැයිද කියා සිටියේය.

අද ගම්වල ජීවත් වන එක්සත් ජාතික පාක්ෂිකයන් දැඩි ලෙස කලකිරීමෙන් පසු වන නිසා ඔවුන්ටත් රටේ මධ්‍යස්ථ මතධාරීන්ටත් තමා පිහිටුවන නව පක්ෂය වේදිකාවක් වනු ඇතැයි ඔහු මහනුවරදී සඳහන් කළේය.

තමා ගොඩනගන අලුත් පක්ෂය රටේ මධ්‍යස්ථ මතධාරීන් සහ කලකිරුණු එක්සත් ජාතික පාක්ෂිකයන්ට දැවැන්ත වේදිකාවක් වන අතර තම පක්ෂය රටේ රජුන් තනන දැවැන්ත බලවේගය බවට පත්කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ඉදිරියේදී අප කවුරුත් නොසිතන අයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි නිසා තම පක්ෂය රජුන් තනන තීරණාත්මක සාධකය බවට පත්කරන බවද තිස්ස අත්තනායක මහතා පෙන්වා දුන්නේය.

රට වෙනුවෙන් යමක් කළහැකි අලුතින් සිතන අලුත් තරුණයන්ට, පක්ෂය ගැන කලකිරී ඇති එක්සත් ජාතික පාක්ෂිකයන්ට සහ රටේ මධ්‍යස්ථ මතධාරීන්ට තම පක්ෂයේ දොරගුළු සෑමවිටම විවෘත වී ඇති බවද ඔහු කියාසිටියේය.

මේ වන විට මෙරට බොහෝ උගතුන් බුද්ධිමතුන් සහ සාමාන්‍ය ජනතාව අතරට නව පක්ෂය ගැන තොරතුරු ගලාගොස් ඇති බවත් ඉදිරි දෙසැම්බර් මස වන විට තමාගේ අලුත් පක්ෂය කරළියට ගෙන එන බවත් තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 22 July 2018 01:37