April 25, 2024

එජාපයේ දෙදරීමක්! එජාපෙ රැස්වීම ඇමැතිවරු මගඅරී - නව නායකත්වයක් ඉල්ලා රවී සටනට

කො‍‍‍ළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ (18) පස්වරුවේ පැවති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට කැබිනට් ඇමතිවරුන් වැඩි පිරිසක් සහභාගි නොවීම පිළිබඳව එජාප මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි කණස්සල්ල පළකර ඇතැයි එජාප ආරංචි මාර්ග පවසයි.

එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අධිකරණය සම්බන්ධයෙන්, අලුතින් සමෘද්ධි සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් හා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පිළිබඳවද සාකච්ඡා කිරීමට මන්ත්‍රීවරුන් සූදානමින් සිටියද එම විෂයන් සම්බන්ධයෙන් වගකීම දරන ඇමැතිවරුන් පැමිණ නැතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අසෝක ප්‍රියන්ත හා සිඩ්නි ජයරත්න යන මහත්වරුන් කණ්ඩායම් රැස්වීමට සහාභාගි නොවූ ඇමතිවරුන් සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරමින් අදහස් දක්වා ඇති බව එම ආරංචි මාර්ග පැවසී ය.

මේ අතර රාජීත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, සාගල රත්නායක, ගයන්ත කරුණාතිලක, ඩී.එම් ස්වාමිනාදන් සහ වජිර අබේවර්ධන සහ මහත්වරුන් ඇතුළු ඇමැතිවරුන් පිරිසක් එජාපෙ කණ්ඩායම් රැස්වීමට සහාභාගි වී සිටි බව ද එම අරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර හිටපු ඇමති රවි කරුණානායක මහතා සඳහන් කළේ මේ වනවිට එක්සත් ජාතික පක්ෂය තුළ විශාල දෙදරීමක් පවතින බවත් එය මැඩලීම සඳහා නිවැරැදි නායකත්වයක් අවශ්‍ය බවත්ය.

මෙහිදී එජාප නායකත්වය සැබෑ ජනතා නායකත්වයක් විය යුතු බව උතුරු කොළඹ පැවැති වැඩසටහනකින් පසුව මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශ කරමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 20 June 2018 11:50