April 25, 2024

ශ්‍රීලනිපය කණපිට හරවන වෙනසට ජනපති දින දෙයි - 16 කල්ලියේ නායකත්වය සුසිල්ට

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන්ගත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේම්ජයන්ත මහතා යැවීමට තීරණය කර තිබේ.

මෙම තීරණයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ එකඟතාව හිමිවූ බවත් එම තීරණය කථානායක කරු ජයසූරිය මහතාට දැනුම් දෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ඉදිරි පක්‍ෂ නායක රැස්වීම් සඳහා තම කණ්ඩායම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සහභාගි වන බව මන්ත්‍රීවරයා පැවසී ය.

මේ අතර ඉරාන සංචාරය නිම කර පැමිණි පසුව මැයි මස 17 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව එදිනට කැඳවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම සමඟ ඊයේ (10) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය සිදුකිරීම සඳහා මැයි මස 17 වැනිදා මධ්‍යම කාරක සභාව මඟින් ප්‍රතිසංවිධාන කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබේ.

මැයි මස 17 වැනිදා සිට මාසයක් ඇතුළත මෙම ප්‍රතිසංවිධාන කටයුතු සිදුකර අවසන් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

ජාතික ආණ්ඩුවේ සිටින සහ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ජනතා නියෝජිතයන් එක් වී පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා එක්ව කටයුතු කරන ලෙසටද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙයි?

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රි, ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න මහතා පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ලබන 15 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යමකාරක සභාවට යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි.

එහි ප්‍රතිඵලය අනුව ඉදිරි පියවර තීරණය කරන බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා 15 වැනිදාට ගෙනෙන එම යෝජනාව ජයග්‍රහණය කළ හැකි යැයි කියා විශාල බලාපොරොත්තුවක් තිබෙන බවත් එසේ වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වෙන බවත් කියා සිටියේය.