March 29, 2024

ජාතික ආරක්‍ෂාවට දැඩි තර්ජනයක්! මාතර කොල්ලකෑමට පාතාල කල්ලිය ගෙන ආවේ ප්‍රභූ ආරක්‍ෂක නිලධාරීන් සතු විශේෂිත ගිනි අවියක්

මාතර නගරයේ පිහිටි ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකෑමට පැමිණි පාතාල කල්ලිය වෙඩි තැබීමට භාවිත කර ඇති ගිවිඅවි පිළිබඳ දැඩි කතාබහක් ඇති වී තිබේ.

පාතාල සාමාජිකයින් අතර සිදුවන වෙඩි තැබීම් සඳහා තෝරා ගත් ගිනි අවි කිහිපයක් පමණක් යොදා ගන්නා බවත්, ඒවා ඔවුන් අතර හුවමාරු වන බවත් මේ වනවිට ලැබී ඇති තොරතුරු අනාවරණ වී ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය මේ වන විටත් එම ගිනි අවි සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මූලික පොලිස් පරීක්‍ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇත්තේ මාතර නගරයේ කොල්ලකෑමට පැමිණි පාතාල කල්ලිය වෙඩි තැබීමට භාවිත කර ඇත්තේ ඉහළ පෙළේ ප්‍රභූන්ගේ ආරක්‍ෂාව සඳහා යොදා ගන්නා ස්වයංක්‍රිය ගිනිඅවියක් බවයි.

ඉහළ පෙළේ ප්‍රභූන්ට ආරක්‍ෂාව සලසන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ ප්‍රභූ ආරක්‍ෂක අංශයේ නිලධාරීන් සීමිත සංඛ්‍යාවකට සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ හා විශේෂ බළකා සෙබළුන් මෙම විශේෂිත ගිනි අවිය භාවිත කරන බවද ආරක්‍ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

ස්වර්ණාභරණ අලෙවිසල තුළ මෙම ගිනි අවිය භාවිත කර ඇත්තේ පොලිස් වෙඩි පහරින් මියගිය චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර විසින් බවද විමර්ශනවලදී හෙළිවී තිබේ.

දැනට අත්අඩංගුවේ පසුවන කොස්ගොඩ තාරකගේ නායකත්වය මත කොල්ලය සැලසුම් කර ඇති අතර එය ව්‍යර්ථ කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීම සඳහා භාවිත කර ඇත්තේද මෙම ස්වංක්‍රිය ගිනි අවිය බවද පොලිසිය පැවසී ය.

මෙම ස්වංක්‍රිය ගිනි අවිය සමඟ මිලීමීටර් 9 වර්ගයේ සජීව පතරොම් 18ක් සහිත මැගසින් එකක්ද පොලිස් භාරයට ගැනුණි.

මෙම ගිනි අවිය ශ්‍රී ලංකා පොලිසියේ ගිනිඅවි පිළිබඳ විශේෂඥවරුන් විසින් පෙරේදා (23) පරීක්‍ෂා කර ඇති අතර එහි වාර්තාව මේ සතිය තුළ ලැබීමට නියමිතව ඇතැයිද උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.

මේ වන විට මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජී. එච්. මාරපන මහතාගේ අධීක්‍ෂණය සහ උපදෙස් මත මෙරට ආරක්‍ෂක අංශය සඳහා ඉතා සීමිත සංඛ්‍යාවක් නිකුත් කර ඇති මෙම විශේෂිත ගිනි අවිය පාතාල කල්ලි අතට පත්වූයේ කෙසේද යන්න සෙවීමට විශේෂ පොලිස් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

විදෙස් රටක නිෂ්පාදනය කොට ඇති මෙම ගිනි අවිය පිළිබඳ ඉදිරියේදී අධිකරණ නියෝග මත රජයේ රස පරීක්‍ෂක වෙත ඉදිරිපත් කොට වාර්තාවක් ලබා ගැනීමටද නියමිතය.

මෙවැනි ගිනි අවි ඊශ්‍රායලය නිෂ්පාදනය කරන අතර යුද්ධය පැවැති සමයේ එල්.ටී.ටී.ඊ. නායකයන්ද මෙවැනි ගිනි අවි භාවිත කර ඇතැයි වාර්තාවේ.

එසේම මෙවැනි නවීන ගිනි අවි පාතාල කල්ලි අතට පත්වීම මෙරට ජාතික ආරක්‍ෂාවට දැඩි තර්ජනයක් බවද ආරක්‍ෂක අංශ පවසයි.

තවත් වෙඩි තැබීම් සිද්ධින් දෙකක්

මේ අතර පෙරේදා(24) රාත්‍රියේ සහ ඊයේ (25) උදෑසන වෙඩි තැබීමේ සිද්ධීන් දෙකක් වාර්තා විය. රත්මලාන - චක්කින්දාරාම පාරේ ඊයේ උදෑසන වෙඩි තැබීමක් සිදුවූයේ යුද හමුදා කෝප්‍රල්වරයෙක් ඉලක්ක කර ගනිමිනි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබූ අතර පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ටී - 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි ප්‍රහාරයෙන් යුද හමුදා කෝප්‍රල්වරයාගේ එක් අතකට තුවාල සිදුව තිබේ.

එමෙන්ම, පෙරේදා රාත්‍රියේ කොළඹ - ජම්පටාවීදිය - 137 වත්ත ප්‍රදේශයේදී ද වෙඩි තැබීමක් සිදුව ඇති අතර, එහිදී ද 50 හැවිරිදි වෙළදසැල් හිමියෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසී ය.

මේ අතර, පොලිස් වෙඩි පහරින් මාතර දී සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඊයේ ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව එම කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි.

මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියේ දී පොලිස් වෙඩි පහරින් තුවාල ලැබූ කොස්ගොඩ තාරක නැමැත්තාගේ සහෝදරයා වන මදූක නිර්මාල් පෙරේරා, ඊයේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් සැකකරුවන් දෙදෙනෙකු එම බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබේ.