April 20, 2024

රනිල් ඉවත් කර සිරිකොත බලය අතට ගන්න එජාප ප්‍රබලයින් වැඩ අල්ලයි - පසුපෙල මන්ත්‍රීන්ට ඇමැතිවරු පිරිසකගේ සහයත්

එජාප නායකත්වය වෙනස් විය යුතු බවට තීරණාත්මක මතයක සිටින එජාප පසු පෙළ මන්ත්‍රි කණ්ඩායමට සහාය දීමට එජාප ප්‍රබල ඇමැතිවරුන් තිදෙනකු සමඟ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් කිහිපදෙනකු එක්ව සිටින බව එජාප ආරංචි මාර්ග පවසයි.

පක්‍ෂය ප්‍රතිසංවිධානය කරන මුවාවෙන් එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළේ අවසන් ප්‍රතිඵලය වනුයේ එළැඹෙන මැතිවරණයකින් එජාපය අන්ත පරාජයකට පත්වන බවද එජාප ප්‍රබලයෙකු පැවසීය.

එජාපය ජයග්‍රහණය කරා මෙහෙයවීමේ වැඩපිළිවෙළකට සහාය ලබාදීමට එජාප මැති ඇමැතිවරුන් 55ක පමණ පිරිසක් ඒකරාශිවී නායකත්වයට බලපෑම් කිරීමේ වැඩපිළිවෙළක් ලබන සතියේ පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ආරම්භ කරන බවද ඔහු පෙන්වා දුන්නේය.

එහි මූලික පියවරක් ලෙස එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට සහභාගි වීමෙන් වැළැකී සිටීම පසුගිය 21වනදා ආරම්භ කළ බවත් ඉදිරි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පිළිගත හැකි ප්‍රතිචාරයක් නොලදහොත් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම්වලට සහභාගි වීමෙන් වැළැකී අගමැතිවරයා සහභාගී වන උත්සවය වර්ජනය කිරීමටත්, කොට්ඨාස මට්ටමින් එජාප පාක්‍ෂිකයන් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එජාප නායකත්වය වෙනස් විය යුතු බවට බලපෑම් කරමින් ආරම්භයක් ලෙස ජුනි 06 වැනිදා හම්බන්තොට සිට සිරිකොත එජාප මූලස්ථානය දක්වා පවත්වන විරෝධතා පා ගමනින් පසුව මාතලේ, අනුරාධපුරය, පුත්තලම සිට තවත් පා ගමන් 3ක් ලබන මාසය තුළ පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බවත් ඊට පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල එජාප නියෝජිතයන් බහුතරයක සහාය ලැබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.

තරුණයින්ට එජාපය තුළ තැනක් නෑ

මේ අතර එක්සත් ජාතික පක්ෂය තුළ වැඩ කළ හැකි තරුණ නායකයින් සිටියද, ඒ සඳහා පක්ෂය තුල අවස්ථාවක් හිමි නොවන බව ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ මහරගම පැවති උත්සවයකින් අනතුරුව ය.

තමාට හිමි රාජ්‍ය ඇමති ධූරය සමථ මණ්ඩලයේ සභාපති ධූරයක් වැනි අමාත්‍යාංශයක් බවත් ඉන් තමාට කිසිවක් කිරීමට ඉඩ නොලැබෙන බවත් රටට කිසිවක් කිරීමට හැකියාවක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසී ය.

පවතින ආණ්ඩුව නිර්මාණය කිරීමේදී මෛත්‍රිපාල සිරිසේන මහතා හෝ රනිල් වික්‍රමසිංහ මහතාට වඩා විශාල කාර්යභාරයක් තමා වැනි තරුණ නායකයින් ඉටු කල බවත් මේ වන විට ඔවුන් නොසලකා හැර ඇති බවත් සුජීව සේනසිංහ මහතා පෙන්වා දුන්නේය.

එසේම පක්ෂයෙන් ඉවත්වසිට නැවත පක්ෂයට සම්බන්ධ වූ පුද්ගලයන්ට පක්ෂය තුළ ලැබෙන පිළිගැනීමවත් තරුණ නායකයන්ට නොලැබෙන බවද පැවසූ ඒ මහතා එසේම පක්ෂය ගැන කලකිරීමෙන් සිටින බවත් පක්ෂයේ අනාගතය පිළිබඳ කණගාටුවන බවත් කියා සිටියේය.

සැප්තැම්බරයේදී රනිල් නායකත්වයෙන් දොට්ට

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ ඇති වගන්ති කීපයක් ප්‍රයෝජනයට ගනිමින් අගමැති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එජාපයේ මැති ඇමැතිවරු පිරිසක් සූදානම් වන බව ආරංචි මාර්ග පවසයි.

2012 වසරේ සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයට පත්ව ඇත්තේ වසර හයක කාලයකටය. ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහගේ නායකත්වයේ ධුර කාලය අවසන් වන බවද ඔවුහු පෙන්වා දෙති.

ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතාව නැවත නායකත්වයට පත් නොකිරීමට පක්ෂයේ කාත්‍යාධිකාරී මණ්ඩල එකඟ කර ගැනීම සඳහා එම මැති ඇමැතිවරු පිරිස මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.

ඉන්පසු පක්ෂ නිල වරණයේදී රනිල් වික්‍රමසිංහ වෙනුවට පක්ෂයේ නායකත්වය සඳහා වෙනත් කෙනෙකු නම් කරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 28 May 2018 12:59