April 19, 2024

මෛත්‍රී තනිවෙයි - මහින්ද පොහොට්ටුවට! ජනපති අපේක්ෂකයා නම් කිරීමේ බලය මහින්ද අතේ

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අපේක්‍ෂකත්වය දරන සන්ධානයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු සහයෝගයක්‌ ලබා නොදෙන බව එම පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා පවසයි.

ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම දේශපාලන පක්‍ෂ කිහිපයක සහයෝගය ලබාගෙන තරග කරන බවට ශ්‍රීලනිප නව මහ ලේකම්වරයා හා ජාතික සංවිධායකවරයා කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් පක්‍ෂයේ ස්‌ථාවරය හෙළිදරව් කරමින් ජී. එල්. පීරිස්‌ මහතා මේ බව සඳහන් කළේය.

මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්‌ථාවරය ජනතාව නිරතුරුව විමසා සිටි බවත් ජනාධිපතිවරයාට ඉදිරි ජනාධිපති අපේක්‍ෂකත්වයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සෘජුව හෝ වක්‍රව කිසිදු සහයෝගයක්‌ ලබා නොදෙන බවට ජනතාවට පැහැදිලිවම ප්‍රකාශ කරන බවත්, කිසිදු අවස්‌ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකර, පෝෂණය කළ ජනතාවට ද්‍රෝහී නොවන බවත් ජී. එල්. පීරිස්‌ මහතා පැවසී ය.

බැලූ බැල්මටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය ඇතැයි පෙනෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීළඟ ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිසේත් සහය නොදෙන බව එම පක්ෂයේ නිල නායකයා වන මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කර තිබේ.

“2020 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා එකවාගේ අදහස් ඇති දේශපාලන පක්ෂ රැසකින් යුත් දැවැන්ත සන්ධානයක් හදනවා“ කියලා දුමින්ද ඇමතිවරයා කියලා තිබුණා.“ යැයිද බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්‌ථානයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.

වර්තමාන රජයේ ක්‍රියා කලාපය නිසා ජනතාව ඉතාමත් විශාල ලෙසින් පීඩා විඳින බවත් තවත් අවුරුදු පහක් ඔවුන්ට මෙසේ පීඩා විඳීමට ඉඩ නොදිය යුතු බවද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසා සිටියේය.

මේ අතර පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උපදේශකවරයෙකු ලෙස තමන් පත් කර ඇත්තේ තමන්ද නොදැනුවත්ව බවයි.

"අපි දන්නෙත් නැතිව අපිව තනතුරුවලට පත්කරලා. මේ කරන්නේ මොනවද කියලා මටත් හිතාගන්න බැහැ" යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධුරයට පත්කර තිබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

"මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරෙයි. ඒත් ඒ පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල්ව සිටින තාක් මට බෑ ඒකට හවුල් වෙන්න. ඒ අය යූ.එන්.පී. එකත් එක්ක එකතු වුණු නිසයි අපි එළියට බැස්සේ. “පොහොට්ටුව" අපි හදපු පක්ෂය. අද රටේ වැඩිම බලයක් තියෙන පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයට එරෙහි ශක්තිමත්ම පක්ෂයත් ඒකයි. එහෙම තැනකට පොහොට්ටුව ඇවිත් තියෙද්දී අපි මොකටද නිදහස් පක්ෂයට හවුල් වෙන්නේ.“

“ආණ්ඩුවත් එක්ක මඟුල් කන ගමන් එක දවසක් ඒකට බැන්නා කියලා මේ අය වෙනස් වෙන්නේ නැහැ. අනෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනගන්න ඕනෑ, ඒ අයට ඕනෑ වෙලාවට ගන්නයි එපා වෙලාවට විසිකරන්නයි අපි රම්පේ කරපිංචා නෙවෙයි“ යැයි හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ අරමුණ පැහැදිලි කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම 16 දෙනාගේ කණ්ඩායමේ අභිප්‍රාය බවයි.

බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේද අදහස් දක්වා තිබිණි.

“අපි කවුරුත් දන්නවා 2020 ජනපති අපේක්ෂකයා යූ.එන්.පීයට එරෙහිව ඉදිරිපත් කිරීමේ කාර්යභාරයේ සියයට 90ක්ම තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟ. අපි ඉන්නේ මහින්ද මහත්තයා අපේක්ෂකයා නම් කරනකල්. මහින්ද මහත්තයා නම් කරන අපේක්ෂකයා තමයි අපෙත් අපේක්ෂකයා වෙන්නේ. අපි හිතන් ඉන්නවා මහින්ද මහත්තයා නම් කරන අපේක්ෂකයා වටා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ වටේ ඉන්න පක්ෂෙත් ගොණු කරන්න. කිහිපදෙනෙක් යූ.එන්.පී එකට යයි. 2020 ජනාධිපතිවරණය වෙනකන් ඉන්න ඕනෙද ඒ සඳහා. 16 දෙනාගේ කට්ටිය කල්පනා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හැටියට ඉන්න ගමන් මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරන්න ඕනේ කියන කාරණය. ඒ කාරණය කරන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජනාධිපති කාලයේම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කැමති කරවා ගැනීම තමයි 16 දෙනාගේ කණ්ඩායමේ පරමාර්ථය.”