April 24, 2024

මැයි 08 වැනිදා ආණ්ඩුවට තීරණාත්මකයි - මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පැරදුණොත් ලොකු පෙරැළියක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ලබන මැයි 8 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය, පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන මන්ත්‍රි කණ්ඩායමක් සාකච්ඡා ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එදින ජනාධිපතිවරයා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළහොත් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් පවත්වා, එම ප්‍රකාශය පරාජය කිරීමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවන බව එම මන්ත්‍රී කණ්ඩායමේ අරමුණ වී තිබේ.

ඒ අනුව නියමිත කාලයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවන බවද එම මන්ත්‍රි කණ්ඩායම පෙන්වා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 වැනි ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ ප්‍රතික්ෂේප කළහොත් සහ ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කළහොත් එවිටද අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය.

ඒ අනුව පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රතික්ෂේප කළහොත් 70 වැනි ව්‍යවස්ථාව යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු කළ හැකි බව සැලකිල්ලට ගනිමින් එම මන්ත්‍රි කණ්ඩායම මෙසේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට අදහස් කර ඇති බව වාර්තා වේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් නොවී, විවිධ උපක්‍රම යොදමින් නායකත්වයේ රැඳී සිටීමට ගෙනයන වැඩපිළිවෙළට එරෙහි වී සිටින එම පක්ෂයේ රනිල් විරෝධී කණ්ඩායමේ පිරිසක්ද ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙන්නේ නම් ඒ පිළිබඳ ඡන්දය විමසන අවස්ථාවේ යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට එකඟත්වයක් පළ කර ඇති බව එම ආරංචි මාර්ග පැවසී ය.

අලුත් ආණ්ඩුවක්

කෙසේවෙතත් පාර්ලිමේන්තු නව සැසිවාරයේදී ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජය වුවහොත් අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් කොට නව පත්කිරීම් සිදුකිරීමට ඉඩක් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතා ප්‍රකාශ කරයි.

එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශයක් පරාජය වීමක් සිදුවුවහොත් පාර්ලිමේන්තුව පවා විසුරුවා හැරිය හැකි බව ද නැතිනම් නව අගමැතිවරයකු හා කැබිනට් මණ්ඩලයක් පත් කරගෙන ජනාධිපතිවරයාට ආණ්ඩුව ඉදිරියට ගෙන යා හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

අගමැතිවරයා සම්බන්ධ දෙවැනි පරීක්‍ෂණයකට එළැඹීමට මෙය හොඳ අවස්ථාවක් වනු ඇතැයි ද පවතින වාතාවරණය යටතේ ජනාධිපතිවරයා නව සැසිවාරයේදී ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම පිළිබඳව ඇත්තේ විශ්වාසය පළ කළ නොහැකි තත්ත්වයක් බව ද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ වන විට එජාපයේ ප්‍රතිසංවිධාන කටයුතුවල පවතින ගැටලු හේතුවෙන් එම පක්‍ෂය ඇතුළත කැලඹීමක් පවතින බවත් ආණ්ඩුවේම කොටසක් විපක්‍ෂයේ අසුන් ගැනීම වැනි මතභේදාත්මක තත්ත්වයන් හමුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳ පාර්ලිමේන්තුව ඡන්දයකට යෑමේ වැඩි ඉඩකඩක් පවතින බව ද ඔහු ප්‍රකාශ කළේය.

එවැනි අවස්ථාවකදී රහස් ඡන්දයකට යෑමේ පූර්වාදර්ශ පවතින බවත් 1960 මාර්තුවේදී රාජාසන කතාව පරාජය වීම එම පූර්වාදර්ශයන්ගෙන් එකක් බවත් ප්‍රතිභා මහනාම මහතා සිහිපත් කළේය.

එසේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් පරාජය වීම යනු ආණ්ඩුව කෙරෙහි පවතින විශ්වාසය පිළිබඳ ගැටලුවක් වන හෙයින් අගමැති ධුරය හිස්වන අවස්ථා දැක්වෙන, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 46 (2) ආ හි පවතින වෙනත් කාරණයකදී යන වගන්තිය උපයෝගි කර ගනිමින් ජනාධිපතිවරයාට උක්ත කටයුත්ත සිදුකළ හැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසී ය.

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කල්දමන ලද පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ලබන මැයි 8 වැනිදා සවස 2.15ට ආරම්භ කිරීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 April 2018 13:07