April 25, 2024

එජාපය ඇතුළෙන්ම රහස් වැඩපිළිවෙළක්: සැප්තැම්බරයේදී රනිල් නායකත්වයෙන් එළියට?

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ ඇති වගන්ති කීපයක් ප්‍රයෝජනයට ගනිමින් අගමැති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එජාපයේ මැති ඇමැතිවරු පිරිසක් සූදානම් වන බව ආරංචි මාර්ග පවසයි.

2012 වසරේ සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයට පත්ව ඇත්තේ වසර හයක කාලයකටය. ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහගේ නායකත්වයේ ධුර කාලය අවසන් වන බවද ඔවුහු පෙන්වා දෙති.

ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතාව නැවත නායකත්වයට පත් නොකිරීමට පක්ෂයේ කාත්‍යාධිකාරී මණ්ඩල එකඟ කර ගැනීම සඳහා එම මැති ඇමැතිවරු පිරිස මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.

ඉන්පසු පක්ෂ නිල වරණයේදී රනිල් වික්‍රමසිංහ වෙනුවට පක්ෂයේ නායකත්වය සඳහා වෙනත් කෙනෙකු නම් කරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

සජිත් - රවී ගැටුම එළිපිට

මේ අතර අනුරාධපුර, ඉපලෝගම පුරාවිද්‍යා භූමිය ඩෝසර් කිරීමේ සිද්ධියත් සමග එජාපයේ නියෝජ්‍ය නායකවරු ලෙස කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහතා සහ රවී කරුණානායක මහතා අතර මත ගැටුමක් නිර්මාණය ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් එජාපයේ දෙවන පෙල නායකත්ව ගැටුම තවත් උණුසුම් වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාට එම සිද්ධිය හේතුවෙන් සිය ඇමැතිධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට එජාපය ඇතුලෙන්ම බලපෑම් එල්ලවී ඇතැයි එජාප ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම මත ගැටුම අතරතුර හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පසුගියදා කොළඹ තොටළඟ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ අනුරාධපුර, ඉපලෝගම පුරාවිද්‍යා භූමියක සිදු වී ඇති ජාතික සංහාරය හමුවේ වගකිව යුත්තන් වහා තනතුරු වලින් ඉල්ලා අස්විය යුතු බවයි.

ඔහු එහිදී මෙසේද සඳහන් කළේය.

“පුරාවස්තු සිද්ධස්ථාන නැතිකරගෙන යනවා. මෙන්න මේ වගේ ඒවා තමා ජාතික අපරාධ. වැදි බණ කතා කරන අය. අපි දැන් ආදර්ශවත් දේශපාලනය නායකත්වය අපි පෙන්නලා දීලා තියෙනවා. මේ අය ප්‍රශ්නෙ විසඳගන්නේ නැත්නම් ඉල්ලා අස්වෙලා කටයුතු කරන්න. ඉපලෝගම ප්‍ර දේශයේ අද වෙලා තියෙන අපරාධය දැන දැන කවුද මේක කරන්න ඉඩ දීලා තිබ්බේ. සාමාන්‍ය පුද්ගලයකු පුරාවිද්‍යා ස්ථානයක උදලු පහරක් ගැසුවත් කුදලාගෙන ගොස් නීතිය ක්‍රියාත්මක කිරීමට උනන්දු උවද, මෙවෙනි බරපතළ සිද්ධිය කදී , රටම නිහඬ වෙලා, ජනමාධ්‍ය නිහඬ වෙලා ...මෙවැනි තත්ත්වයක් රටේ ජනතාව අනුමත කරන්නෙ නැහැ. ජනතාව මේවගේ සිද්ධි ගැන අවධානයෙන් ඉන්නෙ." යැයිද රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් පසුගියදා පැවැති කැබිනට් සාකච්ඡාවෙන් අනතුරුව ඉපලෝගම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසූවේ සජිත් ප්‍රේමදාස ඉල්ලක කරගත් පදනම් විරහිත චරිත ඝාතන චෝදනාවක් බවයි.

“අපේ තිබෙනවා උදාගම්මාන 2500ක් ඉදිකිරීමේ ඉලක්කය. දිනපතාම ඉදිවෙන්නට ඕන ගම්මාන 3ක්. 2500 ඉලක්කයට යන්නට නම්. මේ දැවැන්ත ක්‍රියාදාමය තුළ නිලධාරීන් කොටසකගෙන් සිදුවූ එම බරපතල අඩුපාඩුව මගේ කරපිට දාන එක අසාධාරණයි.“ යැයි සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 26 May 2018 11:29